ස්මාට් ටීවී එකක් ගන්නවද, වෙනදා විදියටම ස්මාට් නැති ටීවී එකක් ගන්නවද? මොනවද ස්මාට් ටීවී එකක තියෙන වාසි?

මොනවද ස්මාට් ටීවී කියන්නේ? සරලවම කියනවා නම්, මෙහෙයුම් පද්ධතියක් සහ අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න හැකියාව තියෙන ටීවි එකක් තමයි ස්මාට් ටීවී එකක් කියන්නේ. ඒ නිසාම සාමාන්‍ය ටීවී එකකින් කරන ටීවී බලන වැඩ වලට අමතරව තව දේවල් ස්මාට් ටීවී එකකින් කරන්න පුළුවන්. හැබැයි ස්මාට් ටීවී එකක් ගන්නවා වගේම කෙනෙක්ට ඕන නම් ඔය රොකු, ගූග්ල් ක්‍රෝම්කාස්ට්, ඇපල් ටීවී, ඇමසන් ෆයර් ටීවී වගේ ස්ට්‍රීමින් උපාංගයක් මිලදී අරගෙන තමන්ගේ ස්මාට් නොවෙන සාමාන්‍ය ටීවී එකට හයි කරලා, ස්මාට් ටීවී එකකට යම්තාක් දුරකට සමාන හැකියාවන් අත්විඳින්නත් පුළුවන්. හැබැයි ස්මාට් ටීවී පාවිච්චි කරන සමහරු කියන්නේ නම්, දැන් කාලේ තියෙන ස්මාට් ටීවී එකක හැකියාවන් ස්ට්‍රීමින් උපාංගයකට වඩා ඉහළයි කියලා තමයි. අන්න ඒ නිසා අපි හිතුවා දැන් කාලේ තියෙන ස්මාට් ටීවී එකක විශේෂ හැකියාවන් මොනවද කියලා හොයලා බලන්න.

 

1. ලොකු ගාණක් නෑ!

ඔව්, ඇත්තටම මේක වාසියක් විදියට ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. ඉස්සර නම් ස්මාට් ටීවී එකක් මාරම ගණන් නේ. හැබැයි දැන් වෙනකොට ස්මාට් ටීවී එකක ගණන් සෑහෙන්න අඩු වෙලා, සාමාන්‍ය මනුස්සයෙක්ට වුනත් දරන්න පුළුවන් ප්‍රමාණෙකට ඇවිත් තියෙනවා. උදාහරණයක් විදියට අපි හිතමු අඟල් 32 ක සාමාන්‍ය ටීවී එකක් සහ ස්මාට් ටීවී එකක් ගැන. LG හෝ Samsung වගේ පිළිගත්තු සන්නාමයකින් එන ටීවී එකක් සාමාන්‍යයෙන් රුපියල් හතළිස්දාහකට විතර කිට්ටු වෙනවනේ. වෙන ඒ තරම් ලොකුවට යන්නෙ නැති බ්‍රෑන්ඩ් වල ටීවී ඒ ගාණෙන් බාගෙක වගේ අඩුවට ගන්න පුළුවන් තමයි. හැබැයි මේ බ්‍රෑන්ඩ් වල ෂුවර් එකක් තියෙනවනේ. දැන් ඔය කිව්ව LG හෝ Samsung වගේ බ්‍රෑන්ඩ් එකක අඟල් 32 ස්මාට් ටීවී එකක් ගත්තොත්, ගාණ වැඩිවෙන්නේ හාර පන්දාහකින් විතරයි. ඉතින් ලාබ නැද්ද?

 

2. නෙට්ෆ්ලික්ස්! යූටියුබ්!! ඇමසන් ප්‍රයිම්!!!

ඔව්. ස්මාට් ටීවී එකක් තියෙනවා නම්, ආයෙ නෙට්ෆ්ලික්ස් ඇතුළු ස්ට්‍රීමින් සේවාවන් අමුතුවෙන් ලැප්ටොප් එකෙන් බලන්න ඕන නෑ. කෙලින්ම ස්මාට් ටීවී එකේම ෆුල් කොලිටිය ඇතුව බලන්න පුළුවන්. දැන් මේ ස්ට්‍රීමින් සේවාවන් වල තියෙන වාසිය ගැන අපි අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. අපි නෙට්ෆ්ලික්ස් වාසි ගැනනම් කලිනුත් කියලා තියෙනවා. කොටින්ම අපිට ඕන කරන ටීවී සීරීස්, ෆිල්ම් අනං මනං ඔක්කොම ඉතාම ලේසියෙන් බලන්න පුළුවන් මේ සේවාවන් හරහා. එතකොට ස්මාට් ටීවී එකකින් අපිට ඉතාම ලේසියෙන් මේ සේවාවන්ට යොමු වෙන්න පුළුවන්.

 

3. ස්මාට්ෆෝන් එක වුනත්, කම්පියුටරේ වුනත්

මෙන්න මේකත් ස්මාට් ටීවී වල තියෙන ඉතාම වටින, ප්‍රයෝජනවත් හැකියාවක්. ඒ කියන්නේ බොහොම ලේසියෙන් අපිට ස්මාට්ෆෝන් එක වුනත්, ලැප්ටොප් එක වුනත් ස්මාට් ටීවී එකට මිරර් කරන්න පුළුවන්. ඒ කියන්නේ ස්මාට්ෆෝන් එකේ හරි ලැප්ටොප් එකේ හරි තියෙන අන්තර්ගතයන් වඩාත් විශාල තිරයකින් බලාගන්න පුළුවන්. ඒකට ආයෙ වයර් කොහේවත් හයි කරන්න දෙයක්වත්, වෙන අවශ්‍යතාවයක්වත් නෑ. එතකොට ඔය ස්මාට්ෆෝන් එකේ පුංචි තිරයට වඩා කොලිටියට ස්මාට්ෆෝන් එකේ තියෙන දෙයක් හරි, ස්මාට්ෆෝන් එකෙන් කරන්න තියෙන දෙයක් හරි ස්මාට් ටීවී එකේ ලොකු තිරයේ බලාගන්න, ක්‍රියාකරවන්න පුළුවන්. 

 

4. පහසුව උපරිමයි

ඉස්සර ස්මාට් ටීවී එකක් පාවිච්චි කරන එක එච්චර පරිශීලක මිත්‍රශීලී කටයුත්තක් නෙවෙයි. මොකද, ස්මාට් ටීවී එකක වෙබ් බ්‍රවුසරයක් එහෙම තිබුණට, අර රිමෝට් කොන්ට්‍රෝල් එකෙන් කොහොමද කම්පියුටරයක වගේ ටීවී එක හසුරුවන්නේ? හැබැයි ඒ ඉස්සර. දැන් එන ස්මාට් ටීවී එක්ක ගනුදෙනු කරන එක ඉතාමත්ම පහසුයි. උදාහරණයක් විදියට කිවුවොත් අර LG ස්මාට් ටීවී වල එන මැජික් රිමෝට් එක මැජික් බලයෙන් වැඩ කරන වයර්ලස් මවුස් එකක් වගේ තමයි. හරිම ලේසියෙන් ඒ රිමෝට් එකෙන් හැම වැඩක්ම කරගන්න පුළුවන්.

 

ඒ වගේම තමයි, දැන් අපි කියමු නිකම්ම ටීවී එකකට ස්ට්‍රීමින් උපාංගයක් හයි කරලා වැඩ කරනවා කියලා. ඒ කියන්නේ අතේ රිමෝට් කන්ට්‍රෝල් කීපයක් තියාගෙන නටන්න ඕන. හැබැයි ස්මාට් ටීවී එකක එක ස්මාට් රිමෝට් එකෙන් ඔක්කොම වැඩ කරගන්න පුළුවන්.

 

5. පෝට්ස් තිබේ

සාමාන්‍යයෙන් ටීවී එකක පිටිපස්ස පැත්ත දිහා බැලුවහම අපිට එක එක විදියේ පෝට්ස් හැටහුටාමාරක් විතර පේන්න තියෙනවනේ. හැබැයි පුතෝ දැන් එන නවීනතම සාමාන්‍ය ටීවී එකකත් HDMI පෝට් නං තියෙන්නේ එකයි නැතිනම් දෙකයි. එතකොට එකක් ටීවී බොක්ස් එකට ගැහුවට පස්සේ අනික් පෝට් එක තමයි කෝකටත් තෛලේ වෙන්නේ. එතකොට ක්‍රෝම්කාස්ට් එක ගහනකොට ප්ලේස්ටේෂන් එක ගලවන්න ඕන. හැබැයි ස්මාට් ටීවී එකක ඔය ප්‍රශ්නේ නැහැ. අරක ගහනකොට මේක ගලවන, මේක ගහනකොට අරක ගලවන කරදරේ නැතුව, තමන්ට අවශ්‍ය උපාංග ටික කරදරයක් නැතුව මවුන්ට් කරලා තියන්න පෝට්ස් ස්මාට් ටීවී එකක තියෙනවා.

 

6. වෙබ් බ්‍රවුසර් සහ තවත් ඇප්ස්

මෙන්න මේකත් අපි ගන්නවා ස්මාට් ටීවී එකක තියෙන වාසියක් විදියට. ඒ තමයි විවිධාකාරයේ ඇප්ස් ස්මාට් ටීවී එකක තිබීම. සාමාන්‍යයෙන් ගොඩක් අය අතරේ ජනප්‍රිය YouTube, Plex, TED, Vimeo, Facebook Watch, HBONow වගේ එව්වා තමයි. හැබැයි මේ ඇරෙන්න අපිට විවිධාකාරයේ කටයුතු ඉටු කරගන්න පුළුවන් තවත් ඇප්ස් බොහෝමයක් ස්මාට් ටීවී එකේ ඇප්ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම අපි උඩිනුත් කිව්වා වගේ ස්මාට් ටීවී එකක වෙබ් බ්‍රවුසර් එකකුත් තියෙනවා. ඉතින් ඉන්ටර්නෙට් යන්න, ඕන දෙයක් සර්ච් කරන්න එහෙම ලේසියෙන් පුළුවන්.

 

7. තවත් බොහෝමයක් පහසුකම්

ස්මාට් ටීවී එකක තියෙන තවත් පහසුකමක් තමයි, බාහිර මතක ධාරිතා උපාංගයක් ඒකට සෙට් කරලා, ටී වී එකේ යන තමන්ට ඕන ටීවී ෂෝ එකක් වුනත්, ෆිල්ම් එකක් වුනත් රෙකෝඩ් කරන්න පුළුවන් හැකියාව. ඒ විතරක් නෙවෙයි, ස්මාට් ටීවී එකකට හෝම් තියටර් සිස්ටම්, සවුන්ඩ් බාර්, ගේමින් කොන්සෝල් වල ඉඳලා සෑහෙන උපාංග ප්‍රමාණයක් එක්ක කනෙක්ට් වෙන්නත් පුළුවන්. ඒ වගේම දැන් එන ස්මාට් ටීවී වල බ්ලූටූත් පහසුකම් පවා තියෙනවා කියන එක අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *