කාලයත් එක්ක ඈත් වෙමින් ඉන්න කාන්තා විලාසිතා 7ක්

කාන්තා විලාසිතා කාලයත් එක්ක මොන තරම් නම් වෙනස්කම් ගොඩක් පහු කරගෙන ආවද? ඉතින් ඒ හැම එකක් ගැන ම කතා කරනවට වඩා ඉතා ම මෑත කාලේ ඉඳන් අපිට හුරුපුරුදු වෙලා ඉබේට නැති වෙලා ගිය විලාසිතා ගැන කතා කරන්න ලයිෆි අපි හිතුවා. මේවා සමහරුන්ගේ තවමත් ප්‍රියතම විලාසිතා වෙන්න පුළුවන්. ඒ සමහරු ඉතා ම සුළු පිරිසක් වෙන්න ඉඩ තියනවා.



1. කොණ්ඩා කූරු


කොණ්ඩෙට කූරු ගහන ට්‍රෙන්ඩ් එක ඇතිවෙන්නේ ඓතිහාසික වටිනාකමක් තියන කොරියන් නාට්‍ය විකාශයත් එක්කයි. ඊට පස්සේ ඉතින් පේමන්ට් එකේ ඉඳන් ලොකු ලොකු බියුටි කචල් තොරොම්බල් විකුණන තැන් දක්වා කොණ්ඩා කූරු අතිශයින් ජනප්‍රිය වුණා. නමුත් ඕනෑ ම දෙයක් තියෙන්නේ ටික කාලයයි. අදටත් ලේසියට පහසුවට කොණ්ඩෙට කූරක් ගහගෙන ගියාට එදා තරම් උන්මාදයකින් විලාසිතාවක් කරන සද්භාවයකින් ඒක කෙරෙන්නේ නෑ.

 


2. ස්ටිකර් නිය විලාසිතා


නියපොතු පාට කිරීමෙන් නැවතිලා ඒකේ නානාප්‍රකාර ස්ටිකර් ඇලවීමේ විලාසිතාවක් තිබුණා. නමුත් ඒකෙන් නියපොතුවල ඇත්ත ම ලස්සන මතු වෙනවද කියන ප්‍රශ්නය මතු වෙන්න ගත්තා. දැන් නියපොතුවල ලස්සන මතු වෙන හොඳ ම විදිය පුළුවන් තරම් සරල සහ සෞම්‍ය නිය ආලේපන බවට විලාසිතා ලෝකය පිළි අරගෙන. ඉතින් ඇඟිලිවලට කලින් දුන්න ස්ටිකර් ඇලවීමේ වදය දැන් ඉවරයි.



3. ඩෙනිම් වගේ ලෙගින්ස්


ඩෙනිම අදටත් නොනැසී පවතිනවා. හෝදන්නැතුවත් මාස දෙක තුනක් අඳිනවා. එච්චර වැදගත්කමක් තියන ඇඳුම එපා කියලා ලේසියටයි නව විලාසිතාවකටයි කියලා හිතාන ඩෙනිම් වගේ ම පේන ලෙගින්ස් එකක් අඳින්න කට්ටිය පුරුදු වුණා. හැබැයි කාලයත් එක්ක ම සමහරුන්ට අවබෝධ වෙන්න ගත්තා මේවා ඇන්දම ඉතාම බාල පෙනුමක් එන බව. ඒ වගේ ම ඇඟේ කොටස් තදට නෙරලා එළියට එන බව. ඉතින් ඒකත් නැවතුණා.

 


4. ඇඟට ඇළුණ ගවුම් 


ඒ නම දිග වැඩි නම් ඉතින් ස්ලිප් ඩ්‍රෙස් එකක් කියලා අපි කියමු. අඳින්න සැහැල්ලු බවත් සරාගී පෙනුමක් ලබා දෙනවා කියලත් ස්ලිප් ඩ්‍රෙස් අඳින්න යොමු වුණේ. පස්සෙන් පහු හැම එකා ම මේක අඳින්න තියාගත්තා. ඉතින් ඊට පස්සේ මේවා නිදන කාමරයට පමණක් සීමා වුණා. මේ ගවුම් වෙනුවට ඉතා සුවපහසු ලිනන්වලින් කළ ගවුම් අඳින්න කට්ටිය පෙළඹිලා.



5. එම්බ්‍රොයිඩරි


එම්බ්‍රොයිඩර් කරපු කලිසම්, බ්ලවුස්, කමීස යනා දී විදියට තිබුණා තමයි කාලයක්. නමුත් අර නියපොතුවලට වුණා වගේ ම ඒවයෙන් අමුතු ම ගොරහැඬි බවක් තමයි ලබලා දුන්නේ. ඉතින් දැන් ඒවයෙන් අයින් වෙලා සරල සුන්දර විලාසිතාවලට යොමු වෙලා.

 


6. නයි පෙනේ


කොණ්ඩෙට ඉස්සරහින් පොඩි පෆ් එකක් තියලා කට්ටිය හදාගත්තු මෝස්තරේට නමක් පටබැඳුණේ නයිපෙනේ කියලා. උපකාරක පංතිවල එක යායට නයි පෙන. ඔළුව උස්සලා බැලුවේ නැත්තන් කවුද කියලවත් වෙන් කරගන්න බැරි තරමට. දැන් ආයෙත් සාමාන්‍ය පෝනි ටේල් එකට ගොඩක් අය කැමතියි. ඒ නැතත් නයිපෙනේට වඩා ගොඩක් ලස්සන විලාසිතා නව ලෝකය දායාද කරලා.



7. කියුලට්


කියුලට් කියලා කටේ ඌරුවට කිව්වට මේවා ඇත්තටම කිලොට්ස් ෂෝට්ස්. සායක් ඇඳන් ඉන්නවා වගෙයි පේන්නේ. හැබැයි ඇත්තට කලිසමක්. මේවා නම් කාලයත් එක්ක නැති වෙලා ගියේ අපරාදේ. සායක් ඇඳලා එකල මෙකල වෙලා වාඩි වෙන ගතිය නැති කරපු නියම ඇඳුමක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *