අපේ කලා ක්ෂේත්‍රයේ ජය කෙහෙළි නැංවූ සහෝදරයෝ

අපි පහුගිය සති කීපය පුරාවටම කලා ක්ෂේත්‍රයේ කලාකරුවන්ගේ එක එක නෑකම් පිළිබඳව විස්තර ඔබට ගෙනාවා. මේ ඒ ආටිකල් සීරිස් එකේම තවත් කොටසක්. අපි අද මේ ආටිකල් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කලා ක්ෂේත්‍රයේ නිරත වෙලා ඉන්න සහෝදරයෝ ගැන

 

1. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, එඩී ජයමාන්න

සිංහල සිනමාවේ පළවෙනි නිළිය විදිහට රුක්මණී දේවියට විශාල ගෞරවයක් ලැබුණත් අපි බොහෝ දෙනෙක්ට සිංහල සිනමාවේ පළවෙනි නළුවා ගැන අමතක වෙනවා. ඔහු තමයි බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න. ඒ වගේම පළමු සිංහල චිත්‍රපටය නිර්මාණය කිරීමේ ගෞරවය බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නට හිමිවෙනවා. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න තමන්ගේ චිත්‍රපට සහ වේදිකා නාට්‍ය හරහා තමන්ගේ සහෝදරයවත් ජනප්‍රිය කරවනවා. මේ සහෝදරයා තමයි එඩී ජයමාන්න. ලංකාවේ පළවෙනි සාර්ථක විකට නළුවා විදිහට එඩී ජයමාන්න ඉතිහාසහත වෙනවා.

 

2. කිත්සිරි ජයසේකර, දයාසිරි ජයසේකර 

දයාසිරි ජයසේකරට දේශපාලනඥයෙකු විදිහට ඇතැම් අය ප්‍රිය නොකළත් ඔහුව කලාකරුවෙක් විදිහට විශේෂයෙන්ම ගීත ගායකයෙක් විදියට බොහෝ දෙනෙක් අගය කරනවා. ඔහු ගායනා කළ ගීත ගණන අල්පයක් වුණත් ඇතැම් ගීත අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණා. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වුණු කිත්සිරි ජයසේකර සාර්ථක ගායකයෙක් විදිහට දිග ගමනක් ක්ෂේත්‍රය තුළ ආවා. නමුත් මේ වෙනකොට ඔහු විදේශගත වීම නිසා මෑතකදී නම් අපිට ඔහුගේ  නව ගීතයක් අහන්න ලැබුණේ නැහැ.

 

3. මධු මාධව අරවින්ද, ධනංජය සිරිවර්ධන

මධුමාධව ක්ෂේත්‍රයට පිවිසෙන්නේ පරම්පරාවේ උරුමයක් එක්ක. සිය පියාගේ අඩි පාරේ යමින් ඔහු සාර්ථක ගායකයෙක් බවට පත් වෙනවා. ඔහුගේ පියාටත් වඩා මධුමාධව ජනප්‍රිය වුණා කිව්වොත් නිවැරදියි නිවැරදියි. ගීත ක්ෂේත්‍රයට ඒ හා සමාන ජනප්‍රියත්වයක් ඔහුගේ පවුලෙන් ලැබූ අනිත් කෙනා විදිහට සලකන්න පුළුවන් ඔහුගේ නැන්දනිය වුණු චන්ද්‍රිකා සිරිවර්ධන පමණයි. හැබැයි මේ සියල්ලන්ගේම ජනප්‍රියත්වයට වඩා වැඩි ජනප්‍රියත්වයක් මධුමාධවගේ බාල සහෝදරයා ලබා ගත්තා. ඒ ගායකයෙක් විදිහට නම් නෙමෙයි, නළුවෙක් විදිහට. ධනංජය සිරිවර්ධන මුලින්ම රඟපෑමෙන් එක් වුණෙත් ඔවුන්ගේ පියා අධ්‍යක්ෂණය කරපු “නේත්‍රා” ටෙලි නාට්‍යයෙන් වීමත් තවත් විශේෂත්වයක්.

 

4. ජනිත් වික්‍රමගේ, සංකේත් වික්‍රමගේ 

ආනන්ද වික්‍රමගේ හා මානෙල් වික්‍රමගේගේ පුතුන් දෙදෙනා විදිහට ක්ෂේත්‍රයට පිවිසෙන මේ සහෝදරයන් දෙදෙනා ක්ෂේත්‍රය තුළ තමන්ගේම රංගන අනන්‍යතාවක් ගොඩනඟා ගනු ලැබුවා. ජනිත් වික්‍රමගේ  සරල සහ විනෝදාස්වාදය නියුතු චරිත තෝරා ගනිද්දී සංකේත් වික්‍රමගේ බොහෝ අවස්ථාවල තෝරා ගත්තේ තමන්ගේ රංග පරාසය ප්‍රේක්ෂකයාට පෙන්විය හැකි නිර්මාණයි. ඒ වගේම ජනිත් වික්‍රමගේ නර්තන ශිල්පියෙක් විදියටත් රියැලිටි තරග හරහා තමා තම දක්ෂතා පෙන්වනු ලැබූවා. හැබැයි මෑතකදී නම් මේ සහෝදරයන් දෙදෙනාම  නිර්මාණයකින් මුණගැසුනේ නැහැ.

 

5. සතිස්චන්ද්‍ර එදිරිසිංහ, සුනිල් එදිරිසිංහ 

සතිස්චන්ද්‍ර එදිරිසිංහ තමන්ගේ මුල්ම චිත්‍රපටය වන “මාතර ආච්චි” චිත්‍රපටියෙන් ආධුනික ගායකයෙක්ව සිනමාවට වගේම ගායන ක්ෂේත්‍රයට හඳුන්වා දෙනවා. මේ ගායකයා මෙම චිත්‍රපටය සඳහා භාවිතා කිරීම ගැන ඇතැම් අය සැක පළ කරනවා. නමුත් ඒ සියලු සැක දුරු කරමින් වොලී නානායක්කාර රචනා කළ “සඳකඩ පහනක කැටයම් ඔපලා” ගීතය මේ ආධුනික ගායකයා ගායනා කරන්නේ හදවතට දැනෙන ආකාරයටයි. එදා ඉඳන් ඒ ගීතය වගේම මේ ගායකයාත් එකම විදිහට රසිකයන්ට සමීප වෙනවා. මේ ගායකයා සතිශ්චන්ද්‍ර එදිරිසිංහගේ  බාල සහෝදරයාත් වෙනවා, ඔහු තමයි සුනිල් එදිරිසිංහ.

 

6. ටයිටස් ඇන්තනි, ජැක්සන් ඇන්තනි

 

ටයිටස් ඇන්තනි අයියා මුලින්ම ටෙලි නාට්‍යයකට දායක වෙන්නේ තමන්ගේ මල්ලිගෙ ටෙලි නාට්‍යයකින්. ඒ ටෙලි නාට්‍යය තමයි “ඇසළ කළුවර” ටෙලි නාට්‍යය. ඊට පස්සේ ඔහු බොහෝ අවස්ථාවල මල්ලිගේ නිර්මාණවල දකින්න ලැබෙනවා. සීරජ, දස්කොන් ඒ අතරින් කීපයක්. පුවත්පත් කලාවේදීයෙක් විදිහට ජීවිතය ආරම්භ කරපු ටයිටස් ඇන්‍තනි දක්ෂ වේදිකා නළුවෙක් වුණත් වැඩිපුර ජනතාවට සමීප වෙන්නේ “කූඹියෝ” ටෙලි නාට්‍යයේ ඔස්ටින් අයියාගේ චරිතය නිරූපණය කිරීම මගින්. නමුත් එම ටෙලි නාට්‍යය විකාශනය වෙන කාලයේදීම වේදිකා නාට්‍යයක් ප්‍රදර්ශනය කිරීමට සිංගප්පූරුව වෙතට ගිය ගමනකදී ඔහු හදිසියේ ජීවිතයෙන් සමු ගත්තා.

 

7. ජයන්ත රත්නායක, ලෙලුම් රත්නායක 

මේ සහෝදරයන් දෙදෙනා ක්ෂේත්‍රයට පිවිසුණේ තමන්ගේ පියාගේ උරුමයත් එක්ක. හැබැයි ඉතාම මෑතකදී මේ සහෝදරයන් දෙදෙනාට ඒ උරුමය කරුමයක් බවටත් පත් වුණා. ඒ ගැටළුකාරී තත්ත්වය කොයි තරම් දුරදිග ගියාද කියනවා නම් අවසානයේදී ජයන්තගේ මරණයටවත් ඔහුගේ පියා ආවේ නෑ. ඒ ගැන අපි වැඩි දුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජයන්ත රත්නායක වගේම ලෙලුම් රත්නායක අති දක්ෂයෝ. හැබැයි ඔවුන් දෙදෙනාටම තාත්තගේ සෙවනැල්ලෙන් මිදිලා යම් දෙයක් ක්ෂේත්‍රයට කරන්න ලැබුණාද කියන එක නම් ප්‍රශ්නයක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *