මිනිස්සු මැද මට්ටමේ ස්මාට්ෆෝන් වැඩිපුරම තෝරාගන්නේ ඇයි?

ලෝකේ වැඩියම විකිණෙන ස්මාට්ෆෝන් ලැයිස්තුවල හැමදාම ඇපල් ඉන්නවා. ඒකට හේතුව තමයි ඇපල් සමාගමේ ෆෝන් වර්ග ගොඩක් නැහැ, ඒ වගේම චීනය ඇතුළු සෑම රටකම ඇපල් සමාගම එකම වර්ගයක ස්මාට්ෆෝන් තමයි විකුණන්නේ. ඇපල් හැරුනාම වැඩිපුරම විකිණෙන ෆෝන් බොහෝවිට මැද මට්ටමේ ස්මාට්ෆෝන් වෙනවා. 2019 වර්ෂයේ ලෙවි වාර්තා ගත්තාම එහි ඇපල් එක්ස් ආර් ෆෝන් එක තමයි වැඩියෙන්ම විකිණිලා තියෙන්නේ. 2, 3 ස්ථාන පිළිවෙළින් සැම්සන්ග් ඒ 10 (A-10) සහ ඒ 50 (A-50) ට ලැබිලා තියෙනවා. සැම්සන්ග් වල ඒ සීරීස් එක කියන්නේ සුපිරිම ෆෝන් නෙමෙයි. ඒ වගේම ඒ ලැයිස්තුවේ මි mi සමාගමේ රෙඩ්මි 6ඒ (Redmi 6A) සහ රෙඩ්මි නෝට් 7 (Redmi Note 7) වැඩිම අලෙවියක් තියෙන ෆෝන් 10 අතර තියෙනවා. ඒ ෆෝන් දෙකත් සාමාන්‍ය මැද මට්ටමේ ෆෝන් විදිහට තමයි සැලකෙන්නේ.

 

1. ස්මාට්ෆෝන් මාකට් එක සංතෘප්ත වීම 

2008-2009 කාලේ ස්මාට්ෆෝන් වලට ටච් ස්ක්‍රීන් ආවා. 2011-12 කාලේ වෙද්දි ෆෝන් එකට එන කැමරා එක සුපිරි එකක් වුනා. ඉන් පස්සේ කාලෙක ෆෝන් වතුර යන්නේ නැති ටිකක් තද පාවිච්චියට හොඳ විදිහට හැදුනා. ඒ වගේම කාලෙත් එක්ක අඟල් 4-5 සයිස් එකට ආපු ෆෝන් ස්ක්‍රීන් එක දැන් අඟල් 6-7 සයිස් එකට ඇවිල්ලා තියෙනවා. ඒ එක්ක දැන් ඉස්සර වගේ ටැබ්ස් ගන්න පිරිස අඩුවෙලා, සියලුම වැඩ කිඩ ඔක්කොම ෆෝන් එකෙන් කරගන්න ෆෝන් එකක්ම ගන්න පිරිසක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් අපි සරලවම කල්පනා කරලා බැලුවොත් අපේ දැන් තියෙන ස්මාට්ෆෝන් වලට තවත් එකතුවෙන්න දෙයක් නැතිම තරම්. ඒ කියන්නේ ස්මාට්ෆෝන් එකෙන් ගන්න පුළුවන් වැඩ, එහි තියෙන පහසුකම් ආදිය දැන් යම් කිසි සීමාවකට ඇවිල්ලා තියෙන්නේ. 

 

2. නිතර ෆෝන් මාකට් එක අලුත් වීම 

මේ අවුරුද්දේ අපි හොඳම කියන ෆෝන් එකක් ගත්තා වුනත් ඇපල් හැර අනෙක් සෑම ෆෝන් එකකදිම ඊළඟ අවුරුද්දේ මේ කාලේ වෙද්දි ෆෝන් එකේ වටිනාකම අඩු වෙනවා. ඒ වෙද්දි සමාගම විසින් අලුත් තව ෆෝන් එකක් හදලා ඒක ජනප්‍රිය වෙලා ඉවරයි. ඒ කලින් අවුරුද්දේ ෆෝන් එක අතේ තියන් හිටියා කියලා ලොකු සමාජ මෙව්වා එකක් ලැබෙන්නේ නැහැ. සැම්සන්ග් මාදිලි වල හෙම එස් 20 එක මාකට් එකට ඇවිත් මාසයක් දෙකක් ගියාම කලින් තිබුන එස් 10 මාදිලිය බාගෙට බාගයක් මිල අඩු වෙනවා. ඒ නිසා හැමතිස්සේම ලොකුම ෆෝන් එකට ගියා කියලා ඒ ගැම්ම වැඩි කල් ආරක්ෂා කරගන්නට අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔන්න ඔහේ පොකට් එකේ කොළ අඩුවෙන් වියදම් වෙන ෆෝන් එකක් ගන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. 

 

3. ෆෝන් එකේ වැඩ දන්න, වැඩ ගන්න අය අඩු වීම 

ෆෝන් පැතිරෙද්දි අපේ වැඩිහිටි පරම්පරාවේ අයටත් ෆෝන් ගන්න වුනා. මොකද රට ඉන්න පුතාලා, දුර ඉන්න ඥාති දැන් සෙට් වෙන්නේ වට්සැප්, වයිබර් ගෲප් වලින්. ඒ අයට ෆෝන් එකෙන් ගන්න තියෙන වැඩ සීමිතයි. කලාතුරකින් වැඩිහිටි කෙනෙක් කොල්ලා වගේ ගේම් ගහලා, සින්දු අහලා, ෆොටෝ ගහලා සැර ආතල් එකක් ෆෝන් එකෙන් ගන්නවා. ඒත් වැඩි දෙනා කරන්නේ එකම චැට් ඇප් එකක්, සෝෂල් මීඩියා ඇප් එකක් ෆෝන් එකේ රන් කරන එක විතරයි. ඒ වගේ ෆෝන් වල වැඩි වැඩ පාවිච්චි නොකරන අය බොහෝවිට සොයා යන්නේ බේසික් හෝ මැද මට්ටමේ ෆෝන් එකක්ම තමයි. 

 

4. ලොකු ෆෝන් ගන්න වැඩිදෙනාට සල්ලි නැතිවීම 

අපේ රටේ ගත්තොත් ලක්ෂ ගණන් වල ෆෝන් ගන්න පුළුවන් හැමෝටම වගේ දැන් හොඳ ෆෝන් අත් වල තියෙනවා. එතකොට ෆෝන් එකක් අලුතින් ගන්න කෙනෙක් ඉන්නවා නම් ඒ අය බොහෝවිට එතරම්ම වියදම් කරන්න ටිකක් අපහසු අය. සීමිත වැටුපක් ආදායමක් තියෙන කෙනෙක්ට ලොකු ෆෝන් එකක් වැඩි මිලක් දීලා ගන්නවාට වඩා ජීවිතයේ මුදල් වලින් කරන්නට තවත් බොහෝ වැඩ රාජකාරි තියෙනවා. දකුණු ආසියා කලාපයේ විතරක් ලෝකයේ ජනගහණයෙන් 25%ක් ට වඩා පිරිස ජීවත් වෙනවා. ඒවගේ දුප්පත් කලාප වල ජනතාව බොහෝවිට ෆෝන් එක තෝරාගනිද්දි තමුන්ගේ වත්කමේ හැටියට යම් අඩුමිලක හෝ මැද මට්ටමේ ස්මාට්ෆෝන් එකකට යනවා මිස සුපිරිම එව්වා පසුපස යන්නේ නැහැ. 

 

5. වැඩිපුර විකිණෙන ෆෝන් එක බැලීම 

අපි අලුත් ෆෝන් එකක් ගන්නවා කියමු. එතනදි අවුලක් නැතුව හොඳට රන් වෙන ෆෝන් තියෙන යාලුවෝ, මිත්‍රයෝ, නෑයෝ අපිට ෆෝන් සහ බ්‍රෑන්ඩ් රෙකමන්ඩ් කරනවා. අපි ගෙදරට බ්ලෙන්ඩර්, අයන්, ටෝස්ටර් ආදිය මිලදී ගනිද්දි දැන් දැන් ලාබ චීන මාදිලි කරා යනවා. ඒත් තාමත් ෆෝන් එකක් කිව්වොත් චීන මාදිලි වලට වඩා සැම්සන්ග් ෆෝන් එකක් විස්වාස කරන පිරිස වැඩියි. චීන ෆෝන් වුනත් නම ගිය මි, හුවාවේ, රියල්මි වගේ ෆෝන් එකකට යනවා මිස අලුත් නම් වලින් එන ෆෝන් මිලදී ගන්න වැඩි දෙනෙක් උනන්දු වෙන්නේ නැහැ. ඒ නිසා අලුත් ජාති වලට ගිහින් රිස්ක් එකක් ගන්නවාට වඩා හැමෝ​ම අතේම ගැවසෙන පුරුදු එකකටම යන්න බොහෝ දෙනා කැමැත්ත පළ කරනවා. 

 

6. මිඩ් රේන්ජ් ෆෝන් එකෙන් වැඩ ඔක්කොම වගේ කරගන්න හැකි වීම 

මීට කාලෙකට කලින් ෆේස්බුක්, ට්විටර් වගේ ඇප්ස් වලට ලයිට් ඇප්ස් ආවා. ඒ කියන්නේ අඩු හාඩ්වෙයාර් තියෙන ෆෝන් වලදි හොඳට රන් වෙන්න බර අඩු ඇප් වර්ෂන් ආවා. ඒත් දැන් දැන් ඒ ලයිට් ඇප්ස් පාවිච්චිය අඩු වෙනවා. මොකද දැන් මාකට් එකේ තියෙන මූලික මාදිලි වල ස්මාට් ෆෝන් වලදිත් ඇප්ස් ගොඩක් දුරට හොඳට රන් වෙනවා. බේසික් සහ මිඩ් ෆෝන් වල සුපිරිම ඒවා තරම් කැමරා කොලිටි නැතත් හොඳ මට්ටමකට කැමරාව තියෙනවා. අපිට හොඳම ෆෝන් එකක් ගත්තොත් සුපිරි වැඩ ටිකක් ලැබෙනව තමයි. ඒත් මිඩ් රේන්ජ් හෝ බජට් ෆෝන් වලින් මෙන්න මේ දේ නොලැබෙනවා කියලා දෙයක් දක්වන්න අමාරුයි. සමහර හොඳ හොඳ ගේම්ස් ආදිය සෙල්ලම් කරන්න බැරිවුනත් එක්තරා මට්ටමකට ගේම් සෙල්ලම් කරන්න පහසුව ගොඩක් ස්මාට්ෆෝන් වල දැන් තියෙනවා. 

 

7. සෙකන්ඩ් හෑන්ඩ් වටිනාකම අඩු වීම 

වාහන කියන දේ ගත්තොත් අපේ රටේ නම් සලකන මූලික දෙයක් තමයි සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක. ටොයෝටා මාදිලි කාර් එහෙම මිල වැඩිවෙන්නත් එක හේතුවක් සෙකන්ඩ් හෑන්ඩ් හොඳ මාකට් එකක් තිබීම. ෆෝන් වල ඇපල් එකක් නම් ටිකක් හරි යම් මිලකට තවමත් සෙකන්ඩ් හෑන්ඩ් දෙන්න පුළුවන්. ඒත් අනෙක් ෆෝන් හැම එකක්ම අරගෙන මාස හයකට, අවුරුද්දකට පස්සේ මිල සෑහෙන අඩු වෙනවා. අවුරුදු දෙකක් විතර පාවිච්චි කරපු ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගත්ත මිලෙන් හතරෙන් එකකටවත් දෙන්න අමාරුයි. ඒ එක්ක ෆෝන් එකකට වියදම් කරන අය ෆෝන් එක හැකිතාක් කල් පාවිච්චි කරනවා විනා එය විකුණන්න උත්සාහ කරනව අඩුයි. වයසක උදවියගේ බාසාවෙන් “ගඟේ මූදෙ සල්ලි දැම්ම වගේ” ආයෙත් වටිනාකම අඩුවෙන මිස වැඩිනොවෙන දෙයක් නිසා බොහෝ දෙනා මැද හෝ බජට් ස්මාට්ෆෝන් සොයාගෙන යනවා. 

 

ෆෝන් කියන්නේ බොහොම සරල දෙයක්. අතේ තියෙන ෆෝන් එක්ක ගොඩනැගුණ යම් සමාජීය වටිනාකමක් දැන් නැතිම තරම්. ෆෝන් ගැන දන්න කියන අය නම් අනුන්ගේ ෆෝන් වල මාදිලි ගැන ටිකක් උනන්දුවෙන් බලනවා. ඒත් බොහෝදෙනාට පේන්නේ ෆෝන් එකක් අතේ තියාගෙන ඔබනවා හෝ චැට් කරනවා කියන කාරණාව පමණයි. ඒ අනුව මැද මට්ටමේ සහ බජට් ෆෝන් වැඩිපුරම විකිණෙන්නේ ඇයි කියන එකට ඔයාලට යම් අදහසක් මේ හරහා එන්නට ඇති. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *