මේක බොහොම අමාරු කාලයක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැමෝම තම තමන්ගේ අනාගත ජීවිතය සම්බන්ධයෙන් අවිනිශ්චිතභාවයකින් ඉන්නේ. හැබැයි මේක අපි සම්බන්ධයෙන් විතරක් නෙවෙයි, මුළු ලෝකේම සම්බන්ධ තත්ත්වයක්. අපි හැමෝම ගෙවල් වල. සල්ලි තත්ත්වය ගැටළුවක්. සමහරුන්ට පඩි ලැබිලත් නෑ. සමහරුන්ට පඩි මාස බාගයයි. ඊලඟ මාසේ මොකක් වෙයිද කියලා හිතන්නත් බෑ. එදිනෙදා එදාවේල ටුවර්ස් ජීවනෝපාය කරන අයට තත්ත්වේ තවත් දරුණුයි. ආණ්ඩුවෙන් දෙන පන්දාහෙන් කොයි තරම් කාලයක් ගේම ගහන්නද කියලා හිතන එකේ තේරුමකුත් නෑ. ඒ වගේම ඉස්සරහට රස්සා නැතිවෙන සීන් එකක් එහෙම ආවොත් ඔක්කොම හබක්. මේ ඔක්කොමත් හරි, අපි වෙන රටවලට අම්බානෙක ණය තියෙන නිසා ඒවා ගෙවන්නත් ඕන.
මේ හැමදේම හිතනකොට ඔලුව කැරකෙන්න ගන්නවා තමයි. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ අපිට මේකෙන් නැගිටින්න බැහැයි කියලා. එකම දේ තමයි, මෙතනදී අපිට දැඩි මූල්‍ය විනයක් සහ දුර දැක්මක් තියෙන්න ඕනය කියන දේ. ඉතින් එහෙම ප්ලෑන් එකක් හදාගෙන, පොඩි අසීරුවක් විඳගෙන අල්ලගෙන ඉන්න පුළුවන් නම්, අපිට මේ ඉදිරියේදී එන්න පුළුවන් මූල්‍ය අවදානම් තත්ත්වයට ගැම්මෙන් මූණ දෙන්න පුළුවන්. ඒකට ගැලපෙන උපදෙස් කීපයක් තමයි මේ දෙන්න යන්නේ.
1. අතේ තියෙන සල්ලි ගාණට කළමනාකරණය කරගමු
මේක මේ මොහොතේ වැදගත්. මොකද ඇඳිරි නීතිය ලිහිල් වෙලාම තියෙයිද, ආයෙමත් පැනවෙයිද වගේ කරුණු කාරණා අපිට ෂුවර් පිට කියන්න බැහැ. එහෙම තත්ත්වයකදී අතේ තියෙන සල්ලි ටික කුඩු කරගන්නේ නැතුව ප්‍රවේසමෙන් පරිහරණය කිරීම වැදගත්. විශේෂයෙන්ම දැන් අපිට බඩු විකුණන ඩිලිවරි සේවා ගේ ගාවටම එන නිසා, ෆුඩ් සිටි සහ කීල්ස් වලින් ඕන බඩු අරගෙන එන නිසා, හිතෙන හිතෙන බඩු ගන්න යන එක ටිකක් අවදානම්. හොඳම දේ තමයි සතියකට අවශ්‍ය වෙන බඩු ලැයිස්තුවක් හදලා, ඒ බඩු ටික විතරක් ගන්න එක. අත්‍යාවශ්‍ය නොවෙන බඩුභාණ්ඩ පස්සේ මේ වෙලාවේ දුවලා සල්ලි නාස්ති කර නොගන්න එක.
2. ආස කෑමක් හදන එකත් අප්සට්ද?
මේකත් ඇත්තටම බොහොම පරිස්සමෙන් සලකලා බලන්න වුවමනා කාරණයක්. ඇඳිරි නීතිය වෙලාවේ ගෙදරට හිර වෙලා ඉන්න වෙලා තියෙනකොට පොඩ්ඩක් මානසික සෞඛ්‍යය ගැනත් හිතන්න ඕනනේ. අන්න ඒ නිසා ඔය මොකක් හරි ෆැන්සි කෑමක් හැදුවට කමක් නෑ. හැබැයි ඉතින් ඔය මිලෙන් අතිශයින්ම අධික අමුද්‍රව්‍ය එහෙම යොදලා හදන කෑම මේ වෙලාවේ අත්‍යාවශ්‍ය දේවල් නෙවෙයි. එතකොට දවසට වේල් හයක් ෆැන්සි කෑම හදන එකත් අත්‍යාවශ්‍ය දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම මේ දවස් වල ගෙදර හැමෝම ගෙදරම නිසා, මුළුතැන්ගෙය සහ ගෙදර පාලනය කරන දෙන්නට හෝ කෙනාට සිද්ධ වෙනවා බොහොම පරිස්සමෙන් මෙනු එක, අවශ්‍ය බඩු ලැයිස්තුව එහෙම හදන්න. විශේෂයෙන්ම අත්‍යාවශ්‍යයි කියන දේවලට විතරක් මුල් තැන දෙන්න. මතක තියාගන්න, මේ වෙලාවේ අතේ සල්ලි තියෙන්න පුළුවන්, ඒත් ලබන මාසේ සල්ලි නැතිවෙන්න පුළුවන් කියන එකත්.
3. බැංකුවෙන් සහන කාලයක්?
මෙන්න මේකත් බොහොම පරිස්සමෙන් හිතලා බලන්න ඕන කරුණක්. බැංකුවෙන් ඔය ලීසින්, ලෝන්, ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් එහෙම ගෙවන්න සහන කාලයන් දීලා තියෙනවා. ගොඩක් අයට මේ වෙනකොට බැංකු වලින් මෙසේජ් ඇවිත් ඇති “මොරටෝරියම්” එකක් අස්සන් කරලා එවන්න කියලා. හැබැයි එතනදී වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගැනීම වැදගත්. සාමාන්‍යයෙන් අපි ඔය කෝකෙදිත් ගෙවන සම්පූර්ණ ගාණේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි වාරිකය, අනික පොලිය. දැන් මෙතනදී බැංකුව දෙන සහනය තමයි වාරිකය මේ මාසේ ගෙවන්න ඕන නෑ. එතකොට එක වාරිකයක් ඉස්සරහට යනවා. හැබැයි පොලිය ගෙවන්න ඕන නෑ කියලා නෑ. ලබන මාසේ වාරිකයයි පොලියයි එකතුවෙලා එන ගාණට මේ මාසේ පොලියත් එකතු වෙනවා. අන්න ඒ නිසා හොඳම දේ තමයි මේ වෙලාවේ ඔය ලෝන් අනං මනං ඔක්කොම ගෙවන්න පුළුවන් නං ගෙවලා දාන එක තමන්ට වාසියි.
4. ගෙදරටම වෙලා ඉන්න එකේ වාසිය උපරිමයෙන්
දැන් ඔය ගෙදර ඉඳන් වැඩ කරන ගොඩක් දෙනෙක්ට තේරෙන්න ඕන කාරණාව තමයි, වර්කින්ග් ෆ්‍රොම් හෝම් කියන එක හරියට කළමනාකරණය කරගන්නවා නම් වාසි තියෙනවා කියන එක. අන්න ඒ නිසා අපි කලිනුත් පෙන්නලා දීලා තියෙන විදියට උපරිම කාර්යක්ෂමතාවයකින් වැඩ කරන්න පුළුවන් විදියට ගෙදර ඉඳන් වැඩ කරන අවකාශය හදාගන්න. දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ වගේ ආතල් ඔලුවට යන්න දෙන්න එපා. ගෙදර හිටියත් වැඩ කරන පැය ගාණ වැඩ මෝඩ් එකේ ඉන්න. එතකොට ඔය ඉතුරු වෙන කාලය තමන්ගේ වෘත්තිමය කුසලතා දියුණු කරන්න යොදාගන්න. ඔන්ලයින් ඉගෙන ගන්න. උදාහරණයක් විදියට කිවුවොත් Coursera, EdX වගේ ඉගැන්වුම් වෙබ් අඩවි වලින් සෑහෙන්න පාඨමාලා මේ දවස් වල නොමිලේ දෙනවා.
5. ගෙදරට වෙලා ඉන්න එකේ වියදම් අඩුවෙනවානේ
මේක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන කාරණාවක්නේ. ඒ කියන්නේ වෙනදට වියදම් වෙන ප්‍රමාණය මේ වෙනකොට ඉතුරුවක් තියෙන්න ඕන. බස් ගාස්තු, ත්‍රීවිල් ගාස්තු වල ඉඳලා ඉතුරු වෙන්න ඕන. වැඩියෙන් ඇඳුම් ගන්න අවශ්‍ය වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් එළියට යන දවසකට කුඩු වෙන ගාණ අතේ ඉතුරුයි. විනෝද වියදම් ඉතුරුයි. මෙන්න මේ ඉතිරිය උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න. ඉමර්ජන්සි ෆන්ඩ් එකක් හදලා තියෙන්න. ඉන් පස්සෙත් ඉතුරු වෙන ඒවා ඔය ලෝන් අනං මනං සෙට්ල් අරන්න යොදාගන්න. කොටින්ම කිවුවොත්, එලියට යන එකෙන් ඉතුරු වෙන මුදල් ටික උඩ කියලා තියෙනවා වගේ කාලා ඉවර කිරීමෙන් වළකින්න.
6. රස්සාවට බඩු බනිස් වෙයිද?
මෙන්න මේක විහිළු තත්ත්වයක් නෙවෙයි. මුළු ලෝකෙම සමස්තයක් විදියට අවදානමකට මුහුණ දීලා තියෙන නිසා, ආර්ථික අවපාතයක් එන්න තියෙන ඉඩ ඉතාම වැඩියි. එතකොට ආර්ථික අවපාතයක වෙන්න පුළුවන් ලොකුම ගැටළුවක් තමයි රැකියා කප්පාදුව. අන්න එතකොට නිකං “මං නැතුව කොහොමද ඔෆිස් එක රන් වෙන්නේ” වගේ බොළඳ අදහස් වල ඉන්න අයට වෙන්න පුළුවන් මුලින්ම ටිකට් එක ලැබෙන්නේ. දැන් බැරි වෙලාවත් රැකියාවක් නැති වුනොත් එහෙම මේ කාලේ කොහොමද තව රැකියාවක් හොයා ගන්නේ? ඒකත් ප්‍රශ්නයක්නේ. ආන්න ඒ නිසා තමන් කරන්න දන්න දේට අමතරව තව රැකියා කුසලතාවයක් දෙකක් දියුණු කරගන්න. තමන්ගේ තත්වය අවංකවම තක්සේරු කරලා බලලා, වෘත්තිමය වශයෙන් තමන්ට දියුණු වෙන්න පුළුවන් දේවල් දිහා බලන්න. අන්තරායදායක තත්ත්වයක් දැනෙනවා නම් වෙනත් ජොබ් එකක් ගැන හිත යොමු කරලා තිබ්බත් කමක් නෑ.
7. රැල්ලට වවන්න එපා බ්‍රෝ, ඉකොනොමි එකට වවන්න
මේ දවස් වල ගෙවතු වගා රැල්ලක් තියෙනවනේ. ඒක නරකයි කියනවා නෙවෙයි. හැබැයි ඉතින් අපේ ගොඩක් කට්ටිය දේවල් රැල්ලට කරනවා කියන්නේ ඒක පාඩුවක් විතරයි කියන එක. ඔන්න වවන්න කියලා සල්ලි දීලා පැළ ජාති, ඇට ජාති ගන්නවා. සමහරු ඔය ගෙවතු වගා උපකරණ එහෙමත් ගන්නවා. ඊට පස්සේ එක දවසක් ගැම්මට වත්තේ වැඩ කරනවා. රොබින් හුඩ් යන වෙලාවට ඒක බලන්න දුවගෙන එනවා. ගෙවතු වගාව ඔච්චරයි.
හැබැයි එහෙම නැතුව හරි ප්ලෑන් එකකට ගෙවතු වගාවක් කරනවා කියන්නේ ඇත්තටම තමන්ගේ පුද්ගලික ආර්ථිකයට යම් තරමක තල්ලුවක්. මෙතනදී තෝරගන්න ඕන තමන්ට පහසුවෙන් වවන්න පුළුවන්, තමන්ගේ එදිනෙදා කෑම වේලට ඇතුළත් කරගන්න පුළුවන් දේවල්. උදාහරණයක් විදියට කිවුවොත්, මයියොක්කා දඬු ටිකක් පැළවෙන්න දැම්මත් මදිද? වතුර දැමීම ඇරෙන්න වෙන අමාරුවකුත් නෑ. අල බහින කාලෙට වේල් කීයක් පිරිමහ ගන්න පුළුවන්ද? අන්න ඒ නිසා, ඔය ගමේ කෘෂි නිලධාරීන්ගෙන් එහෙමත් උපදෙස් අරගෙන, වැඩි වැඩවලට වියදම් නොකර, තමන්ගේ ශ්‍රමය විතරක් පොඩ්ඩක් වියදම් කරලා ගෙවතු වගාව කරන්න.
8. අමතර ඉන්කම් එකක්
මේකත් ගොඩක් දෙනෙක් නොහිතන, හැබැයි මේ කාලේ හැටියට කරන්න සිද්ධ වෙන වැඩක්. ඒ තමයි එක ආදායම් මාර්ගයක් දිහා කට ඇරගෙන බලාගෙන නොඉඳ, ආදායම් මාර්ග දෙකක් හරි කීපයක් හරි සෙට් කරලා තියාගන්න එක. දැන් ගොඩක් දෙනෙක් එක රස්සාවක් කරන ගමන් ෆ්‍රී ලාන්ස් ලියනවා, ඌබර් දුවනවා, පික්මි දුවනවා, කේක් ඕඩර් ගන්නවා වගේ විවිධ අමතර ආදායම් මාර්ග තියාගෙන ඉන්නේ. දැන් මේ කාලෙට විශේෂයෙන්ම ඔය අමතර ආදායම් මාර්ගයක් තියෙන එක වටිනවා. අන්න ඒ නිසා පොඩ්ඩක් හිතලා බලන්න, ඇඳිරි නීතිය ඉවර වෙනකොට මිනිස්සුන්ට වඩාත් අවශ්‍ය දේවල් මොනවද කියලා. අන්න ඒ ඔස්සේ පොඩි අමතර ආදායම් මාර්ගයක්, අමතර බිස්නස් එකක් පටන් ගන්න.
Leave a Reply