කොස් වලින් හදාගන්න පුළුවන් රස කෑම රෙසිපි මෙන්න!

බත් ගහ කියලා ගොඩක් ලෙන්ගතු වචනයක් දීලා අපේ මිනිස්සු ඒ කාලේ ඉඳලම ගොඩක් ප්‍රයෝජන ගත්තු ගහක් තමයි කොස් ගහ. කොස් වලින් අපිට කෑමට හදාගන්න පුළුවන් විවිධාකාර කෑම තියනවා. දැන් අලුත් පරම්පරාවෙ අයට රසට කිරිකොස් ටිකක් උයාගන්න එකත් ප්‍රශ්නයක් නිසා කොස් මැල්ලුම, කිරිකොස් ව්‍යාංජනය එක්කම ලයිෆි අපි හැමදාම ගේනව වගේ කොස් වලින් මීට කලින් ඔයාල හදන්න හිතල නැති දේවලුත් අපි අරන් ආව. 

 

1. කොස් මැල්ලුම්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හොඳට පැහුණු ගෙඩියකින් ගලවාගත් කොස් මදුළු කෝප්ප 1
  2. ලුණු
  3. ගම්මිරිස්කුඩු
  4. කහ තේ හැඳි 1
  5. පොල් කෝප්ප 1/2
  6. අබ ස්වල්පයක්
  7. සුදුළූණු බික් 3-4
  8. රතුළූණු ගෙඩි 3
  9. කරපිංචා
  10. කොච්චි කරල් කිහිපයක් හෝ අමුමිරිස් 

 

  • කොස් ටික පොඩියට කපාගන්න. මේකට ලුණු හා කහ තේ හැඳි 1/4 දාලා වතුර කෝප්ප 1ක් එක්ක ලිපේ තියන්න. වතුර පිරෙන්න දාන්න එපා. යාන්තමට වගේ දාගෙන කොස් ටික තම්බගන්න.
  • කහ, ගම්මිරිස්, අබ ස්වල්පයක්, ලුණු, සුදුළූණු, රතුළූණු, කොච්චි හා කරපිංචා මිරිස් ගලේ අඹරන්න හෝ වංගෙඩියෙ දාල කොටාගන්න. මේකට පොල් ටිකත් එකතු කරල අඹරන්න. 
  • තැම්බිලා වතුර ගතිය හිඳුන කොස් ටිකට මේ පොල් මැල්ලුම දාලා කලවම් කරගෙන අඩු ගින්දරේ කලවම් කරමින් පොල් මැලවෙනකම් පිසගන්න. 

 

2. කොස් ෆ්‍රයිඩ් රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බෙරි නොවෙන්න ලුණු දාල පිසගත්ත බත් කෝප්ප 2
  2. පොඩියට කපාගත් කොස් කෝප්ප 1
  3. තක්කාලි සෝස්
  4. ඔයිස්ටර් සෝස්
  5. සෝයා සෝස්
  6. තරමක කෑලි කැපූ ළූණු ගෙඩි 1
  7. තලාගත් ඉඟුරු, සුදුළූණු
  8. මිරිස්කුඩු තේ හැඳි 1
  9. කපාගත් ළූණු කොළ ටිකක්
  10. තල තෙල් ටිකක්

 

  • කපාගත් කොස් වලට සෝයාසෝස්, ඔයිස්ටර් සෝස් හා තල තෙල් ටිකක් දාලා පැය බාගයක් සීසන් වෙන්න ෆ්‍රිජ් එකේ තියන්න.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ඉඟුරු, සුදුළූණු එක්ක කොස් ටික දාලා කොස් තැම්බෙනකල් අඩු ගින්දරේ විටින් විට කලවම් කරමින් වහල තියන්න. 
  • කොස් තෙලෙන් තැම්බුනාම මිරිස්කුඩු, කපාගත් ළූණු, තක්කාලි සෝස් එකතු කරන්න. හොඳට තෙම්පරාදු උනාම බත් ටික එකතු කරන්න. තල තෙල් ටිකකුත් දාගන්න.
  • සීනි තේ හැන්දක් වගේ දාලා අන්තිමට ළූණු කොළ ටික දාගන්න. රස අනුව ලුණු දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න.

 

3. කොස් කොත්තු

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පැහුණු ගෙඩියකින් ගලවාගත් කොස් මදුළු කෝප්ප 1
  2. තලාගත් ඉඟුරු, සුදුළූණු ටිකක්
  3. චොප්කරගත් ලොකු ළූණු ගෙඩි 1
  4. ග්‍රේට් කරගත් කැරට් කෝප්ප 1/4
  5. හීනියට කපාගත් ලීක්ස් කොළ ටිකක්
  6. රම්පේ හා කරපිංචා
  7. සෝයාසෝස් මේස හැඳි 2
  8. පිසගත් චිකන් කෑලි 4-5ක්
  9. චිකන් හොදි ටිකක්
  10. ගසාගත් බිත්තර 1
  11. ලුණු හා ගම්මිරිස්කුඩු
  12. කහ ස්වල්පයක්
  13. කෑලිමිරිස් සැර අනුව

 

  • මුලින්ම කොස් ටික සෝදලා කහ හා ලුණු ස්වල්පයක් දාලා අතගාලා ස්ටීමර් එකේ තම්බගන්න. බෙරි නොවී කෑලි වෙන් වෙන්ව තියාගන්නයි මෙහෙම තම්බගන්නෙ.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ඉඟුරු, සුදුළූණු, ළූණු, රම්පේ හා කරපිංචා එකතු කරන්න.
  • බිත්තරය දාලා හොඳට කලවම් කරගන්න. කැරට්, ලීක්ස්, සෝයාසෝස් ටික දාල කලවම් කරන් ඒකටම  චිකන් ටික පොඩි කෑලි කඩල දාගන්න.
  • දැන් කෑලිමිරිස් හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරන්න. අන්තිමට කොස් කෑලි ටික දාලා කලවම් කරන ගමන් චිකන් හොදි ටිකකුත් දාගන්න.
  • ලුණු රස බලලා අවශ්‍ය නම් එකතු කරගන්න. 

 

4. කිරිකොස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පැහුණු කොස් ගෙඩියකින් ගලවාගත් මදුළු කෝප්ප 2
  2. සුද්ද කරගත් කොස් ඇට කෝප්ප 1/2
  3. කපාගත් බී ළුණු ගෙඩි 1
  4. කපාගත් අමුමිරිස් කරල් 3
  5. රම්පේ හා කරපිංචා
  6. තුනපහකුඩු තේ හැඳි 1
  7. කහකුඩු තේ හැඳි 1/2
  8. කුරුඳු පොතු ස්වල්පයක්
  9. මිරිස්කුඩු තේ හැඳි 1/2
  10. දියකිරි කෝප්ප 1 1/4
  11. මිටිකිරි කෝප්ප 2

 

තෙම්පරාදුවට අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තෙල් ස්වල්පයක්
  2. කරපිංචා කොළ ටිකක්
  3. සුදුළූණු බික් 3-4
  4. කඩාගත් වියළි මිරිස් කරල් 3-4
  5. අබ ඇට ස්වල්පයක්

 

  • කොස් මදුළු ටික හීනියට කපාගන්න. කොස් ඇට ටික තලලා මේකට එකතු කරන්න. දැන් බී ළූණු, තුනපහකුඩු, කහකුඩු, මිරිස්කුඩු, රම්පේ, කරපිංචා, කුරුඳු පොතු, අමුමිරිස් එක්ක දියකිරි ටික දාලා මදගින්නෙ තැම්බෙන්න තියන්න.
  • හොඳට තැම්බුනාම මිටිකිරි ටික එකතු කරගන්න. රස අනුව ලුණු එකතු කරලා කිරි ටික උතුරනකොට ලිපෙන් බාගන්න.
  • තෙම්පරාදුව දාගන්න පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාල අබ පුපුරනකොට සුදුළූණු කපලා දාගන්න. කරපිංචා එක්ක වියළි මිරිස් ටික දාගන්න. මිරිස් කරපිංචා බැදීගෙන එනකොට ලිපෙන් බාලා මේක කිරිකොස් එකට උඩින් එකතු කරගන්න.

 

5. පැණි කොස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තීරු කපාගත් කොස් කෝප්ප 2
  2. හාල්පිටි කෝප්ප 1/2
  3. සීනි කෝප්ප 125g
  4. වතුර 1/2

 

  • මුලින්ම හාල්පිටි ටික කබලෙ බැදගන්න. 
  • කොස් ටික ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකල් බැදගන්න.
  • භාජනයකට සීනි සහ වතුර ටික දාලා උණු කරගෙන ඒකට බැදගත් කොස් ටික දාගන්න. දැන් උඩින් බැදගත් හාල්පිටි ටික ඉසගන්න. තෙත් ගතිය නැති වෙනකල් හැඳිගාන්න.

 

6. ක්‍රිස්පි කොස් චිප්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හීනියට ලියාගත් කොස් කෝප්ප 1
  2. මිරිස්කුඩු තේ හැඳි 1/2
  3. කහකුඩු තේ හැඳි 1/4
  4. ලුණු හා ගම්මිරිස්කුඩු

 

  • කොස් ටික තෙත ගතිය නැතිවෙන්න අවන් එකේ හෝ අව්වේ තියල වේලගන්න. අවන් දානවනම් විනාඩි 3-4ක් උපරිම ඇති. දැන් වේලුණු කොස් ටිකට කහ ටිකක් අතගාලා ගැඹුරු තෙලේ බැදගන්න.
  • මිරිස්, ගම්මිරිස් සහ ලුණු කුඩු රස අනුව කලවම් කරලා කෑමට ගන්න.

 

 

7. කොස් මදුළු පුරවලා

ෆිලින් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ඇට ඉවත් කරගත් කොස් මදුළු කෝප්ප 1
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. තලාගත් ඉඟුරු, සුදුළූණු බික් 3-4
  4. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  5. චොප්කරගත් කරපිංචා කොළ කිහිපයක්
  6. තම්බාගත් අල ගෙඩි 2
  7. තම්බාගත් මාළු හෝ මස් ග්‍රෑම් 200
  8. කෑලිමිරිස් තේ හැඳි 2
  9. ලුණු හා ගම්මිරිස්කුඩු
  10. තෙල් ස්වල්පයක්

 

තෙම්පරාදුව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කපාගත් ළූණු ගෙඩි 1
  2. කපාගත් අමුමිරිස් කරල් 2
  3. කරපිංචා කොළ කිහිපයක්
  4. කෑලිමිරිස් තේ හැඳි 2
  5. ලුණු
  6. කපාගත් තක්කාලි ගෙඩි 2
  7. මිටිකිරි කෝප්ප  1

 

  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට චොප්කරගත් ළූණු, සුදුළූණු, ඉඟුරු, කරපිංචා දාලා බැදෙන්න අරින්න. මේකට තම්බලා පොඩිකරගත් අල ටික, තම්බාගත් මාළු හෝ මස් වර්ගයක් ඔයාලා කැමති විදිහට එකතු කරගන්න පුළුවන්. 
  • ඊලඟට කෑලිමිරිස්, ලුණු හා ගම්මිරිස්කුඩු රස අනුව දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න.
  • මේ ෆිලින් එක කොස් මදුළු පළලා පරිස්සමට ඇතුලට පුරවගෙන ටූත්පීක් එකක් ගහලා වහගන්න.
  • වෙනම පෑන් එකට තෙල් ටිකක් දාලා තෙම්පරාදුවට කපාගත් ළූණු, අමුමිරිස්, කරපිංචා එකතු කරන්න. දැන් කෑලිමිරිස් හා ලුණු දාලා පුරවගත්ත කොස් මදුළු ටික අතුරගන්න. ටිකකින් කපාගත් තක්කාලි එකතු කරලා මිටිකිරි ටික දාලා වහලා හිඳෙනකම් විටින් විට පරිස්සමෙන් මිශ්‍ර කරමින් පිසගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *