මුලින්ම ලෝකෙ වටේ යන්න ගත්ත දේශගවේෂකයෝ

ඉතාලිය, ස්පාඤ්ඤය, පෘතුගාලය, නෙදර්ලන්තය වගේ රටවල් මේ කොරෝනා වෛරස තත්ත්වයෙන් හොඳටම බැට කෑවා. එදා මේ යුරෝපා රටවල දේශ ගවේෂකයින් ලෝකයම එකට එක් කරන්නට හේතු වුනා. ඊට පෙර කාලයක අපේ රටවල් ඉන්දියාව සහ චීනය යා කරපු වෙළඳ මාර්ග වලින් රට රටවල සංචාරය කරන්න හියුං සාන්, ෆාහියන් ආදී භික්ෂුන් ක්‍රියා කළා. ඉතින් මේ දේශ ගවේෂක සංචාරකයින් නිසා ලෝකයේ ගනුදෙනු වැඩිවීමත් එක්ක නූතන ලෝකය අද තියෙන තත්ත්වයට පත් වුනා. ඒත් කොරෝනා වගේ අහිතකර තත්ත්වයන් අද වේගෙන් පැතිරෙන්නත් මේ සොයාගත් නව වෙළඳ ජාලා හේතු වෙලා තියෙනවා. ඉතින් එදා දේශයකින් දේශයකට යන්න සෑහෙන අමාරු කාලේ ඒ දේශ දේශාන්තර සොයාගෙන ගිය වීර චරිත කිහිපයක් ගැන විස්තර ටිකක් අපි දැනගමු.

 

1. හියුං සාන්

හියුං සාන් භික්ෂුව චීනයේ සිට කයිබර් දුර්ගය, හිමාලය තරණය කොට ඉන්දියාවට පැමිණ බුදුදහම ඉගෙන නැවත චීනයට ගියා. ඒ ක්‍රිස්තු වර්ෂ 600 තරම් ඈත කාලයේදී. බෞද්ධ භික්ෂුවක වූ හියුං සාන් ලංකාවට පැමිණියේ නැතත් දකුණු ඉන්දියාවට ආවා. එහිදී ලංකාව ගැන විස්තර ආදිය දැනගෙන ඒවාද ඔහුගේ වාර්තා වල පළකොට තියෙනවා. එකල ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන ගැන මෙන්ම සමාජය ගැනද විශාල තොරතුරු රැසක් හියුං සාන්ගේ දේශාටන වාර්තා වල සඳහන් වෙනවා. අද කාලේ පවා පාකිස්ථානයේ කරකොරම් මහා මාර්ගය හරහා පැමිණ චීනයෙන් ඉන්දියාවට පැමිණීම අමාරු වැඩක්. එකල ඒ මහත් දුෂ්කර වූ මාර්ග ගෙවා ඉන්දියාවට පැමිණ, ඉන්දියාව අධ්‍යයනය කොට නැවත චීනයට ගොස් සිය වාර්තාවෙන් තොරතුරු ඉදිරිපත් කළ හියුං සාන් භික්ෂුව මහ පුදුම චරිතයක්.

 

2. ෆාහියන්

ෆාහියන් හිමි ද චීනයේ සිට පෙරදිග ගවේෂණයට පැමිණි අභීත භික්ෂුන් වහන්සේ නමකි. ක්‍රි.ව 399 දී ගමන ආරම්භ කළ ෆාහියන් හිමි ගේ සංචාරයට 10 දෙනෙකුගේ කණ්ඩායමක් එකතුවුනා. මධ්‍යම ආසියාවේ ගෝබි කාන්තාරය හරහා වූ අති දුෂ්කර මාර්ගයක් ෆාහියන් භික්ෂුව සිය ගමන සඳහා යොදාගත්තා. ඒ රළු මග ඔස්සේ පයින්ම මාස ගණනාවක් පැමිණ උන් වහන්සේ දැනට පාකිස්ථානයට අයිති ගන්ධාර දේශයට පැමිණියා. එවකට ගන්ධාර දේශය බුදුදහම හොඳින් පැවති පළාතක් වුණා. ෆාහියන් භික්ෂුව ලංකාවේ මහානාම රජුගේ පාලන සමයේ ලංකාවටද පැමිණ අභයගිරි විහාරය දැකබලාගෙන, වැඳ පුදාගෙන ගොස් තියෙනවා. ෆාහියන් හිමිගේ දේශාටන විස්තර වල ලංකාවේ වෙහෙර විහාර ආරාම ගැනද වග විස්තර ඇතුළත් වෙනවා. 

 

3. ඉබන් බතුතා

ඉබන් බතුතා සිය ගමන ආරම්භ කළේ 1304 දීයි. එවකට ලෝකයේ සොයාගෙන නොතිබුණ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමරිකාව හැර අනෙක් සෑම තැනකටම පාහේ ඉබන් බතුතා සිය ගමන් ගියා. ඔහු අවුරුදු තිස් පහක් ආසියානු සහ අප්‍රිකානු බිම් හරහා ගමන් කළා. බතුතා ලංකාවටද ඇවිත් තිබෙනවා. ඒ සමයේ ආර්යචක්‍රවර්ති සහ පාලකයින් කිහිප දෙනෙක් විසින් පාලනය කළ ලංකාව ගැන විස්තර ඉබන් බතුතාගේ විස්තර වල සඳහන් වෙනවා. මලබාර් දේශයේ සිට නැව් නැගී එන විට හැමෝම හොඳින් හඳුනන ලංකා දේශයට ගොඩබට බව ඉබන් බතුතා සිය විස්තරයේ සඳහන් කර තිබෙනවා. ඉබන් බතුතා ඉස්ලාම් භක්තිකයෙකු වූ අතර ඔහු ගිය ගිය දේශයන්හිදී කාන්තාවන් සරණ පාවාගත් බවද චාරිකා විස්තර වල සඳහන් වෙනවා.

 

4. වස්කෝ ද ගාමා

පෘතුගීසි ජාතිකයෙක් වූ වස්කෝ ද ගාමා, අප්‍රිකාව වටා යාත්‍රා කොට ඉන්දියාවට පැමිණීමට හැකි බව සොයාගත්තා. එවකට ගොඩබිමෙන් පෙරදිග වෙළඳාම මුස්ලිම්වරුන්ට යටත් වී තිබුණා. ඉන්දියානු කුළුබඩු සහ වටිනා දෑ යුරෝපීයයන්ට මිලදී ගන්නට සිදු වුණේ මුස්ලිම්වරුන් හරහායි. එබැවින් වස්කෝ ද ගාමා සහ පිරිසගේ අලුත් මුහුදු මාර්ගය යුරෝපීය වෙළඳාමට වැදගත් පියවරක් වුණා. මේ ගමන ලෙහෙසි පහසු එකක් නොවෙයි. දැනට වඩා මාස කිහිපයක් ගත වෙන මේ වස්කෝද ගාමා ගේ ගමනේදී ඔහු ඉන්දියාවට පැමිණ නාවික සැතපුම් 27,000කට වැඩි දුරක් සම්පූර්ණ කොට නැවත පෘතුගාලයට ළඟා වන්නට සමත් වුණා. ඇත්තෙන්ම වස්කෝ ද ගාමා ගොස් ඇති දුර බොහෝ වැඩියි. එහෙත් ඒ සඳහා පැහැදිලි හේතුව තවමත් අභිරහසක්. කෙසේ වෙතත් වස්කෝ ද ගාමාගේ ඉන්දියානු ගමන ලංකාව ඉන්දියාව, ජාවා රට ඇතුළු ආසියානු පළාත් පසුකලෙක යුරෝපීය යටත් විජිත බවට පත් වීමට පාර කැපුවා.

 

5. ක්‍රිස්ටෝපර් කොලොම්බස්

ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඇත්තටම ඇමරිකාව සොයාගත්තේ නැහැ. ඒ සොයාගත්තේ අලුත් දේශයක් යැයි කියාවත් ඔහු දැන සිටියේ නැහැ. බටහිර ඉන්දීය දූපත් ලෙස හැඳින්වෙන දූපත් වලට ගොඩබට කොලොම්බස්, තමන් ඉන්දියාවට ළඟා වී යැයි සිතුවා. ඉන් පසු ඒ දිවයින් වල වූ ස්වදේශිකයින්ට හිංසා පීඩා කොට ඔවුන්ගේ රත්‍රන් පැහැරගත් කොලොම්බස්, ඒවා රැගෙන නැවත ස්පාඤ්ඤයට ගියා. කොලොම්බස් 1490 ගණන් වලදී ඇමරිකාව සොයාගත්තේ යැයි සැලකෙනවා. ඔහුට ද යුරෝපයේ සිට ඉන්දියාවට මුහුදු මාර්ගයක් සොයාගන්නට උවමනා වුණා. ඒ අරමුණින් කෙලින්ම යාත්‍රා කළ ඔහුට කැරිබියන් දිවයින් හමු වුණා. ඇමරිකාව නම් අලුත් දේශය මුලින්ම සොයගත්තේ කොලොම්බස් බවට පිළි ගැනුනත් ඔහු ඇතුළු දේශ ගවේෂකයින් සොයාගත් නව දේශයන්හි ස්වදේශීය ජනයාට කළ හිරිහැර ආදිය බොහෝයි.

 

6. මැගලන්

ස්පාඤ්ඤයේ රජු කොලොම්බස් සහ පිරිසක් ලවාද ඉන්දියාවට අලුත් මගක් සෙවීමට උත්සාහ කළ මුත් එවකට එය ආසාර්ථක වුණා. එයින් ඉන් පසු අවස්ථාවක් ලැබුන තවත් පුද්ගලයෙක් තමයි මැගලන්. එවකට 1500 ගණන් වල මුල් කාලය වනවිට අප්‍රිකාව වටා යාත්‍රා කොට ලංකාව, ඉන්දුනීසියාව වැනි රටවල කුළු බඩු වලට ඉව ඇල්ලීමට යුරෝපීයයන් සමත් වී තිබුණා.  ලෝකය ගෝලාකාර බව එවකට දැනගෙන සිටි නාවිකයෝ යුරෝපයේ සිට තවත් මාර්ගයක් ඉන්දුනීසියා දිවයින් වෙත තිබිය හැකි බැව් විශ්වාස කළා. එහෙත් ඒ තරණයට බිය වූ බොහෝ දෙනා අතර මැගලන් එයට අභීතව ඉදිරිපත් වුණා. කෙසේ වෙතත් දකුණු ඇමරිකාව හරහා යාත්‍රා කොට පිලිපීනයට ළඟා වූ නමුදු මැගලන්ට සිය ලෝ වටා ගමන සම්පූර්ණ කර ගන්නට නොහැකි වුණා. ඔහු පිලිපීන දූපත් වල දී ස්වදේශිකයින් සමග වූ ගැටුමකින් හදිසියේ මිය පරලොව ගියා.

 

7. අමරිගෝ වස්පුචි

ඇමරිකාවට ඒ නම තිබ්බේ අමරිගෝ සිහිවෙන්න. අමරිගෝ කියන්නේ සිතියම් ඇඳලා ඒ ඒ දේශයන් ගැන තාක්ෂණික කාරණා වාර්තා කරපු කෙනෙක්. ඔහු දකුණු ඇමරිකාව වටේ යාත්‍රා කරලා ඒ දකුණු ඇමරිකාව ගැන වටිනා විස්තර සිතියම් වලට ඇතුලත් කළා. ඒ වගේම ඒ ඒ දේශයන් ගැන විස්තරත් ඔහු එවකට ස්පාඤ්ඤ ජනයාට විවර කළා. ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ 1451 ඉපදුණු අමරිගෝ, ඉන්දියාව අයිනෙන් යාත්‍රාකොට ලංකාව ඇතුළු දිවයින් වලට ළඟා වෙන්නත් ආසාවෙන් ඉඳලා තියෙනවා. ඒත් ඔහුට කවදාවත් මේ පැත්තට එන්න බැරිවුනා.

 

රටකට හෝ දේශයකට ගොඩ බැස්ස පමණින් ඒ දේශයේ සියලු විස්තර ආදිය එකවර ග්‍රහණය කරගන්නට ලැබෙන්නේ නැහැ. කාලාන්තරයක් ඉඳලා ඒ දේශයන් ගැන ඉගෙනගෙන, ඉන් පස්සේ ඒ අනුව කටයුතු කරලා තමයි වෙළඳ ගනුදෙනු, ආගමික ගනුදෙනු පවා සිද්ද වෙන්නේ. අපි දකින, පේන ලෝකයට වඩා එහා එකක් ඇතිය කියලා හිතපු එදා දේශ ගවේෂකයෝ එදා ඒ වෙනුවෙන් ජීවිත වලින් පවා වන්දි ගෙව්වා. ඒ වගේම ඇතැම් දේශ ගවේෂකයෝ ගවේෂණය කිරීම කෙසේ වෙතත් ඒ දේශයන් වල සිටි සතා සීපාවා විතරක් නෙමෙයි ස්වදේශික මනුෂ්‍යයිනුත් විනාශ කරලා දැම්මා. ඒ දේශ ගවේෂකයෝ ගැන විස්තර ටිකක් ඔයාලට මේ හරහා දැනගන්නට ලැබෙන්නට ඇති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *