කොරෝනා නිසා ගොඩක් රටවලට මුහුණ දෙන්නට වෙලා තියෙන්නේ ලෙඩ පිළිබඳ අර්බුදයකට විතරක් නෙමෙයි, ලෙඩට පසුව දැඩි ආර්ථික අර්බුදයක් සහ ඉන්පසු ආහාර හිඟකම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. තවත් අතකින් ලෝකයේ ආහාර නිෂ්පාදනය, බෙදාහැරීම වගේ අත්‍යාවශ්‍ය සේවාවන් වුනත් යම්තාක් දුරකට අඩපණ වෙලා. ඉතින් මේ තත්ත්වය එක්ක ලෝකයම අවුල් ගොඩක් බවට පත් වෙලා. මේ ගැන එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහනේ පවා අවධානය යොමු වෙලා තියෙනවා.
1. ලෝක ආහාර වැඩසටහනේ අනතුරු හැඟවීම
ලෝක ආහාර වැඩසටහන කියන විදිහට ලෝකේ ජනතාවගෙන් මිලියන 821ක් සාගතයෙන් පීඩා විඳිනවා. එයින් මිලියන 135ක ජනතාව දරුණු සාගත තත්ත්වයකින් පෙළෙනවා. මේ සාමාන්‍ය ලෝකය. දැන් මේ කෝවිඩ් -19 අනතුර නිසා ඇතිවන තත්ත්වයන් හේතුවෙන් මේ සාගත තත්ත්වයෙන් දැනට දැඩි පීඩා ලබන පිරිස තවත් මිලියන 130කින් වැඩිවෙන්නට නියමිතයි කියලා ඒ සංවිධානය අනතුරු අඟවලා තියෙනවා. සාමාන්‍ය ආහාර හිඟ තත්ත්වය නිසා අහේනියෙන් පීඩා විඳින ආසියා, අප්‍රිකා කලාපයේ ජනතාව මේ කොරෝනා නිසා තවත් පීඩා විඳින්නට නියමිත වෙලා තියෙනවා.
2. වගා කටයුතුවලට තියෙන බාධාවන්
වගා කටයුතු අවහිරවීමෙන් තාවකාලිකව සාගත තත්ත්වයක් නිර්මාණය වෙන්නේ නැහැ. නමුත් එය දිගුකාලීනව සාගතයකට මුලපුරනවා. දැන් ආහාර නිෂ්පාදනයට වුනත් යන්ත්‍ර සූත්‍ර නිර්මාණය වෙන්නේ එක රටක, අස්වනු වලට බලපාන කෘෂි රසායනික නිෂ්පාදනය වෙන්නේ තවත් රටක, ඒ වගේම ලංකාවේ නම් එළවලු බීජ ආදිය ලංකාවට එන්නෙත් ඉන්දුනීසියාව, තායිලන්තය වැනි රටවලින්. ඉතින් වගාකටයුතු වලට අවශ්‍ය ද්‍රව්‍ය සපයාගන්නට බැරි වුනාම, යන්ත්‍ර සූත්‍ර සහ ශ්‍රමය ලබාගන්නට නොහැකි වුනාම වගා කටයුතු අඩාල වෙනවා. කොරෝනා නිසා ලෝකයේ ම ඇතිවෙලා තියෙන ලොක්ඩවුන් තත්ත්වය නිසා කෘෂි රසායන නිෂ්පාදන වගේම බීජ වැනි දේවල් රටකින් රටකට හුවමාරු වීම අඩපණ වෙලා තියෙනවා. මෙහි බලපෑම සෘජුවම නැතත් කලකදී අස්වැන්න අඩුවෙන්න හේතුවේවි.
3. අස්වනු නෙලීම ඇනහිටීම
ඉන්දියාව ලොක් කිරීමත් එක්ක ඉන්දියාවේ වගාබිම් වල කුලියට වැඩකළ ඈත පළාත්වල ගොවීන්ට යන එන මන් නැති වුනා. ඔවුන් පා ගමනින් ම නිවෙස් කරා කිලෝමීටර සිය ගණන් කෑමක් බීමක් වත් නැතුව යන දර්ශනය අනුවේදනීය වුනා. උතුරු ඉන්දියාවේ පන්ජාබ් සහ පාකිස්ථානයේ සීමා තිරිඟු වගාබිම්. ඒ තිරිඟු වගාබිම් වල අස්වනු නෙළන කාලය අප්‍රේල් මසට යෙදිලා තිබුනා. ඒ අප්‍රේල් අස්වනු තොග වශයෙන් නෙලීම ඉන්දියාවේ වගේම පාකිස්ථානයේදීත් ප්‍රමාද වුනා. ඉන්දියාවේ තවමත් සමහර තැන්වල අස්වනු නෙලාගන්න ශ්‍රමිකයින් අඩු වෙලා තියෙනවා. මේ තත්ත්වය තිරිඟු වලට ඉන්දියාවේ පාකිස්ථානයේ වගේම අමරිකාවෙත් බලපාල තියෙනවා. ඇමරිකාව කෝවිඩ්-19 පැතිරීම එක්ක ලොක් කෙරුණා. ඒ රටෙත් විශාල යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලා අස්වනු නෙලීම් කටයුතු දැඩි ලෙස පසුබාලා තිබුනා.
4. හාල් මිල
ලංකාවේ හාල් මිල ගැන පහුගිය දිනවල කතා කලා. ලංකාවේ අපේ හාල් මිල මෑත ඉතිහාසයේදි අඩු කළේ රටින් හාල් ගෙන්වලා. ලංකාවේ හාල් මිල වැඩිවුණාම රජය තීරණය කරලා තෝරාගත් හාල් තොග සතොස හරහා රටින් ගෙන්වන්න කටයුතු කළා. ඒත් මේ කෝවිඩ්-19 තත්ත්වය හාල් මිලට සෘජුවම බලාපාල තියෙනවා. ඉන්දියාව, වියට්නාමය, තායිලන්තය, පාකිස්ථානය වගේම මියන්මාරය වගේ රටවලුත් තමුන්ගේ රටවල තියෙන සහල් තොග රට යවන්නේ නැතුව ඉන්න තීරණ අරගෙන තියෙනවා. ඒ වගේම සහල් නිපදවීමේදී වගේම සහල් අස්වනු නෙලා සකස් කිරීමේදිත් වැයවන මිනිස් ශ්‍රමය තිරිඟු වලට වඩා වැඩියි. කෝවිඩ්-19 නිසා මිනිසුන්ට එහා මෙහා යෑමට තහංචි වැටුන එක සහල් මිල ඉහළ යන්න තවත් හේතු වුනා.
5. ඉතිහාසය
ලංකා ඉතිහාසයේ 19 වැනි සියවසේ ආහාර හිඟකම ප්‍රබලව අවස්ථා දෙකකදී උදා වුනා. ඒ කාලේ බ්‍රිතාන්‍ය යටත්විජිතයක් තියෙන කාලේ සහල් වගා කටයුතු උනන්දු කරන්න බ්‍රිතාන්‍යයෝ කටයුතු කළේ නැහැ. ඔවුන් කිව්වේ ලංකාවේ සහල් නිපදවනවාට වඩා ඉන්දියාවේ බෙංගාලයේ, බුරුමයේ සහල් ලාබයි කියලා. දෙවන ලෝක යුද්ධය උදා වුනා. එයින් ඇතිවූ සාගත තත්ත්වය හේතුවෙන් ලෝක යුද්ධයේ ප්‍රහාර වලින් මිය ගියා හා සමාන පිරිසක් ආහාර හිඟකමින් මිය ගියා. මියන්මාරය දෙවන ලෝක යුද්ධයේදී ජපානයට නතු වුනා. මියන්මාරයෙන් එන හාල් අස්වනු නැති වීමෙන් බෙංගාලයේ පමණක් මිලියන 4ක ජනතාව කෑම නැතුව මිය පරලොව ගිය බවට සඳහන් වෙනවා. මේ කාලේ මේ ලෝක ආහාර ජාලයේ කඩාවැටීම ලංකාවටත් දැනුනා. පසුකලෙක ඩී. ඇස්. සේනානායක ශ්‍රීමතාණන් ලංකාව ගොවිතැනින් ස්වයංපෝෂිත කරන්න උත්සාහ ගන්න එක හේතුවක් විදිහට මෙය දැක්වෙනවා. පසු කාලීනව අපනයන ආනයන සීමා කිරීමේ තත්ත්වයක් නිසා සිරිමා ආණ්ඩු කාලෙත් ජනතාවට බඩගින්නේ ඉන්න සිද්ද වුනා. ඒ නිසා පසුකාලීනව ලංකාවේ රජයන් සහල් නිෂ්පාදනය සහ සහලින් රට ස්වයංපෝෂිත කිරීම ගැන වැඩි අවධානයක් යොමු කළා. අපේ රටේ වී අස්වනු රටට සරිලන තරමට තිබෙනවා. ඒත් යම් විදිහකින් පාන්පිටි සහ අනෙකුත් රටින් එන නිෂ්පාදන අවහිර උනොත් හෝ මිල වැඩි වුනොත් ඒ අඩුවත් සහලින් ම සපුරන්න වීම ගැනත් අවධානය යොමු කරන එක වටිනවා.
6. නැතිබැරියාව සහ අහේනිය
කෝවිඩ් 19 පැතිරීම එක්ක ලෝකයේ බඩු භාණ්ඩ පාවිච්චිය සීමා වුනා. බංග්ලාදේශයේ මිලියන ගණනක් ගාමන්ට් වල වැඩකරපු දුප්පත් ජනතාවට ඕඩර් නැතිවීම නිසා රස්සාව නැති වුනා. ලෝකය පුරා එක්කෝ රස්සාවලට ලැබෙන වැටුප් අඩු වුනා, නැතිනම් රස්සාවන් නැතිම වෙලා ගියා. ලොක් ඩවුන් සහ ඇඳිරි නීති තත්ත්වයන් නිසා රස්සාව තිබුනත් වැඩට යන්න බැරි නිසා ලැබෙන වැටුප් සීමා වුනා. මේ වගේ තත්ත්වයක් තුළ ආහාර වල මිලත් ඉහළ ගියොත් එය ජනතාවට නරක විදිහට බලපානවා. ලංකාණ්ඩුවත් දුප්පත් ජනතාව වෙනුවෙන් පරිප්පු සහ සැමන් මාර්තු මසදී මිල අඩු කළා. එහෙත් ඒ සහන වැඩිකලක් ජනතාවට භුක්ති විඳින්නට නොහැකි වුනා.
7. ලෝක අර්බුදය සහ විසඳුම්
ස්වාභාවික විපතක් හෝ යුධමය තත්ත්වයක් නම් ඒ අවස්ථාවේ බලපෑම තියෙන්නේ ඒ අදාළ කලාපයට විතරයි. උදාහරණ විදිහට 2004 සුනාමිය ඉන්දුනීසියාව, තායිලන්තය, ලංකාව වගේ රටවලට දැඩිව දැනුනා. ඒත් විදෙස් ආධාර නිසා රට නැවත යථා තත්ත්වයට ගන්නට අපිට හැකි වුනා. එහෙත් වර්තමාන කොරෝනා අවදානම ලෝකයම වසාගෙන ඉවරයි. මේ වෙද්දි රටවල් 200කට අධික ගණනකට පැතිරී ඇති කෝවිඩ් නිසා කෝවිඩ් බලපෑම දැඩි වුනේ නැති රටවලටත් ආර්ථික අපහසුතා වලට මුහුණ දෙන්නට සිදු වෙලා තියෙනවා. යුරෝපා ඇමරිකාව ආදී රටවල් වගේම ඕස්ට්‍රේලියා, නවසීලන්ත ආදී දියුණු රටවලුත් මේ අවදානම නිසා අඩපණ වෙලා තියෙනවා. කොටින්ම මේ අවස්ථාවේ අපිට පිහිටක් බලාපොරොත්තු වන්නට තවත් නොගැලවුන රටක් නොමැති තරම්. මේ ගැන අපේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ වේන් පුවත් වලට කියලා තිබුනේ මේ අවස්ථාවේ රටවල් වලට නායකයෝ සිටියාට ලෝක නායකත්වේ ගැටළු තියෙනවා කියලා. දෙවන ලෝක යුද්ධ තත්ත්වයේදී අමරිකාවේ රූස්වෙල්ට්, බ්‍රිතාන්‍යයේ චර්චිල්, රුසියාවේ ස්ටාලින් ආදීන් එකතු වෙලා යුද්ධය සහ ඉන් පසු තත්ත්වයන් ගැන ක්‍රියාමාර්ග ගන්නට කටයුතු කළා. එහෙත් වර්තමානයේ රටවල් තමුන්ගේ ආරක්ෂාව ගැන මිස ලෝක තත්ත්වය ගැන අවධානයක් නැහැ කියලා තමයි අපේ හිටපු අගමැතිතුමා කිව්වේ.
රටක විපතකදි අපිට තවත් රටවල් පිහිට වෙනවා, ආධාර දෙනවා. ඒත් ලෝකයේම විපතක් දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ මේ විදිහට ලෝකයට බලපාලා නැහැ. මෙය එක් පසෙකින් සෞඛ්‍යයමය ගැටළුවක්. මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ගැටළුවක් වෙද්දි ඒ නිසා වක්‍රාකාරයෙන් සහ දැඩිව මිනිස් ජීවිතයේ අත්‍යවශ්‍ය සැපයුම් වලට කොරෝනා බාධාවක් වෙලා තියෙනවා.
Leave a Reply