මුලින් තිබ්බ නම පස්සෙ වෙනස්කෙරුව රටවල්

ලෝකේ මොනාහරි දෙයකට මිනිස්සු එකතු වුනාම නමට පස්සේ මුලින්ම අහන්නේ ආපු රට. ඉතින් රටක නමක් කියන්නේ ලොකු දෙයක්. මිනිස්සු ගොඩක් සවුත්තු දේවල් කළහම ඒ අය රටේ නම සවුත්තු කරනවා කියලත් කියනවා. ඒ කොයි හැටි වුනත් රටවල් වල නම් කියන්නෙත් හැමදාම එකක් නෙමෙයි. එව්වත් වෙනස් වෙනවා. වැඩිය ඕනි නැහැ, අපේ ලංකාවත් එහෙම නේ. 1972 වෙනකල් අපි ඉන්න රටත් හැඳින්නුවෙ සිලෝන් කියලා. ඒත් ඉන් පස්සේ මේ දක්වා ලංකාව ශ්‍රී ලංකාව කියලා හඳුන්වනවා.

 

1. ස්වාසිලන්තය – එස්වටිනි

ස්වාසිලන්තය කියන්නේ දකුණු අප්‍රිකාව ඇතුළේ පිහිටලා තියෙන අභ්‍යන්තර රටක්. මේ රටේ නායකයා පහුගිය කාලේ ලංකාවටත් ඇවිත් ගියා. මේ රටේ නම දැන් වෙනස් වෙලා. 2018 වර්ෂයේදී තුන්වැනි මස්වාති රජතුමා මේ පුංචි රටේ නම එස්වටිනි කියලා වෙනස් කළා. මේ රටේ නම ස්වාසිලන්තය වුණාම ඒක ස්විට්සර්ලන්තය එක්ක පැටළෙනවා කියන එක රටේ නම වෙනස් කරන්න තවත් එක හේතුවක් උනා. ඒඩ්ස්වලින් පීඩා විඳින හද්ද දුප්පත් එස්වටිනි අප්‍රිකානු රාජ්‍යය සහ සුන්දර ඇල්ප් කඳු අසබඩ තියෙන ස්විස් රට කියන්නේ අහසට පොළව වගේ වෙනසක්. ඉතිං 1986 ඉඳන් බලයේ ඉන්න මස්වාති රජතුමා ස්වාසිලන්ත-එස්වටිනි රටේ නම වෙනස් කරගෙන සංචාරක කර්මාන්තයෙන් තවත් ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

 

2. බුරුමය – මියන්මාර්

මියන්මාරය කියන්නේ පරණ බුරුම රට. බුරුම රට අපේ රට එක්ක බොහොම ඈත අතීතේ ඉඳන් බෞද්ධ ඉතිහාසයේදීත් සම්බන්ධ වුණු රටක්. මේ බුරුමේත් 1989 දි මිලිටරි ජුන්ටාවෙන් රටේ නම වෙනස් කරගත්තා මියන්මාරය කියලා. එත් තවමත් ලෝකයේ මේ රට බර්මා කියලා හඳුන්වනවා. ඒ කාලේ බර්මන් කියන ජන වර්ගය ජීවත් වුන රට කියන අදහසින් බර්මා හෙවත් අපිට පුරුදු විදිහට බුරුමය කියලා හැඳින්වුණා. ඒත් පස්සේ කාලෙක ඒ රට මයන්මාර්, මියන්මාර් කියලා දැන් විදිහට නම වෙනස් වුණා . මියන්මාරයේ එකිනෙකට වෙනස් ජන වර්ග විතරක් 135ක් පමණ ජීවත් වෙනවා. මේ පිරිස් අතර තියෙන නොනවතින ගැටුම් නිසා නම වෙනස් කරගෙන අවුරුදු 30ක් ගියත් දැනටත් මියන්මාරය දකුණු ආසියාවේ දුප්පත් රටක්.

 

3. උතුරු මැසිඩෝනියාව

යුගෝස්ලාවියාව එක්ක තිබුන ගැටුම් වලින් පස්සේ ඒ රටේ මැසිඩෝනියා කියන පළාත 1993 දී වෙන්වුනා. ඒත් ග්‍රීසිය ඒ තත්ත්වයට කැමති වුනේ නැහැ. ග්‍රීසිය තමුන්ගේ රටට ඒ කොටස එකතු කරගන්න කැමත්තෙන් හිටියත් වෙනමම ජනතාවක්, වෙනමම සංස්කෘතියක්, භාෂාවක් තිබෙන නිසා උතුරු මැසිඩෝනියාව වෙනමම රටක් විදිහට 2019 දී ප්‍රකාශයට පත් කළා.

 

4. ශ්‍රී ලංකාව

1972 ට පෙර ලංකාව හැඳින්වූයේ සිලෝන් කියලා. ශතවර්ෂ කිහිපයක් තිස්සේ යටත්විජිත ජාතීන් විසින් අපේ රට හඳුන්වන්න සිලෝන් කියන නම පාවිච්චි කළා. ඒ අභාෂයෙන් තාමත් ලංකා බැංකුව බෑන්ක් ඔෆ් සිලෝන්, විදුලිබල මණ්ඩලය සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් ආදී පැරණි නම් වලින් හඳුන්වනවා. ජනරජයක් බවට පත්වෙද්දි ලංකාවට අලුත් නමක් උවමනා වුනා. ඒ නිසා ලංකාව ශ්‍රී ලංකාව කියන නමින් හඳුන්වන්න පටන් ගත්තා. ඒත් තවමත් ඉපැරණි සුදු ජාතිකයන්ගේ ලියමන් වල සිලෝන් කියන නමින් ලංකාව දැක්වෙනවා.

 

5. සිම්බාබ්වේ

1990 දශකයේ ක්‍රිකට් රසිකයින්ට සිම්බාබ්වේ අමතක නොවන රටක්. මොකද ඒ කාලේ ක්‍රිකට් වල ලංකාව නිතරම වාර්තා තියපු රටක් තමයි සිම්බාබ්වේ කියන්නේ. සිම්බාබ්වේ මුලින් හැඳින්වූයේ රොඩේෂියා යන නමින්. 1980 දී රොඩේෂියාව සිම්බාබ්වේ වෙද්දි එහි අගනුවර නමත් සල්සිබාර් සිට හරාරේ දක්වා වෙනස් වුනා. බ්‍රිතාන්‍යයෙන් නිදහස් වන විට යම් තරමක දියුණු රටක් වුන සිම්බාබ්වේ රොබට් මුගාබේ ගේ 37 අවුරුදු පාලනයෙන් තවත් දුප්පත් අන්තයටම තල්ලු වෙලා ගියා. සිම්බාබ්වේ අප්‍රිකාවේ දුප්පත් රටක් වුණත්, වන ජීවීන්ගෙන් සපිරි වනෝද්‍යාන සිම්බාබ්වේ සංචාරයට සංචාරකයින්​ව දිරිමත් කරනවා.

 

6. චෙකියා (Czechia) 

චෙකොස්ලෝවැකියා කියන නම දිගයි. චෙකියා හරි කොටයි. චෙකොස්ලෝවැකියාව සහ චෙක් ජනරජය එකතු වෙලා හදපු අලුත් රට 2016 සිට රුසියානු චෙකියා ජනරජය කියල හැඳින්වෙනවා. පැරණි තාලේ කතාවල තියෙන සුන්දර දේවස්ථාන, බලකොටු ආදිය චෙකියා දේශයේ සුලභයි. ගේම් ඔෆ් ත්‍රෝන්ස් වැනි පැරණි නාටක ජනප්‍රිය වීමත් එක්ක චෙකියා වල බලකොටු බලන්න එන සංචාරකයින් වැඩි වුනා.

 

රටවල් වල නම් වෙනස් කළාට හැම තැනදිම ඒක සාර්ථක නැහැ. ලංකාවෙ අපි නම් සිලෝන් කියලා පරණ නම  පාවිච්චි කරන්නෙ නැතිවුනාට චෙක් රිපබ්ලික් අය එහෙම චෙකියා නමට වැඩි කැමැත්තක් නැහැලු. ඒ වගේම නම වෙනස් කරලත් දශක තුනක් ගියත් මියන්මාරයට තාමත් බර්මා කියනවා. ඉතින් මේ සුන්දර රටවල් දැන් දැකබලාගන්න යන්න අපිට බැහැ. ඒත් යූ ටියුබ් පැත්තේ ගිහින් සර්ච් කරලා බැලුවොත් නම් වෙනස් කළත් ලස්සන වෙනස් වෙලා නැති මේ රටවල් වල සුන්දර තැන් ඔයාලට බලාගන්න පුළුවන් වේවි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *