අපේ කලා ලෝකයේ සහෝදරියෝ

මේ ආටිකල් සීරිස් එක ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන කියලා අපි හිතන්නේ නැහැ. දැන් සති කිහිපයක ඉඳන් කලා ක්ෂේත්‍රයේ හිතවතුන්ගේ විවිධ ඥාති සබඳතා ගැන අපි ආටිකල් කීපයක්ම ඔබ වෙතට ගෙනාවා. කලින් සතියකදී ඔබට කලා ලෝකයේ සහෝදරයෝ ගැන කියවන්න ලැබුණ නිසා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කලා ලෝකයේ සහෝදරියෝ ගැන.

 

1. මාලිනී ෆොන්සේකා සහ සහෝදරියෝ

හෙළ සිනමාවේ නිළි රැජන විදිහට අවිවාදිතව පිළිගැනෙන මාලනී ෆොන්සේකාගේ අඩිපාරේ යමින් ඒ පවුලේ බොහෝ දෙනෙක් කලා ලෝකයට එකතු වුණා. ඒ අතරින් දමයන්ති ෆොන්සේකා අද දක්වාම කලා ක්ෂේත්‍රය තුළ රැඳී සිටිනවා. නමුත් ඇගේ අනෙක් සහෝදරියන් දෙදෙනා වන ශිරාණී ෆොන්සේකා සහ රසාදරී ෆොන්සේකා චිත්‍රපට කිහිපයක රඟපෑමෙන් පස්සේ සිනමාවට සමු දුන්නා. ශිරාණි ෆොන්සේකා රඟපෑ චිත්‍රපට අතරින් “නෑදෑයෝ”, “නිවෙන ගින්න”, “රාන් කුරුල්ලෝ” වැනි චිත්‍රපටි විශේෂයි. ඒ වගේ ම රසාදරී, සනත් ගුණතිලකගේ පළමු සිනමා පෙම්වතිය බවට පත් වුණේ “සිටු කුමරියෝ” චිත්‍රපටය හරහා.

 

2. ජීවරාණි කුරුකුලසූරිය සහ සහෝදරියෝ 

 

ජීවරාණි කියන්නේ සිංහල සිනමාවේ එක යුගයක් නිර්මාණය කළ නිළියක්. ලංකාවේ පළමුවන වර්ණ චිත්‍රපටය වූ” රන්මුතු දූව” චිත්‍රපටයේ රඟපෑම තුළින් ඇය එක රැයෙන් ලංකාවේ තරුවක් බවට පත් වුණා. ඇයගේ තවත් සහෝදරියක් වුණු ජානකී, “රන්මුතු දූව” චිත්‍රපටයේ සහාය චරිතයක් රඟපෑ අතර ඉන්පසුව “සැනසුම කොතැනද”, “අක්කර පහ” වැනි තවත් චිත්‍රපටි කීපයක රඟපෑවා. ශිරාණි කුරුකුලසූරිය “සෙනෙහස” චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපෑ අතර ඉන් අනතුරුව “අක්කර පහ” වැනි නිර්මාණ කීපයක් සඳහා සිය රංගන දායකත්වය ලබා දුන්නා. ඔවුන්ගේ බාල ම සහෝදරිය වන මැණික් කුරුකුලසූරිය චිත්‍රපටි වලට වගේම තමා සහෝදරියන්ට පා තැබීමට නොහැකි ක්ෂේත්‍රයක් වුණු ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ආරම්භක අවධියේ ම ජය ගත්තා. ඒ අතරින් “සුසීමා” ප්‍රේක්ෂකයන්ට හැමදාම මතක තියෙන නිර්මාණයක්. කොහොම වුණත් මැණික් කුරුකුලසූරියව මෑතකදී නිර්මාණයකින් දකින්නට නොලැබීම කණගාටුවට කරුණක්.

 

3. වත්සලා දියලගොඩ සහ බුවනි චාපා

 

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ඇතුළේ ඉතා කෙටි කාලයක් තුළදී සුවිශාල ජනප්‍රියත්වයක් ලබා ගත් නිළියන් දෙදෙනෙකු විදිහට වත්සලාව සහ බුවනිව හඳුන්වන්න පුළුවන්. බොහෝ නවක නිළියන්ට රූපය තිබුනට රඟපෑමේ හැකියාව නොතිබුණත් මේ සහෝදරියන් දෙදෙනාට රඟපෑමේ හැකියාව ඉතා ඉහළින් පිහිටා තිබ්බා. ටෙලි නාට්‍ය නිළියක් විදිහට වත්සලා ජනප්‍රියත්වයට පත් වෙද්දී අයි.ටී.එන් නාලිකාවේ අවුරුදු කුමරිය බවට බුවනි පත් වුණා. ඒ හරහා ඇයට “මිල්ලෑව වලව්ව” ටෙලි නාට්‍යයේ රඟපෑම සඳහා අවස්ථාවක් හිමි වුණා. ඒ ඇගේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ආරම්භය වුණත් මේ වන විට මේ සහෝදරියන් දෙදෙනාම විවාහයෙන් පස්සේ නිර්මාණවලින් දකින්න නොලැබුණු තරම්.

 

4. ගීතා කාන්ති ජයකොඩි සහ රත්නා ලාලනී ජයකොඩි 

ගුවන්විදුලිය හරහා කලා ක්ෂේත්‍රයට පිවිසෙන ගීතා කාන්ති ජයකොඩි අවසානයේ තමන්ගේ පවුලේ වැඩි පිරිසක් ක්ෂේත්‍රයට හඳුන්වා දෙනවා. ඒ අතරින් රත්නා ලාලනී ජයකොඩි කියන්නේ මැණිකක් වගේ කෙනෙක්. ඇය රඟපෑමට දක්ෂ වනවා සේම හොඳ හඬ පෞරුෂයක් හිමි ගායිකාවක්. විශේෂයෙන්ම ජයලත් මනෝරත්න මහතාගේ වේදිකා නාට්‍ය තම රංග සහ ගායන ප්‍රතිභාවෙන් ආලෝකවත් කිරීමට ඇයට හැකියාවක් ලැබුණා. මෑතකදී නම් ඇයව වේදිකා නාට්‍ය නොවන කලා නිර්මාණයකින්, ඒ කිව්වෙ ටෙලි නාට්‍යයකින් වගේ දකින්නට නොලැබුනත් ගීතා කාන්ති ජයකොඩි මහත්මිය නම් විවිධ ටෙලි නිර්මාණ හරහා දකින්න ලැබෙනවා.

 

5. අසන්‍ති රණසිංහ සහ පියුමි පුරසිංහ 

පියුමි පුරසිංහ කියන්නෙත් කාලයක් ටෙලි නිර්මාණවලට නැතුවම බැරි වෙලා හිටපු සුන්දර නිළියක්. නමුත් ඇය විවාහයත් එක්ක කලා ක්ෂේත්‍රයෙන් සමුගත්තා. වසර කීපයකට පසුව ඇය ජනමාධ්‍ය ඉදිරියට පැමිණෙමින් කිව්වේ තමන්ගේ විවාහය බිඳ වැටුණු බව සහ නැවතත් කලා ක්ෂේත්‍රයට එක් වීමට තමන්ගේ බලාපොරොත්තුවක් නොමැති බවයි. ඇගේ තවත් සහෝදරියක් වුණු අසන්ති රණසිංහ ටෙලිනාට්‍ය නිළියක් විදිහට වගේම නිරූපණ ශිල්පිණියක් විදිහට අති මහත් ජනප්‍රියත්වයක් ලබා ගත්තා. නමුත් ඇයත් විවාහයෙන් පස්සේ කලා ක්ෂේත්‍රයට සමුදුන්නා.

 

6. ප්‍රියසාද් සහෝදරියෝ 

මේ තුන් දෙනාම මේ ලැයිස්තුවට ඇතුළත් කරනවද නැද්ද කියල සෑහෙන වෙලාවක් හිතලා තමයි අපි මේ අයව ඇතුළත් කළේ. මොකද අපි කලින් ලිපියක පියාගේ අඩි පාරේ ගිහින් කලා ලෝකයට ඇතුළත් වුණා දූවරු ගැන ලියද්දී මේ අය ගැන ලිව්වා. හැබැයි මේ තුන්දෙනා නැති වුණොත් මේ ලිපියේ ලොකු අඩුවක් තියෙන නිසයි, මේ තුන්දෙනාව ඇතුළත් කරන්න තීරණය කළේ. කුඩා කාලයේදීම සිය පියාගේ නිර්මාණවලින් කලා ලෝකයට පා තබපු දිනක්ෂී, ශේෂාද්‍රි සහ ශනුද්‍රි ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ ආධිපත්‍ය ලබා ගන්න ගතවුණේ ඉතාමත්ම සුළු කාලයක්.

 

7. අනෝජා වීරසිංහ සහ මායා දමයන්ති 

අනෝජා වීරසිංහ සිනමා ක්ෂේත්‍රය තුළ තමන්ගේ තමන්ගේ අනන්‍යතාවයක් ගොඩ නගා ගනිද්දී ඇය විසින්ම සිනමාවට සම්බන්ධ කරපු ඇගේ සහෝදරිය වුණු මායා දමයන්ති සිනමාත්මක හඬකින් සිනමා සංගීතය දික්විජය කළා.නමුත් ඒ සඳහා ඇයට ලැබිය යුතු පිළිගැනීම නිසි පරිදි ලැබුණාද කියන එක නම් ප්‍රශ්නයක් .මාලනී ෆොන්සේකාගේ ඉඳන් නිලන්ති ඩයස් දක්වා නිළියන් පරම්පරාවකට ඇය විසින් පසුබිම් ගීත ගායනයෙන් සහාය දක්වා තිබෙනවා.

 

මේ ලැයිස්තුවට ඇතුළත් වෙන්න ඕන තවත් කලා ක්ෂේත්‍රයේ සහෝදරියන්  ඉන්නවා නම් ඒ අය ගැන කමෙන්ට් එකකින් අපිට කියන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *