දෙමව්පියන්ට ඕනි තමන්ගේ දරුවන් හොඳට කාලා බීලා උස්මහත් වෙනවා දකින්න. ළමයින්ට කවන එක වෙලාවකට සෑහෙන අමාරු වැඩක් වෙන නිසා ඒක ලේසි කරගන්න එක එක වැඩ කෑලි එයාලා කරනවා. හොඳ පරමාර්ථයකින් කරාට සමහරවිට නොදැන කරන්නේ වරදක්. බලන්න ඔබත් මේ දේවල් කරනවද කියලා?
1. දරන්න බැරි කෑමක් ලෝඩ් කිරීම
කවනකොට අපි කන තරමට ම බබාලටත් කවන්න හිතනවා නම් ඉතින් ඒ තරම් මෝඩකමක් නෑ. වැඩිහිටි අපේ නම් අලි බඩවල්. ඕනෑ කෑම ප්‍රමාණයක් ගිල දමන්න පුළුවන්. ඒත් පොඩි එවුන්ට තියෙන්නේ කුරුලු බඩවල්. ඉතින් ඒ කාලේ බිල්ලෝ එනවා කන්න කියලා අමාරුවෙන් කටක් දෙකක් කවාගත්තට අපේ අම්මලා, දැන් වගේ අධිපෝෂණයක් එතනින් ලැබුණේ නෑ. මෙහෙම ලොකු කෑම ප්‍රමාණයක් ගන්න හුරු වුණාම ඕක අත අරින්නත් බැහැ. ඉතා අඩු වයසින් අධිපෝෂණය, දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ ලෙඩ වෙනවා. එනිසා තරමට කවමු!
2. කෑම මේසෙන් ටීවී එකට මාරු වීම
දැන් හිතන්නකෝ. මොනවවත් කන්නේ බොන්නේ නැතුව ටීවී එක බලනකොට පවා අපිට අවට ලෝකය ගැන කිසි හැඟීමක් නැහැනේ. ඉතින් කනකොටත් එහෙමයි. කන්නේ මොනාද කොච්චරක් කනවද කියලා දෙයියෝ තමයි දන්නෙ. බඩට වැටෙනවා ගාණකුත් නෑ ඉතින් යන්තරේ වගේ කනවා. මේක ඉතාම අවදානම් තත්ත්වයක්. සිරුරට අවශ්‍ය කරන ප්‍රමාණයකට වඩා 10%ක් වැඩිපුර කැලරි ඇඟට වැටෙන්න පුළුවන් ඔය වැඩෙන්.
3. ආහාර වර්ග කන්න බලකිරීම
පුංචි කාලෙදි පළා කන්න, එළවළු වර්ග, මාළු හෙම කන්න ගොඩක් දරුවන්ට බල කරා ම වෙන්නේ ලොකු වෙන්න වෙන්න ඒ ආහාරවලට එයාලගේ හිතේ තියන ආශාවත් නැතුව යන එක. අවුරුදු 14න් 15න් වගේ ළමයි පළා මැල්ලුමක් නොකන තත්ත්වයකට පත් වෙන්නේ පුංචි කාලේ ඉඳන් ම “කන්න කන්න” කියන මන්තරේට අහු වෙන හින්දා.
4. අහිතකර ආහාර වර්ග හංගා තැබීම
අතට අහු වුනෝතින් චිප්ස් පැකට් එකක් ම ඉවර කරයි කියලා හිතාගෙන ඔබ ඒක පැන්ට්‍රියේ උඩ ම තට්ටුවේ කෙළවරක හංගනවා. හිතන්නේ ළමයි ඒ ගැන දන්නේ නෑ කියලා. හැබැයි ඉතින් ඕවා දරුවෝ දන්නවා. මෙහෙම වුණාම වෙන්නේ නොහිතන විපත්තියක්. ඔබ එහෙ මෙහෙ වෙනකන්, ඒ කියන්නේ ගෙදරින් එළියට යනකන් වගේ බලන් ඉඳලා මේවා එක පාර කාලා ඉවර කරන්න ළමයි උත්සාහ කරනවා. ඒ වගේ ම ගන්න බැරි තරම් තැනක කෑම ගබඩා කරා ම ඒවා ගන්න ගිහින් තුවාල කරගන්නවා. ඉතින් හොඳම දේ මේ දේවල් නොගෙන ඉන්න එක.
5. හොඳ ආහාර වේලකට දෙන නරක අල්ලස
සැලඩ් එකක් බබාට කවා ගන්න තිබ්බා නම් ලොකු දෙයක් නේද? හැබැයි ඉතින් කනවා තියා පළාත බලන්නේ නෑ. ඉතින් මේ වගේ වෙලාවට සමහර අම්මලා කරන්නේ සැලඩ් ටික ඔක්කොම කෑවොත් අයිස්ක්‍රීම් කන්න පුළුවන් වගේ තව මොකක් හරි සුකුරුත්තම් කෑමකින් අල්ලසක් දෙන එක. එතකොට ළමයි කලින් ආහාර වේල ගන්නේ තව දෙයක් කන්න බලාගෙන. හැමදාම අයිස්ක්‍රීම් කවන්න ද? අනික අයිස්ක්‍රීම් එක ටික දවසකින් ඊටත් එහා අල්ලසක් බවට ළමයින් ම පත් කරගන්නවා. අනවශ්‍ය සෞඛ්‍ය ප්‍රශ්න මොකට ද ඇති කරගන්නේ නේද?
6. දරුවාගේ ආහාර තේරීම පිළිගැනීම
එළවළු ජාති කීපයක් එක්ක බත් පිඟාන බෙදලා දුන්න ම දරුවා කාලා තියෙන්නේ එක එළවළුවයි. පෝෂ්‍යදායී එළවළු කීපයක් එක්ක සොසේජස් කරලක් බෙදලා තිබ්බොත් කාලා තියෙන්නේ සොසේජසුයි බතුයි විතරයි. මේක ඒ විදියට ම පිළිගන්න යන්න එපා. එයාට දිගට ම සොසේජසුයි බතුයි දෙන්න යන්න එපා ඒ එයාගේ කැමැත්ත කියලා. ඒක කෑම සම්බන්ධයෙන් පමණක් නෙවෙයි අනාගතයේ ගන්න වෙන තීරණවලදී පවා උද්ධච්ඡ පුද්ගලයෙකුව නිර්මාණය කරනවා. මුලින් මුලින් හොඳ දේවල් කවන්න අමාරු වෙයි. නමුත් පස්සෙන් පහු තියන ඒවට හුරු වෙනවාමයි.
7. දරුවන් ඉදිරිපිට ඩයට් කිරීම
හැදෙන වැඩෙන ළමයි ඉදිරිපිට කිසිම විදියකින් ආහාර පාලනය කරන්න එපා. එතකොට ළමයිනුත් ඒවම කරන්න පෙළඹෙනවා. වයසට අනුව ශරීරය උස්මහත් වෙන එකත් කන බොන එකේ වැරැද්දක් විදියට ඔවුන් දැකල නොකා නොබී ඉන්න පුළුවන්. ශරීරයේ කිසිම වැරැද්දක් නැතත් මහතයි කියලා පසුතැවෙනවා. එහෙම වෙලා නොකන එකෙන් ඕනි කාලෙට ඕනි පෝෂණය නොලැබිලා සංකූලතා මතු වෙනවා.
Leave a Reply