මල් කමුද? මල් බොමුද? ලස්සන මල් වලින් රසවත් රෙසිපි 5ක් මෙන්න!

මල් මල් මල්… මල් කඩන්න නෙමෙයි මල් විකුණන්නත් නෙමෙයි අපි මේ යන්නෙ මල් කන්න. අද ලයිෆි අපි ලෑස්ති වෙන්නෙ ඔයාලට කෑමට බීමට ගන්න පුළුවන් මල් වර්ග මොනාද කියලා කියලා දෙන්නයි. මේ බොහොමයක් මල් වර්ග විවිධ ලෙඩ රෝග වලට ගුණදෙනව. හැබැයි ඉතින් ඕනවට වඩා කිසිම දෙයක් හොඳ නැති නිසා වත්තෙ මල් ඕන තරම් කියල දිනපතාම ආහාරයට නම් මේ දේවල් එක් කරගන්න එපා. ඕං එහෙනම් අහගන්නකෝ හදන ඒව.

 

1. කතුරුමුරුංගා මල්

මේක නම් හැමෝම දන්න මලක්නෙ. මේ වෙනදට නිකම්ම උයල, තෙල්දාල කන කතුරුමුරුංගා මල් වලින් රසවත් ඔම්ලට් එකක්.

 

කතුරුමුරුංගා මල් ඔම්ලට්

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කතුරුමුරුංගා මල් කෝප්ප 1
  2. බිත්තර 3
  3. ලියාගත් ළූණු ගෙඩි 1
  4. ලුණු හා ගම්මිරිස්කුඩු
  5. ලියාගත් කරපිංචා කො​ළ කිහිපයක්
  6. කහකුඩු ස්වල්පයක්
  7. කෑලිමිරිස් ස්වල්පයක්
  8. ලියාගත් අමුමිරිස් කරල් 2
  9. බැදගැනීමට තෙල්

 

  • කතුරුමුරුංගා මල් ටික සෝදලා පෙති වෙන් වෙන්ව ගලවගන්න.  මැද තියෙන සුදු නටුවෙ මැද තියෙන කොළපාට නාරටිය අයින් කරගන්න. ඒක තිත්තයි.
  • මේ මල් පෙති ටික හීනියට ඉරාගන්න. ඉරාගත් මල් වලට කහකුඩු ටිකක් කලවම් කරගන්න.
  • බිත්තර කඩලා ඒකට ලුණු, අමුමිරිස්, ළූණු, කරපිංචා, ගම්මිරිස්කුඩු, කෑලිමිරිස්, කහ එක් කරපු මල් දාලා ගෑරප්පුවකින් ගසාගන්න.
  • දැන් පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට මේ මිශ්‍රණයෙන් ටිකක් දාලා තුනී කරලා දෙපැත්ත ෆ්‍රයි කරලා ගන්න.

 

 

2. නිල් කටරොළු මල්

සෙම් රෝග වලට වගේම තවත් රෝග රැසකට ගුණ නිල් කටරොළු මල් තේ විදියට බොන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නෙ බොහොම පොඩි දෙයක්.

 

නිල් කටරොළු තේ

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. නිල් කටරොළු මල් 5-6
  2. උණු වතුර කෝප්ප 1

 

  • මල් ටික උණු වතුර එකේ දාලා විනාඩි 5ක් තැම්බෙන්න තියල බොන්න. කැමති නම් ලුණු ටිකක් දාගන්න. දෙහි බින්දුවක් එකතු කරගත්ත නම් මේ තේ එකම දම්පාටට හදාගන්නත් පුළුවන්.

 

3. නිල් කටරොළු ජෙලි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. නිල් කටරොළු මල් 10-12
  2. අගර් අගර් මේස හැඳි 3
  3. සීනි මේස හැඳි 3
  4. මිටිකිරි කෝප්ප 1
  5. ලුණු

 

  • මල් ටික වතුර කප් භාගයක් දාලා ලිපේ තියලා තැම්බුණාම මල් ටික ඒ වතුරටම හොඳට පොඩි කරල යුෂ පෙරාගන්න. 
  • වෙනම භාජනයකට වතුර කෝප්ප 2ක් දාලා ඒකට අගර් අගර් දාලා සීනි ටිකත් දාගන්න. මේ ටික හොඳට කලවම් කරගන්න. දැන් ලිප ඔන් කරගන්න. වතුර නටනකොට නිල් කටරොළු වතුර ටික එකතු කරගන්න.
  • මේකට මිටිකිරි කෝප්ප 1ක් වගේ දාලා ලුණු දාලා කලවම් කරගන්න. හොඳට නටනකොට ලිප ඕෆ් කරගන්න. දැන් මේ මිශ්‍රණය වීදුරු බෝල් එකකට හෝ ජෙලි මෝල්ඩ් එකකට දාලා සෙට් වෙන්න ෆ්‍රිජ් එකට දාන්න. 
  • ටිකකින් ඔයාලට පෙනෙයි කිරි ලේයර් එක හා නිල් කටරොළු යුෂ ලේයර් එක වෙන් වෙලා තියන හැටි. තව පැය කිහිපයක් හොඳට සෙට් වෙන්න කූල් කරලා කෑමට ගන්න. නියම අතුරුපසක්.

 

4. නෙළුම් මල්

ලස්සනට පිපිල තියෙන නෙළුම් මල් වලින් රසවත් කෑම හදන්න පුළුවන් කියල හිතුවෙ නෑ නේද?

 

නෙළුම් පෙති පකෝරා

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. නෙළුම් පෙති 10-15
  2. බිත්තර 1
  3. ලුණු හා ගම්මිරිස්කුඩු
  4. මිරිස්කුඩු තේ හැඳි 1/2
  5. කහකුඩු තේ හැඳි 1/2
  6. පාන්පිටි මේස හැඳි 2
  7. කඩල පිටි මේස හැඳි 1
  8. බැදගැනීමට තෙල්

 

  • නෙළුම් පෙති සෝදලා වතුර වේලගන්න. බිත්තරය කඩලා ඒකට පාන්පිටි, කඩල පිටි, මිරිස්කුඩු, ගම්මිරිස්කුඩු, ලුණු, කහකුඩු ඔක්කොම එකතු කරලා වතුර දාලා උකු බැටර් එකක් හදාගන්න. දැන් නෙළුම් පෙති එකින් එක මේ බැටර් එකේ දාලා ගැඹුරු තෙලේ බැදගන්න.

 

5. පොකුරු වද මල්

ශරීර උෂ්​ණත්වය අඩු කරල ඇඟ සිසිල් කරවන අපූරු බීමක් මේ.

 

පොකුරු වද මල් බී​ම

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සෝදා ගත් පොකුරු වදමල් පෙති අහුරක්
  2. අයිස් වතුර
  3. උණුවතුර ටිකක්
  4. රස අනුව සීනි 
  5. ලුණු පින්ච් එකක්
  6. දෙහි යුෂ ටිකක්
  7. කස කසා ඇට (තියෙනවා නම්)

 

  • මල් පෙති වැහෙන ගාණට උණුවතුර දාලා වහලා තැම්බෙන්න තියන්න ටික වෙලාවක්. 
  • හැන්දකින් මේ මල් පෙති ටික හොඳට කලවම් කරල වතුර ටික පෙරාගන්න.
  • වදමල් වතුරට සීනි දාලා දියකර ගන්න. සීනි දියකරගත්තට පස්සෙ වීදුරුව පිරෙනකම් අයිස් වතුර එකතු කරගෙන එයට දෙහි යුෂ හා ලුණු ටිකක් රස අනුව එක්කර ගන්න. දෙහි එක් කරාම අවපැහැය නැති වෙලා ලස්සන පාටක් එනව.
  • කැමති නම් මේකට වතුරෙ පොඟවපු කස කසා ඇට සහ අයිස් කැට අවශ්‍ය නම් එකතු කරන් බීමට ගන්න. 

 

6. සියඹලා මල් 

සියඹලා මළබද්ධයට වගේම හෘදයටත් ගුණදායකයි. 

 

සියඹලා මල් හින්දුම

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සියඹලා මල් කෝප්පයක්
  2. උම්බලකඩ
  3. කෑලිමිරිස්
  4. කහ කුඩු
  5. ලියාගත් ළූණු 
  6. තලාගත් සුදුළූණු 
  7. රම්පෙ කරපිංචා
  8. සීනි තේ හැඳි 1/2
  9. මිටිකිරි කප් 1/4
  10. රස අනුව ලුණු

 

  • සියඹලා මල් හෝදගෙන වතුර බේරෙන්න තියන්න. 
  • ළූණු වලට මිටිකිරි සහ සියඹලා මල් හැර අනෙක් සියල්ලම එකතු කරල එකට අනාගන්න.
  • තෙල් ටිකක් රත්වෙන්න තියල අනාගත්ත ළූණු ටික එකතු කරල තෙම්පරාදු කරන්න. ළූණු ටික මැලවෙන කොට සියඹලා මල් ටික එකතු කරගෙන පිසගන්න.
  • හොඳට තෙම්පරාදු උනාම මිටිකිරි දමා හින්දගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *