Covid-19 නිසා ලොකු අවදානමකට මුහුණ දෙන රැකියා

දෙවන ලෝක යුද්දේ කාලේ ජීවත් වුන මිනිස්සු දැන් බොහොම වයසයි. ඒ ලෝක යුද්ධය මතක තිබුනත් එහි සැබෑ අත්දැකීම් දැන් ලෝකයේ ජීවත් වෙන අයට මතක නැහැ. වර්තමානයේ ජීවත් වෙන මිනිසුන්ට මුහුණ දෙන්නට සිදුවුන සංකිර්ණතම ගෝලීය ගැටුමට දැන් මුළු ලෝකෙම මිනිස්සු මුහුණපාලා ඉන්නවා. මේ කෝවිඩ්-19 තත්ත්වය බල පාන්නේ නැති තැනක් ලෝකයේ තියෙනවා නම් ඒ මේ ලෝකේ ශිෂ්ඨාචාරය ලාවට වත් නොගෑවුණු ගෝත්‍රික ජනතාව සිටින ප්‍රදේශ අතලොස්සක් විතරයි. අනෙක් ලෝකයේ සෑම සියලු බිලියන ගාණක ජනතාවටම කොරෝනා වෛරසය නිසා විවිධ අභියෝග වලට මුහුණ දෙන්නට සිද්ද වෙලා තියෙනවා. රටවල් ගණනාවක ජනතාව දහස් ගණනින් මිය පරළොව ගියා. තවමත් රටවල පැතිරෙන වෛරසයෙන් දිනකට දහස් ගණනක් ජීවිත නැති වෙනවා. ඒ වගේම මේ වෛරස බලපෑම නිසා ඇතිවුන ආර්ථික ගැටළු නිසාත් ලෝකයේ ජනතාව මිලියන ගණනක් දැඩි අපහසුතාවට පත් වෙලා ඉන්නවා. 

 

1. දන්ත වෛද්‍යවරු

දන්ත කල්‍යාණය කියන්නේ පුළුල් විෂයක්. ඉස්සර නම් දතක් ගලවන්න තමයි අපි දත් දොස්තර හමුවන්නට යන්නේ. ඒත් දැන් දත් බඳින්න, දත් පිළිවෙලට හදන්න, මුඛයේ විවිධ තත්ත්වයන් පෙන්වන්න අපි දත් දොස්තරලා හමු වෙනවා. මේ කොරෝනා නිසා අවදානම වැඩිම කොටසක් තමයි වෛද්‍ය කාර්යමණ්ඩල. එයිනුත් නිතර කටටම එබෙන්නට වෙන දත් දොස්තර සහ ඒ දන්ත වෛද්‍ය කාර්යමණ්ඩල අනතුරුදායක බවින් වැඩිම පිරිසක් බවට හඳුනාගෙන තියෙනවා. ඉස්සරහට දත් දොස්තරලා වැඩකරන්නේ කොහොමද කියන එක තවම එයාලටවත් හිතාගන්න බැරිව ඇති. කෝක වුණත් දත් ටික ගලවගන්න එක අමාරු වෙන එකෙන් දන්ත වෛද්‍ය ගාස්තු තවත් ඉහළ යන්න පුළුවන්. ඒ නිසා ගෙදර ඉන්නකොට දත් මැදීමට කම්මැලි නොවී දවසට දෙපාරක් දත් මැදලා පිරිසිදුව තියාගන්නට ඕනි. 

 

2. ගුවන් සමාගම් සේවකයින් 

ගුවන් ගමනක් අපිට යෙදෙන්න කී දෙනෙක් සේවය කරන්න ඕනිද? ගුවන් සේවිකාවන් වගේ ජනප්‍රිය චරිත වගේම ගුවන් තොටුපල කාර්ය මණ්ඩල, ගුවන් යානා ඉන්ජිනේරුවන්, ගුවන් තොටුපල පිරිසිදු කරන්නන්, කස්ටම් ඔෆිසර්ලා ආදී වශයෙන් විශාල පිරිසක් අපේ ගුවන් ගමන් වලට දායක වෙනවා. කොරෝනා වෛරසය නිසා දැනටම ලෝකේ බොහෝ කලාපවල ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම නැවතිලා ඉවරයි. ක්‍රියාත්මක වන්නේ අත්‍යාවශ්‍ය සේවාවන් විතරයි. රිචඩ් බ්‍රැන්සන්ගේ වර්ජින්, ෆර්නැන්ඩස්ගේ එයා ඒෂියා ආදී සුවිශාල ගුවන් සේවාවන් රැසක් මේ වෙද්දි තමුන්ගේ ගුවන් සමාගම් වල අනාගතය ගැන අවිනිශ්චිත තත්ත්වයක ඉන්නවා. බොහෝවිට තවත් මාස ගණනාවක් යන තෙක් ගුවන් සේවාවන් යථා තත්ත්වයට පත් වෙන්නට ඉඩක් නැහැ. ඒ නිසා ගුවන් සේවා සම්බන්ධ රැකියා වල නිරත වෙන අයට යම් අමිහිරි අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදු වේවි. 

 

3. හෝටල්, ​ආපනශාලා 

චීනයේ වුහාන් වැහුවේ මේ අවුරුද්දේ ජනවාරි වල. ඒ සිට දින හැත්තෑ දෙකක් වුහාන් වහල තිබුණා. දැන් වුහාන් ටිකෙන් ටික ඇරගෙන යනවා. ඒත්  කෑම බීම වලට ජනප්‍රිය වෙලා තිබුන වුහාන් වල තවමත් කෑම කඩවලට සෙනග නැහැ. කොරෝනා රෝගීන් වාර්තා නොවුනත් මිනිස්සු තවමත් එලියේ කෑම ගැනීමට බය වෙලා ඉන්නවා. කොරෝනා පැතිරෙන වටපිටාවකදි හෝටල වලට, ආපන ශාලා වලට ගිහින් කෑම ගන්න එක තද අවදානමක්. අපි මුව වැස්මක් පාවිච්චි කළත් අපිට කන වෙලාවට ඒක පාවිච්චි කරන්න බැහැ. ඒ නිසා හෝටල සහ ආපනශාලා ආදියේ රැකියා කරපු අයටත් රැකියා සම්බන්ධයෙන් සැක සංකා ඇතිවෙන කාලයක් මේක. 

 

4. සංචාරක ක්ෂේත්‍රය 

මේ විදිහට ලැයිස්තු නිකුත් වෙන එකෙන් ඒ ඒ ක්ෂේත්‍ර වල අයට යම් හිත් තැවුලක් එනවා. ඒත් ඒ හරහා යම් වෙනත් ආදායම් මාර්ගයක් යාන්තමින් හෝ හොයා ගන්නත් ඒ අයට උත්සාහයක් ගන්න පුළුවන්. රටකින් රටකට යෑම තබා ගෙදරින් එළියට බහින්නටවත් කොරෝනා අපිට ඉඩ දුන්නෙ නැහැ. මුළු ලෝක ජනතාවගෙන් 90%ක්ට වඩා අප්‍රේල් මාසය තුළ නිවසට වී කාලය ගත කළා. එතකොට සංචාර වල නිරත වූ අය හැර වෙන කිසිවෙක් අලුත් සංචාර වලට යොමු වුනේ නැහැ. සංචාරකයින් ආර්ථිකයෙන් විශාල කොටසක් වන තායිලන්තය වැනි රටවල් පවා කොරෝනා පැතිරීම එක්ක සංචාරකයින් සම්බන්ධ නීති රීති දැඩි කළා. ඉදිරියේදී ඇතිවෙන ආර්ථික ගැටුම් සහ සමාජ සීමා කිරීම් එක්ක සංචාරක කර්මාන්තවල නිරත වෙන අයට තවත් වසරක්වත් යනකල් දුෂ්කර කාලසීමාවකට මුහුණ දෙන්නට වේවි. 

 

5. ඇඟළුම් කර්මාන්තය 

අපේ රට ඇඟළුම් නිෂ්පාදනයට ජනප්‍රිය රටක්. අපිටත් වඩා බංගලිදේශය වගේ රටක් ගත්තොත් ඇඟළුම් ඔවුන්ගේ රටේ ජීවිත මිලියන ගාණක් ආරක්ෂා කරනවා. මේ බංගලිදේශ ඇඟළුම් කර්මාන්තයේ නිරත වුණු දුප්පත් සේවකයින්ට ඉතාම දුක් සහිත විදිහට නිකම්ම ගෙදර යන්නට සිදු වෙලා තියෙනවා. මොකද ඇනවුම් නොමැති නිසා ගාමන්ට් ෆැක්ටරි වලට වැඩ නැතිවෙලා. යම් තාක් මට්ටමකින් කොරෝනා සඳහා ආරක්ෂිත ආවරණ නිපදවීමේ අවස්ථාව තිබුණත් ඒ අවස්ථා සීමිතයි. ඒ නිසා ඉන්දියාව, වියට්නාමය, බංගලිදේශය, ලංකාව, උගන්ඩාව වගේ රටවල රෙදි පිළි කර්මාන්ත වල නිරත වූ ජනතාවට ඇතැම්විට වන්දි නොමැතිවම රැකියාවෙන් ඉවත් වෙන්නට සිදු වේවි. 

 

6. ආරක්ෂිත රස්සා තියේවිද? 

සෞඛ්‍ය සේවකයින්, ප්‍රවාහන අංශයේ සේවකයින් වැනි අයගේ රැකියාවන් කොරෝනා නිසා නැතිවෙන්නේ නැහැ. ඔවුන්ගේ ඉල්ලුම තවත් වැඩිවෙයි. එහෙත් කෝවිඩ්-19 වැළඳීමේ අවදානම සෞඛ්‍ය සහ ප්‍රවාහන අංශ සේවකයින්ට බොහෝම වැඩියි. අපි සරලව හිතුවොත් දිනකට මිනිස්සු තුන් හාරසීයක් සමග කෙලින්ම ගනුදෙනු කරන්නට වෙන අපේ කොන්දොස්තර මහත්මයෙකුගේ රැකියාව ආරක්ෂා වුනත් ඔහුට කොරෝනා වැළඳීමේ අවදානම අනෙක් අයට වඩා වැඩියි. සම්පූර්ණ ලෝකයේ වෙළඳපොල ප්‍රවාහයන් සියල්ලම කෝවිඩ් වලින් උඩු යටිකුරු කළා. ඒ අනුව අපි මෙතෙක් රැකියාවන් කරමින් නිෂ්පාදන හෝ සේවාවන් ලබාදුන් සේවාවන් වල ඉල්ලුමත් අවදානමට ලක්වෙන්නට ඉඩක් තියෙනවා. 

 

7. ජීවිතය යථා තත්ත්වයට පත් කරගැනීම 

කොරෝනා මුලින්ම චීනයේත් ඉන් පසු යුරෝපයේත් පැතිරුණා. දැන් මැයි මාසය වන විට ඉන්දියාව, බ්‍රසීලය වැනි රටවල පැතිරීමේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. සති මාස ගතවී ගියත් කොරෝනා අපව ලේසියෙන් හැර යන බවක් පේන්නට නැහැ. අපිට මේ කෝවිඩ්-19 එක්ක ජීවත් වෙන්න අමාරුවෙන් හුරුවෙන්නට ඕනා බව තමයි විදෙස් විශේෂඥයිනුත් කියා තිබෙන්නේ. ඒ අනුව අපේ ආදායම් මාර්ග වල, රැකියා වල යම් යම් ගැටුම් අවුල් එන්නට පටන් ගන්නවා. ඒත් අපේ අවට ජනයාටත්, මුලු ලෝකයාටත් අභියෝගයක් වුණු කොරෝනා තත්ත්වයට කෙසේ හෝ අප මුහුණ දිය යුතු වෙනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *