අද වෙනකොට අපි දියුණුයි කියලා සලකන බොහෝ දේවල් වල උරුමක්කාරයෝ විදිහට අපි සලකන්නේ බටහිර ජාතිකයන්. හැබැයි ඉතිහාසය නිසි පරිදි සොයා බලද්දී අපිට පැහැදිලි වෙනවා, බටහිර ඒ ඇතිවුණු දියුණුවට මග පෑදුවේ පෙරදිගින් ලැබුණු දැනුම කියලා. ඒ අතරින් ඉන්දියානු දැනුම විශේෂ තැනක් ගන්නවා. අපි අද කථා කරන්න යන්නේ ලෝකයේ දියුණුව උදෙසා දායක වුණු ඉන්දියානු දැනුම සහ නිර්මාණ කීපයක් පිළිබඳව.
1. ශුන්‍යය/ බිංදුව
බින්දුව කියන්නේ අගයක් නැති දෙයක් විදිහට අද සමාජයේ මතයක් තිබ්බට බින්දුව නැත්තන් අපේ ලෝකය මෙතරම් දියුණු නොවෙන්න තිබ්බා. උදාහරණයක් විදිහට අංක ලිවීමේ එක ක්‍රමයක් වුණු රෝමානු අංක ක්‍රමය අසාර්ථක වෙන්න ප්‍රධාන හේතුව වුණේ එම අංක ක්‍රමය තුළ බිංදුව සංකේතවත් කරන සලකුණක් නොතිබීම. බෞද්ධ දර්ශනයේ ආභාෂය ලැබුණු ඉන්දීය ගණිතඥයන් විසින් ශුන්‍ය සංකල්පය වැඩි දියුණු කොට ඒ සඳහා 0 ලකුණ හඳුන්වා දුන්නා. මේ නිසා කොයි තරම් විශාල සංඛ්‍යාවක් වුණත් සලකුණු 10 ක් (0, 1, 2……9) මගින් නිරූපණය කිරීමේ හැකියාව ලැබුණා.
2. ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්ම
ඉන්දීය ආයුර්වේදය තුළ ඉමහත් ගෞරවයට ලක් වන සුශ්‍රැත පඬිතුමා විසින් පළමු වරට ඇසේ සුද ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයක් සිදු කරනු ලැබුවා. විශේෂයෙන් සාදන ලද ඉඳිකට්ටක් මගින් අදාළ ශල්‍යකර්මය කොට, දින කීපයක් ඇස් වෙළුම් පටිවලින් බැඳ එම වෙළුම් පටි ක්‍රමානුකූලව ඉවත් කිරීම මෙහිදී සිදු වුණා. ලොව පළමු වරට ප්ලාස්ටික් සැත්කම් කිරීමේ ගෞරවයත් මේ සුශ්‍රැත පඬිතුමාට හිමි වෙනවා. එතුමා විසින් අදත් ආයුර්වේදය තුළ ඉතාමත් සම්භාවනාවට ලක් වන සුශ්‍රැත සංහිතාව රචනා කළ අතර අරාබි ජාතිකයන් විසින් එම ග්‍රන්ථය අරාබි භාෂාවට පරිවර්තනය කිරීමෙන් අනතුරුව ඒ මගින් බටහිර උගතුන් මේ ග්‍රන්ථය පිළිබඳව දැන ගනු ලැබුවා .
3. Zinc උණු කිරීමේ තාක්ෂණ
ආසවනය මගින් Zinc නිස්සාරණය කිරීම සහ උණු කිරීමේ තාක්ෂණය ලොවට හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයටයි. සියවස් ගණනාවක් තිස්සේ බටහිර රටවල් සහ පෙරදිග රටවල් මෙම තාක්ෂණය සොයා ගැනීමට විවිධ පර්යේෂණ සිදු කළත් ඒවා අසාර්ථක වුණා. උදාහරණයක් ලෙස පුරාණ පර්සියානුවන් විසින් සින්ක් ඔක්සයිඩ් විශේෂයෙන් සකස් කරන ලද උඳුනක් භාවිතයෙන් නිස්සාරණය සහ උණු කිරීම සිදු කිරීමට උත්සහ කළත් එම ක්‍රමය අසාර්ථක වුණා. නමුත් ඉන්දියානුවන්ගේ මෙම සොයා ගැනීම නිසා මිනිස් වර්ගයාගේ දියුණුව වේගවත් වූ අතර එම ලෝහය භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවය ඉහළ ගියා .
4. සූර්‍යකේන්ද්‍ර වාදය
අපේ පාසල් පොත්වල සූර්ය කේන්ද්‍ර වාදය ලොවට හෙළි කිරීමේ ගෞරවය නිකලස් කොපර්නිකස්ට ලබා දුන්නත් කොපර්නිකස් ඉපදෙන්න සියවස් කීපයකට කලින් ඉන්දියානුවන් සූර්‍ය කේන්ද්‍රවාදය පිළිබඳව දැන සිටියා. ඒ පිළිබඳව මුලින්ම ලෝකයට හෙළි කළේ ආර්ය භට විසින්. ඔහුගේ සොයා ගැනීම් අතර ලෝකය ගෝලාකාර බවත්, තම අක්ෂය වටා ලෝක ගෝලය භ්‍රමණය වන බව සොයා ගැනීමත් වෙනවා. එසේම ඔහු විසින් සාර්ථකව පෘථිවිය සහ හා චන්ද්‍රයා අතර දුර ගණනය කිරීම් කළ අතර සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ ඇතිවීමට හේතුව විද්‍යාත්මකව පැහැදිලි කරනු ලැබුවා. මේ නිසා පුරාණ ඉන්දියානුවන්ට සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ ඇති වීම පිළිබඳව පූර්ව අනාවැකි කීමේ හැකියාව උදා වුණා.
5. ද්විමය සංඛ්‍යා පද්ධතිය
ද්විමය සංඛ්‍යා පද්ධතියෙන් තොරව පරිගණක ක්‍රමලේඛ විද්‍යාව ගැන හිතන්නවත් බැහැ නේද? පරිගණකය අපිට බටහිරින් උරුම වෙද්දි අපේ නොදැනුවත් කම නිසා ඒ සඳහා අවශ්‍ය මූලික පසුබිම සකස් කරපු ද්විමය සංඛ්‍යා පද්ධතිය නිර්මාණය කරන්න දායකත්වය ලබා දීපු ඉන්දියානුවන්ට අදාළ ගෞරවය අපෙන් ලැබෙන්නේ නැහැ. මේ පිළිබඳව මුලින්ම අදහස් පළ කරපු ඉන්දියානුවා විදිහට සැලකෙන්නේ පිංගල. පිංගල විසින් ලෝකයට හෙළි කරන ලද මෙම සංඛ්‍යා පද්ධතිය තුළින් වැඩි වශයෙන් ප්‍රයෝජන ලබා ගත්තේ බටහිර ගණිතඥයින් සහ විද්‍යාඥයින්. මේ මගින් පරිගණක විද්‍යාව පමණක් නොව සමස්තයක් වශයෙන් සියලුම විද්‍යාවන්වල ප්‍රගමනය සිද්ධ වුණා
6. ෂැම්පූ
අද වෙනකොට දිගු වරලසක් හිමි සෑම කාන්තාවකටම නැතුවම බැරි දෙයක් වෙලා තියෙන ෂැම්පූවල මුල් බිම වගේම ඒ වචනයත් ඉන්දියාවට සම්බන්ධයි. බෙංගාලයේ රජ කරන ලද නවාබ්වරු තමන්ගේ හිස සම්බාහනය සඳහා භාවිතා කළ ඖෂධීය තෙල් වර්ග නම් කරන ලද්දේ Champo ලෙසයි. පසු කාලයකදී මෙම සම්බාහන පුරුද්ද ඉන්දියාවෙන් යුරෝපයට ගිය අතර එහි දී ෂැම්පූ (Champo) බවට පත්වුණා. නමුත් අවාසනාවකට වගේ shampoo කර්මාන්තය තුළ අද වෙනකොට අධිපතිත්වය දරන්නේ බටහිර සමාගම්. පෙරදිග රටවලට තවමත් තමන්ගේ ඔලුවේ පිරුණු බටහිර ගැති ආකල්පවලින් වගේම බටහිර සමාගම් වලින් නිෂ්පාදනය කරන ලද shampoo වලිනුත් මිදීමට හැකිවී නැහැ.
7. Snakes and Ladders
මේ ක්‍රීඩාව අපේ රටේත් කුඩා දරුවන් අතර වගේම වැඩිහිටියන් අතරත් ජනප්‍රිය ක්‍රීඩාවක්. නමුත් මේ ක්‍රීඩාවේ ආරම්භය සිදු වන්නේ ඉන්දියාවේ. ආරම්භයේ දී එය හඳුන්වන්නේ “මොක්ෂ පතම්” ලෙසයි. ඉන්දියාවේ ක්‍රීඩාව තුළ ඉනිමං මගින් නිරූපණය කරනු ලද්දේ කරුණාව සහ මෛත්‍රිය වැනි යහපත් ගුණාංග වන අතර සර්පයන් මගින් නිරූපණය කරන ලද්දේ වෛරය වැනි අයහපත් ගුණාංගයි. වැඩිම ලකුණු ප්‍රමාණය ලබා ගැනීමෙන් එනම් යහගුණ හැකි පමණ ළං කර ගැනීමෙන් මෝක්ෂය ලබා ගත හැකි බව මේ ක්‍රීඩාව තුළින් දරුවන්ට උගන්වනු ලැබුවා. නමුත් මේ ක්‍රීඩාව යුරෝපයට යන විට එම ක්‍රීඩාව තුළ අඩංගු වුණු සියලු යහපත් දෑ අහෝසි වී ඉණිමං සහ සර්පයන් පමණක් ඉතුරු උනා.
මේ ලැයිස්තුවට අපි ඇතුළත් කරේ අතළොස්සක් ඉන්දියානු නිර්මාණ පමණයි. ඔබ දන්නා තවත් ඒවා එවැනි නිර්මාණ තියෙනවා නම් ඒ ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ කතා කරන්න පුළුවන්. ඒ වගේ ම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා
Leave a Reply