දැන් ඔය සෙක්ස් කියන කර්තව්‍යය වැඩිමහල් මිනිස්සුන්ට සහ ගැහැණුන්ට මහා අරුමයක් වෙන්න විදියක් නැහැනේ. මේක කියවන සමහරු මේ වෙනකොට සෙක්ස් කරලා ඇති. තවත් සමහරුන්ට තාම ප්‍රථම අත්දැකීමවත් නැතිව ඇති. හැබැයි අනාගතේදී හරි සෙක්ස් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, තමන් ආදරේ කරන හෝ තමන් ආස කරන කෙනෙක් එක්ක සෙක්ස් කරලා ඉවර වුනාට පස්සේ කරන්නේ මොනවද කියන එක ගැනත් දැනගෙන ඉන්න එක වටිනවා. විශේෂයෙන්ම තමන්ගේ සහ අනෙක් කෙනාගේ ශරීර සෞඛ්‍යයටත් මේ කියන දේවල් වටිනවා. ආන්න ඒ නිසා තමයි සෙක්ස් කළාට පස්සේ කළ යුතු දේ සහ නොකළ යුතු දේ ගැන පොඩි දැනුමක් ලබාදෙන්න අපි හිතුවේ.
1. අනික් පැත්ත හැරිලා නිදාගන්න එපා
සමහරුන්ට සෙක්ස් කරලා ඉවර වුනහම මහන්සියයි, තෘප්තියයි එක්ක එනවා පට්ට නිදිමතක්. ආන්න ඒ වෙලාවට එහෙමම පැයක් දෙකක් නිදාගන්න හදන්න එපා. ඇස් ඇරගෙන ඉන්නම බෑ වගේ නම් එලාම් එක තියලා පොඩි වෙලාවක් නිදාගත්තට කමක් නැහැ. හැබැයි මහන්සියි කියලා එහෙම්මම නිදාගන්න හදන්න එපා. සෙක්ස් කළා වගේ නෙවෙයි, තව වැඩ තියෙනවා!
2. හෝදගමු නේද?
ආන්න අනිවාර්යයෙන්ම සෙක්ස් කළාට පස්සේ කරන්න ඕන දෙයක්. පොඩි වොෂ් එකක් දාගත්තත් කමක් නෑ. නැතත් අනිවාර්යයෙන්ම තමන්ගේ ලිංගික අවයව සහ ආශ්රිත ප්‍රදේශ සෝදාගන්න ඕන. විශේෂයෙන්ම සෙක්ස් කළාට පස්සේ තමන්ගේ ලිංගික අවයව වල ශ්‍රාවයන් තැවරිලා තියෙනවනේ. අන්න ඒවා හෝදලා අරින්නේ නැතුව හිටියොත් සිද්ධ වෙන්නේ ගඳ ගහන එක විතරක් නෙවෙයි. ඔය ලිංගාශ්‍රිත ප්‍රදේශ වල සහ ලිංගික අවයව වල ආසාදන එහෙමත් ඇතිවෙන්න පුළුවන්. ආන්න ඒ නිසා තමයි ඔය සෝදගන්න එක වැදගත් වෙන්නේ. මෘදු සබන් වර්ගයක් හෝ බොඩි වොෂ්, ෂවර් ජෙල් වගේ දෙයක් පාවිච්චි කරලා සුමුදුව සෝදා හරින එක තමයි ක්‍රමේ.
ඒ විතරක් නෙවෙයි, හොඳට අත් හෝදගන්නත් ඕන, හරිද!
3. හැබැයි ඕනවට වැඩියේ හෝදන්න එපා
ඕනවට වැඩිය කෝකත් හොඳ නැහැනේ. ආන්න ඒ නිසා ආයි ලිංගේන්ද්‍රියන් ගැලවෙන ලෙවල් එකට අතුල්ලලා හෝදන්න දෙයක් නැහැ. පිරිමියෙක් නම් පොඩ්ඩක් පෙර සම පසුපස්සට කරලා හෝදගත්තට කමක් නැහැ. හැබැයි කාන්තාවක් නම් යෝනියේ ඇතුළත හෝදන්න (ඒ කියන්නේ douche කරන්න) යන්න එපා. අන්න ඒ ඔවදන විශේෂයෙන්ම මතක තියාගන්න ඕන. ස්ත්‍රී ලිංගේන්ද්‍රිය නිර්මාණය වෙලා තියෙන්නෙම තමන්මට ඒක පිරිසිදු කරගන්න පුළුවන් විදියට. හැබැයි ඒ පිරිසිදු කම තියෙන්න ලිංගේන්ද්‍රියේ ඇතුළත හිතකර බැක්ටීරියා එක්ක තියෙන පරිසරය ඒ විදියට තියෙන්න අරින්න ඕන. එහෙම නැතිනම් ඔය ඊස්ට් ආසාදන, බැක්ටීරියල් වැජිනෝසීස්, මූත්‍ර කලාප ආසාදන එහෙම ඇතිවෙන්න ඉඩක් තියෙනවා. ඒ වගේම ඔය සෙක්ස් කළාට පස්සේ පිරිසිදු කරන්න කියලා ෂොප් වල තියෙන එක එක විදියේ සුවඳ කවපු පිරිසිදුකාරක වුනත් පාවිච්චිය හොඳ නැහැ. හොඳම දේ තමයි උඩිනුත් කියලා තියෙන විදියට මෘදු සබන් වර්ගයක් හෝ බොඩි වොෂ්, ෂවර් ජෙල් වගේ දෙයක් පාවිච්චි කරලා සුමුදුව සෝදා හරින එක
4. චූ පාරක් දාලා, වතුර ටිකක් බීලා
සාමාන්‍යයෙන් සෙක්ස් කළාට පස්සේ ගැහැණු උදවියට වුනත්, පිරිමි උදවියට වුනත් චූ පාරක් දැමීමේ අවශ්‍යතාවය මතුවෙනවා. ඒක ස්වභාවිකයි. හැබැයි ඒක හිර කරගෙන ඉන්නෙ නැතුව ගිහින් චූ දාලා එන එකේ තියෙනවා විශේෂ වාසියක්. ඒ තමයි මුත්‍රවාහිනිය ඇතුළට සෙක්ස් කරන වෙලාවේ ඇතුළු වෙන බැක්ටීරියාවන් සෝදලා හරින එක. ඒකෙන් අනවශ්‍ය මුත්‍රා ආසාදනයක් ඇතිවෙන එක වළකිනවා. ඒ වගේම හෝදගෙන කරගෙන ආවට පස්සේ තව වතුර වීදුරුවක් බිව්වත් කමක් නැහැ. සෙක්ස් කරපු මහන්සියත් එක්ක ඒක ඇඟටත් ප්රබෝධයක්. හැබැයි ඊට පස්සේ නිදාගන්න යන්න කලින් ආයෙමත් චූ පාරක් දාලා එන්න වෙයි.
5. අස් කරන්නේ නැද්ද?
දැන් සෙක්ස් කරලා ඉවර වුනහම ගොඩක් වෙලාවට ඇඳයි, අවට වටපිටාවයි යක්කු නටපු කාමරයක් වගේනේ. ඇඳුම් තැන් තැන් වල, ඇඳ රෙදි බිම. සෙක්ස් සීන් එක නැගලම ගියා නං ඇඳුම් එහෙම සීලින් ෆෑන් එකේත් තියෙනවා වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඔය ගැම්මටම පොඩ්ඩක් අස් පරස් කරන එක හොඳයි නේද? විශේෂයෙන්ම ඔය පාවිච්චි කරපු කොන්ඩෝම් එහෙම තියෙනවා නම්, ඒවා ගැටයක් ගහලා, ටිෂූ එකක ඔතලා ඩස්බින් එකට දාන්න. ලුබ්රිකන්ට් බෝතල් එහෙම හරියට වහලා කබඩ් එකකට දාන්න. එතකොට පාවිච්චි කරපු සෙක්ස් ටෝයිස් එහෙම තියෙනවා නම් හෝදලා කරලා පැත්තකින් තියන්න.
6. මොකක් ඇඳලද නිදාගන්නේ?
සෙක්ස් කළාට පස්සේ වොෂ් දාගෙන කරලා ඇවිත් ඇඳුම් නැතුව නිදාගත්තත් කමක් නැහැ. හැබැයි ආයෙමත් ගමනක් යන්න කලින් ඇඟ හිරවෙන බ්‍රා, පෑන්ටි, අන්ඩර්වෙයාර් ඇඳලා, එහෙම නැතිනම් ඇඟ -විශේෂයෙන්ම ලිංගේන්ද්‍රියන් සහ ලිංගාශ්‍රිත ප්‍රදේශ- තදබද වෙන පිජාමා, ෂෝට්ස් එහෙම ඇඳලා නිදාගන්න එක ඒ තරම් හොඳ නැහැ. එක්ස්පර්ට්ලා කියන්නේ ඇඟ හොඳින් වේලෙන්න ඉඩක් නොලැබෙන එකෙන් ඔය බැක්ටීරියා ආසාදන එහෙම ඇතිවෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඔය සෙක්ස් කරනකොට වැඩිපුර ශරීරයේ ශ්‍රාවයන් එහෙම එහෙමෙහේ තියෙනවා. එතකොට ඝර්ෂණය එක්ක එහෙම සීරුම් අනං මනං එහෙමත් තියෙන්න පුළුවන්. හොඳම හොඳ දේ තමයි උපන් ඇඳුමෙන් නිදාගන්න එක.
7. සහකරුවා/සහකාරිය එක්ක සම්බන්ධය වැදගත්
තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය එක්ක සෙක්ස් කළාට පස්සේ නම් මේ ප්‍රශ්නේ එන්න විදියක් නෑ. හැබැයි, කියන්න කණගාටුයි, සෙක්ස් වලටම අඳුනගත්තු සහකාරයෙක් හෝ සහකාරියක් එක්ක විතරක් නෙවෙයි, සමහර විවාහකයන්ටත් මේ ප්‍රශ්නේ ඇතිවෙනවා. ප්‍රශ්නේ තමයි මනුස්ස සම්බන්ධතාවයේ හිඟකම. විශේෂයෙන්ම සෙක්ස් කරලා ඉවර වුනාට පස්සේ ඒක නිකම් ගනුදෙනුවක් වගේ හැසිරෙන එක පොඩ්ඩක් අවුල්. ඒ කියන්නේ මෙහෙමයි. ඒක දෙන්නටම ගනුදෙනුවක් විතරක් නම්, එතනින් එහාට දෙන්නටම මනුස්ස සම්බන්ධතාවයක් තියාගන්න අවශ්‍ය නැතිනම් ප්‍රශ්නයක් නෑ. හැබැයි එහෙම නැතුව සාමාන්‍ය මනුස්සයෙක් එක්ක සෙක්ස් කළාට පස්සේ නැගිටලා යන්න ලෑස්ති වෙන එක, ෆෝන් එක අතට ගන්න එක, ටීවී රිමෝට් එක අතට ගන්න එකට වඩා, තමන් සෙක්ස් කරපු මනුස්සයාත් එක්ක විනාඩි කිහිපයක හෝ සම්බන්ධතාවයක් තියාගන්න එක වැදගත්. ඒක සරල කතාබහක් වෙන්න පුළුවන්. ආලිංගනයක් වෙන්න පුළුවන්. සිපවැළඳ ගැනීමක් වෙන්න පුළුවන්. මොකක් වුනත් කමක් නැහැ. අර සෙක්ස් කරපු එකට වටිනාකමක් එකතු කරන මනුස්ස සම්බන්ධතාවයක් අත්විඳින එක තමයි වැදගත් වෙන්නේ.
8. කලින් හිතන්න ඕන එව්වා!
එතකොට ප්‍රෙග්නන්ට් වෙයිද නැද්ද කියන එක ගැන හිතන්නෙ නැද්ද? ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග ගැන හිතන්නේ නැද්ද? හරකෝ, එව්වා හිතන්න ඕන සෙක්ස් කරන්න කලින්. ආරක්ෂිත ලිංගික එකතුවීමක් ගැන හිතන්නේ නැතුව, හරියට දේවල් කතා බහ කරගන්නේ නැතුව ඇඳට පනින උන්දැලා සෙක්ස් කරන්න ඕනෙම නෑ. අන්න ඒ නිසා ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග ගැන සෙක්ස් කරන්න කලින් හිතලා වැඩක් නෑ. ඒකට කරන්න ඕන සෙක්ස් කරන්න කලින්ම, තමන් සෙක්ස් කරන්නේ විශ්වාසවන්ත කෙනෙක් එක්කද නැද්ද කියන එක තීරණය කරලා, අවශ්‍ය කරන ආරක්ෂිත ක්‍රමවේද පාවිච්චි කරලා වැඩේට බහින එක. ප්‍රෙග්නන්ට් වීම ගැනත් කියන්න තියෙන්නේ එච්චරයි. මතක තියාගන්න, පොස්ටිනෝ කියන්නේ හැමදාම අමුවෙන් සෙක්ස් කළාට පස්සේ කෙල්ලට දෙන කෝකටත් උත්තරේ නෙවෙයි. ඒක හදිසියකදී පාවිච්චි කරන්න ඕන ක්‍රමයක් විතරයි. අන්න ඒ නිසා උපත් පාලන ක්‍රම ගැනත් හිතන්න ඕන ඇඳට නගින්න කලින්!
Leave a Reply