අපි දන්න නොදන්න අල වර්ග වලින් කෑම හදමුද?

අල කිව්වම හැමදාම මතක් වෙන්නෙ අර්තාපල් නේ. ඔව් ඒකත් අලයක් තමා. ඒ එක්කම තව අපි වැඩිය අහල නැති අහල තිබ්බත් කාල නැති අල වර්ගත් මේ ලංකාවේ තියනවානේ. අද කියන්න යන්නෙ මේ එක් එක් අල වර්ග වල ගුණ අගුණ හා ඒව රසට හදාගන්න පුළුවන් ක්‍රම ගැනයි. 

 

1. දංදිල අල

රුධිර නාල වල ලේ කැටි ගැසීම ව​ළක්වන, අධි රුධිර පීඩනය වළක්වන, ඇඟ සිසිල් කරන ගුණයන්ගෙන් පිරි දංදිල බැක්ටීරියා වල එරෙහිවත් ක්‍රියාකිරීමට සමත්. අර්ශස් රෝග තියන අයටත් කියාපු කෑමක් තමයි මේ.

 

දංදිල කැඳ

 

  1. දංදිල අල 3-4
  2. මිටිකිරි කෝප්ප 2
  3. ලුණු
  4. සීනි

 

  • මුලින්ම දංදිල අල සුද්ද කරලා හොඳට තම්බගන්න. මේක බ්ලෙන්ඩර් එකට දාලා හෝ ගෑරප්පුවකින් හොඳට පොඩි කරගන්න. දැන් ඒකට පොල්කිරි, ලුණු හා රස අනුව සීනි එකතු කරන් කරදමුංගු ඇට දෙකක් එකතු කරල ලිපේ තියල රත් කරගන්න. මේ කැඳ එකක් ගොඩක් උකු නිසා අවශ්‍ය විදියට මිටි කිරි හෝ දිය කිරි එකතු කරගන්න.

මේ අල තම්බලා පොල් එක්ක කෑවත් හරිම රසයි.

 

2. හුළංකීරිය

බඩවැලේ තුවාල සනීප කිරීමටත් ආහාර දිරවීම පහසු කිරීමටත් වැනි ගුණ රාශියක් මේ හුළංකීරිය සතුයි. ඒ වගේම ගැස්ට්‍රයිටිස් තියන අයට ගොඩාක් ගුණ කෑමක්.

 

හුළංකීරිය පිට්ටු

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හුළංකීරිය අල ග්‍රෑම් 400
  2. හාල්පිටි ග්‍රෑම්ස් 100
  3. පොල් කප් එකක්
  4. ලුණු
  5. මිටි කිරි ටිකක්

 

  • හුලංකීරිය අල සුද්ද කරලා සෝදලා අරන් හීනි පෙති කපාගන්න. කපාගත් පෙති බ්ලෙන්ඩර් එකට දාලා වතුර කෝප්ප 2 එක්ක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. දැන් පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන මේක පෙරලා යුෂ ටික අරගන්න. දැන් මේක නිසොල්මන්ව පැයක් දෙකක් තිබ්බම වතුර හා අල පිටි වෙන් වෙනවා පෙනෙයි. උඩ වතුර ටික හෙමින් අයින් කරගන්න.
  • දැන් ඉතුරු උන පිටි වලට හාල්පිටි ටික දාගන්න. රස අනුව ලුණු එකතු කරගෙන පොල් ටික හොඳට කලවම් කරගන්න. අවශ්‍ය තරමට පමණක් මිටි කිරි ටික ටික ඉහගෙන ඇඟිලි තුඩු වලින් මිශ්‍ර කරමින් පිට්ටු කැටකරගන්න. 
  • දැන් මේක පිට්ටු බම්බුවක දාල සාමාන්‍ය විදියට තම්බ ගන්න. 

 

3. හිඟුරල

ගර්භණී කාන්තාවන්ට ගොඩාක් ගුණ කෑමක් වෙන මේවා ගර්භාෂ බිත්ති සවි වීමට හා කළලය සවිමත් කිරීමට උපකාරී වෙන ඉතා වටිනා ඖෂධයක්.

 

හිඟුරල කැඳ

 

  1. හිඟුරල අල ග්‍රෑම් 200
  2. මිටිකිරි කෝප්ප 2
  3. සිහින්ව ලියාගත් සුදුළූණු බික් 3-4
  4. ලුණු
  5. ගම්මිරිස්කුඩු

 

  • හිඟුරල ටික සෝදලා තම්බගන්න. දැන් මිටිකිරි ස්වල්පයක් එක්ක අල ටික බ්ලෙන්ඩ් කරගන්න. භාජනයකට මේ මිශ්‍රණය දාලා ඉතුරු මිටිකිරි ටිකත් එක්ක සුදුළූණු, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා උතුරවලා ගන්න.

 

4. කිරි අල 

වකුගඩු ක්‍රියාකාරිත්වයට වැදගත් වෙන ඇඟේ විෂ ඉවත්කිරීමේ මහඟු ගුණය සතු මේ අල වර්ගය ශරීරයේ සීනි මට්ටම පාලනයට උදව් වෙනවා.

 

කිරි අල කරි

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කිරි අල ග්‍රෑම් 250
  2. හීනියට කපාගත් රතුළූණු ගෙඩි 2-3
  3. හීනියට කපාගත් සුදුළූණු බික් 3-4
  4. කපාගත් අමුමිරිස් කරල් 2
  5. රම්පේ හා කරපිංචා
  6. මිරිස්කුඩු තේ හැඳි 1
  7. කහකුඩු තේ හැඳි 1/2
  8. අමු තුනපහකුඩු තේ හැඳි 1/2
  9. උළුහාල් ස්වල්පයක්
  10. ලුණු
  11. මිටිකිරි කෝප්ප 2

 

තෙම්පරාදුවට

 

  1. අබ ඇට ටිකක්
  2. කපාගත් වියලි මිරිස් කරලක් දෙකක්
  3. හීනියට ලියාගත් රතුළූණු ගෙඩි තුනක් හතරක්
  4. කරපිංචා කොළ ටිකක් 
  5. ලුණු චුට්ටක්
  6. මිරිස්කුඩු පින්ච් එකක්

 

  • කිරිඅල සුද්ද කරලා තරමක කෑලි කපාගන්න. ඒකට කපාගත් රතුළූණු, සුදුළූණු, අමුමිරිස්, රම්පේ, කරපිංචා දාලා කහකුඩු, මිරිස්කුඩු, අමු තුනපහකුඩු හා උළුහාල් ටිකක් දාලා අල තැම්බෙන්න සෑහෙන ප්‍රමාණයට වතුර දාලා ලිපේ තියන්න. හොඳට තැම්බුනාම මිටිකිරි දාලා උතුරවගන්න. 
  • මිරිස්කුඩු හැර තෙම්පරාදුවට අවශ්‍ය ද්‍රව්‍ය ටික රත් වුන තෙලට දාල හොඳට බැදෙන්න අරින්න. අන්තිමට මිරිස්කුඩු දාල කලවම් කරන් උයාගත්ත කරියට උඩින් දාගන්න. 

 

5. බුත්සරණ අල

බුත්සරණ ශාකයේ කොළ හා මල් කැනාස් ගස් වලට සමාන  නිසා ලංකා කැනාස් කිව්වත් නියම නම බුත්සරණ. රෝග සුවපත් කිරීමට වඩා රෝග සෑදීම වැළැක්වීමේ ගුණ මේ අල සතුයි. ඒ වගේම දේශීය වෙදකමට ගොඩාක් උපකාරී ශාකයක් තමයි මේ.

 

බුත්සරණ අල මැල්ලුම්

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. බුත්සරණ අල ග්‍රෑම් 200
  2. ගාගත් පොල් කෝප්ප 1
  3. කහකුඩු තේ හැඳි 1/2
  4. අබ ස්වල්පයක්
  5. සූදුරු ස්වල්පයක්
  6. කුරුඳු පොතු කෑල්ලක්
  7. චොප්කරගත් රතුළූණු ගෙඩි 2
  8. කපාගත් සුදුළූණු බික් 4

 

  • අල ටික සෝදලා පොත්ත අයින් කරගන්න. තරමක කෑලි වලට කපාගන්න. අබ, සූදුරු, කුරුඳු පොතු, සුදුළූණු, ලුණු හා කහකුඩු එකතු කරලා අඹරගන්න. මේකට පොල් ටිකත් දාලා තවත් හොඳට අඹරගන්න.
  • වතුර ටිකක් දාලා අල ටික තම්බගන්න. ලුණු එකතු කරගන්න. හොඳට තැම්බිලා නම් වැඩිපුර වතුර අයින් කරගන්න. මේකට අඹරාගත් පොල් මැල්ලුම එකතු කරගෙන ටිකක් වෙලා ලිපේ තියලා කලවම් කරලා පොල් මැලවුනාම ලිප ඕෆ් කරගන්න.

 

6. නෙළුම් අල

නෙළුම් අල වල ගුණ නම් මෙතෙකැයි කියලා ඉවර කරන්න බෑ. මළබද්ධය නැති කිරීමට, අර්ශස්, හදවත් රෝග, මව්කිරි එරවීමේ මහඟු බලය නිසාම අපේ සිංහලයන් අතර ඉතා වැදගත් තැනක් නෙළුම් අල වලට හිමි වෙනවා.

 

නෙළුම් අල ඇඹුළ

 

  1. නෙළුම් අල දඬු 2-3
  2. ලියාගත් රතුළූණු ගෙඩි 2
  3. ලියාගත් සුදුළූණු බික් 3-4
  4. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  5. සිහින්ව ලියාගත් කරපිංචා
  6. කහකුඩු තේ හැඳි 1/2
  7. මිරිස්කුඩු තේ හැඳි 1
  8. තුනපහකුඩු තේ හැඳි 1/2
  9. උළුහාල් ස්වල්පයක්
  10. කුරුඳුපොතු කෑල්ලක්
  11. ලුණු
  12. සියඹලා ඉස්ම මේස හැන්දක්
  13. සීනි තේ හැඳි 1/2
  14. මිටිකිරි කෝප්ප 1

 

තෙම්පරාදුව සඳහා

 

  1. අබ ස්වල්පයක්
  2. කඩාගත් වියලි මිරිස් කරල් 2-3
  3. චොප්කරගත් රතුළූණු ගෙඩි 2
  4. කරපිංචා ටිකක්

 

  • නෙළුම් අල පොතු ඇරලා සෝදලා හීනි පෙති කපාගන්න. භාජනයකට මේ ටික දාලා කහකුඩු, මිරිස්කුඩු, අමු තුනපහකුඩු, රතුළූණු, සුදුළූණු, කරපිංචා, අමුමිරිස්, උළුහාල්, කුරුඳු පොතු හා රස අනුව ලුණු දාලා වතුර ටිකක් දාලා වහලා තම්බන්න.
  • මේ ටික හොඳට තැම්බිලා වතුර හිඳුනම මිටිකිරි, සියඹලා සහ සීනි එකතු කරගන්න. හැඳිගාමින් හින්දගන්න. වෙන පෑන් එකකට තෙල් ටික දාලා රත්වෙනකොට අබ ටික දලා පුපුරවගන්න. මේකට චොප්කරගත් රතුළූණු, වියළි මිරිස්, කරපිංචා එකතු කරලා තෙම්පරාදු කරලා නෙළුම් අල කරියට උඩින් දාලා කලවම් කරගන්න.

 

7. ඉන්නල

ප්‍රෝටීන් බහුල ආහාරයක් වෙන ඉන්නල ඉතා ශක්තිජනක ආහාරයක් විදිහට හඳුන්වනවා. යකඩ බහුල නිසා රක්තහීනතාවය පාලනය කරනවා. ඒ වගේම දියවැඩියා රෝගීන්ට ඉතා හොඳ ආහාරයක්.

 

ඉන්නල හාල්පොල් හින්දුම

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ඉන්නල ග්‍රෑම් 250
  2. චොප්කරගත් රතුළූණු ගෙඩි 3
  3. රම්පේ/ කරපිංචා
  4. කහකුඩු තේ හැඳි 1/2
  5. මිරිස්කුඩු තේ හැඳි 1
  6. තුනපහකුඩු තේ හැඳි 1/2
  7. උම්බලකඩ කුඩු තේ හැඳි 1
  8. අඹරාගත් අබ මේස හැඳි 1
  9. මිටිකිරි කෝප්ප 1
  10. කපාගත් අමුමිරිස් කරල් 2
  11. දෙහි ගෙඩියක්
  12. ලුණු
  13. කුරුඳු පොතු
  14. කබලේ යන්තම් බැදගෙන අඹරගත්ත හාල් පොල් මේස හැඳි 2

 

  • ඉන්නල ටික හොඳට සුද්ද කරලා තම්බගන්න. මේකට කහකුඩු, මිරිස්කුඩු, තුනපහකුඩු, ලුණු, චොප්කරගත් ළූණු, රම්පේ, කරපිංචා, උම්බලකඩ කුඩු, කුරුඳු පොතු, අමුමිරිස් එකතු කරලා වතුර ඇති ගාණට දාලා තම්බගන්න.
  • මිටිකිරි වලට අබ සහ හාල් පොල් ඇඹරුම එකතු කරලා අල තැම්බුනාම ඒකට එකතු කරන්න.
  • හොඳට උතුරනකොට ලිපෙන් බාලා දෙහි යුෂ ටිකක් දාගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *