ගීතයක් කියන දේ පද රචනය, තනුව සහ ගායනය කියන තුනේම සංයෝගයක්. හැබැයි බොහෝ විට අපේ අවධානය යොමු වෙන්නේ ගීතය ගායනා කරන ගායකයා හෝ ගායිකාවට විතරයි. නමුත් බොහෝ අවස්ථා වල ගී පද මත තමයි තනු නිර්මාණය වගේම ගීතය ගායනා වන ගායන ශෛලියත් තීරණය වෙන්නේ. නමුත් ඒ හා සමානව ගී පද රචකයන් පිළිබඳව නිශ්චිත කතාබහක් අපේ රටේ ඇති වෙනවාද කියන එක ප්‍රශ්නයක්. කලින් වතාවක අපි ගී පද රචකයෝ ගැන කතා කරපු නිසා අපි අද හිතුවා ගී පද රචිකාවෝ ගැන සටහනක් ඔබ වෙතට ගෙන එන්න.
1. දයා ද අල්විස්
අපේ රටේ ජනප්‍රියතම ගී පද රචිකාවක් විදිහට මෙතුමියව හඳුන්වන්න පුළුවන්. නමුත් එතුමිය ඊටත් වඩා ජනප්‍රිය වෙලා ඉන්නෙ ගුවන් විදුලි නිවේදිකාවක් විදිහට. මුලින්ම ඇය කවි ලියන්න පටන් ගනිද්දී ඇගේ පවුලෙන් එයට දැඩි විරෝධයක් එල්ල වුණාලු. නමුත් සුප්‍රකට ජනමාධ්‍යවේදී සෝමපාල රණතුංග මහතා සමඟ විවාහවීමෙන් පසුව ඇයට නිර්මාණශීලී කටයුතු වැඩි දියුණු කරගන්න ඔහුගෙන් ලැබුණේ සුවිශාල සහයක්. ඉන් අනතුරුව තමයි ඇය ගුවන් විදුලියට නිවේදිකාවක් විදිහට සම්බන්ධ වෙන්නේ. එහිදී ඇය විවිධ ගායක ගායිකාවන් වෙනුවෙන් ගී පද රචනා කරන්නත් පටන් ගන්නවා. මේ ඒ ගීත අතරින් අතිශයින්ම ජනප්‍රිය වුණු ගීතයක්.
2. කුසුම් පීරිස්
2019 වර්ෂයේදී අපෙන් සමුගෙන ගිය කුසුම් පීරිස් මහත්මිය ගුවන් විදුලිය හරහා තමන්ගේ ගමන ආරම්භ කරපු තැනැත්තියක්. ඇතැම් අය හඬ කැවීමේ රැජින විදිහටත් ඇයව හඳුන්වා දෙනු ලැබුවා. දිනක් අහම්බයෙන් ඇය රචනා කළ ගී පද පේළියක් දුටු නිරංජලා සරෝජනී මහත්මියගේ දැඩි ඉල්ලීම මත ඇය විසින් “නිසංසලේ මා තනියෙන්” යන ගීතය රචනා කර දෙනු ලැබුවා. ඉන් අනතුරුව ඇය රචනා කළ ගීත ගණනාවක් ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වුනා. ඒ අතරින් යමුනා විනෝදනී මහත්මිය ගායනා කරන මේ ගීතය සුවිශේෂී වෙනවා.
3. යමුනා මාලිනී
යමුනා මාලනී මහත්මිය කිවිඳියක් සහ ගී පද රචිකාවියක් විදිහට සාර්ථකත්වය ලබා ගන්නේ අභාවප්‍රාප්ත ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදියෙක් වුණ ධර්මසිරි ගමගේ මහතාගේ “යොවුන් පහන් වැට” විශේෂාංගය නිසා. පැරණි සහ වත්මන් සාහිත්‍යය පිළිබඳ පෘථුල අවබෝධයකින් යුක්ත ව ගී පද රචනයේ යෙදෙන ඇය සාර්ථක ගී පද මාලා රැසක හිමිකාරියක්. “ගහක මල් පිපිලා” වැනි ඇගේ ඇතැම් ගීතයකට නම් ඇය හීනෙන්වත් නොසිතූ අර්ථකතන ලබා දීමට ඇතැම් මුග්ධ රසිකයන් කටයුතු කරලා තිබ්බා. මේ ඒ ඇගේ තවත් ජනප්‍රිය ගීතයක්
4. යශෝධා විමලධර්ම
මේ නම අහපුවාම සමහරක් විට ඔබට පුදුම හිතෙන්න ඇති. නමුත් යශෝධාගේ පියා, රවිලාල් විමලධර්ම මහත්මයා හින්දි භාෂාවෙන් පවා ගී පද රචනා කළ විශිෂ්ටයෙක්. මේ නිසාම සාහිත්‍ය නිර්මාණකරණයේ හැකියාව යශෝධාගේ ලේ වලම තියෙනවා. වතාවක් ඇගේ හිතවතෙකු වන දයාන් විතාරණගෙන් අලුත් ගී පද රචිකාවියකගේ ගීතයක් ගායනා කිරීමට කැමැති දැයි ඇය අහනවා. දයාන් ඊට කැමැත්ත පළ කිරීමත් එක්ක ඇය විසින් රචනා කළ මේ ගී පද සංකල්පනාවක් ඇය ඔහුට ලබා දෙනවා. මේ ඒ ගීතයයි.
5. මොනිකා රුවන්පතිරණ
ගජමන් නෝනාගෙන් පසුව සිංහල සාහිත්‍යය තුළ සිය අසාමාන්‍ය ප්‍රතිභාවයෙන් නම රඳවන්නට සමත් වන ප්රබලතම කිවිඳිය විදිහට මොනිකා රුවන්පතිරණව හඳුන්වන්න පුළුවන්. ඇය තම මරණය දක්වාම කවි පොත් රාශියක් ජන ගත කළා. නමුත් ඊට සාපේක්ෂව ඇය ගීත නිර්මාණයට යොමු වුණේ ඉතාමත් අල්ප වශයෙන්. මේ ඇය විසින් රචනා කළ, අමරදේවයන් විසින් ගායනා කරන අතිශයින් සුන්දර ගීතයක්
6. සම්මානි විජේසිංහ
අද අපි අතර සිටින විශිෂ්ටතම ගී පද රචකයා වගේම කවියා වන රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ දියණිය වන සම්මානි විජේසිංහ තම පියාගේ අඩි පාරේ යමින් සාහිත්‍ය ක්ෂේත්රයට විවිධ අයුරින් දායක වෙනවා. ඇය වැඩි වශයෙන් ජනප්‍රිය වෙලා ඉන්නේ ළමයින් සඳහා ලේඛනයේ යෙදෙන තැනැත්තියක් විදිහට. නමුත් බොහෝ දෙනා නොදන්නවා වුණාට ඇය විසින් ගී පද රචනා කීපයක් කර තිබෙනවා. සම්මානි විසින් රචනා කරන ලද මේ ගීතය ගායනා කරන්නේ නිරෝෂා විරාජිනී.
7. උදාරි අමරතුංග
සනුක වික්‍රමසිංහ විසින් ගායනා කරනු ලබන අතිශයින් ජනප්‍රිය ගීතයක් වන සංසාර සිහිනේ ගීතය රචනා කරන ලද්දේ තරුණියක් විසින් බව මෙතෙක් ඔබ දැන සිටියාද? ඇය නමින් උදාරි රණතුංග. වෘත්තියෙන් ගුරුවරියක් වන ඇය තම ගී පද රචනා වෙනස් ආරකට සිදු කිරීමට උපරිමයෙන් උත්සහ දරන තැනැත්තියක්.
මීට පෙර ඇය සනුක වික්‍රමසිංහ සඳහා “ඔබ දකින්න බෑ” නමින් ද ගීතයක් රචනා කළා. අපි දැන් ඇගේ ජනප්‍රියතම ගීතය වන සංසාර සිහිනයට සවන් දෙමු .
මේ ලැයිස්තුවට ඇතුළත් විය යුතු තවත් ගී පද රචිකාවන් ඉන්නවා නම් ඒ අය ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ අපිට කියන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්න කියන ඉල්ලීමක්ද අපි කරන්න කැමතියි.
Leave a Reply