හැමදාම කරන වැඩේට වඩා සබන් කෑල්ලකින් ප්‍රයෝජන ගමු

මේ දවස්වල වෙළඳපොළේ සබන්වලට හරි ඉල්ලුම. ඇයි ඉතින් අපි කොයි වෙලෙත් අත් හෝදලා බොහොම සෞඛ්‍ය සම්පන්නව ඉන්න ඕනි නේ. මෙච්චර කාලෙකට සබන් කෑල්ලකින් ශරීරය පිරිසිදු කරගන්නවා ඇරෙන්න වෙන දෙයක් කරන්න පුළුවන් ඇති කියලා හිතිලා තියනවද? එහෙම නැති නම් කියවලා බලන්න සබන් කැටේකට කරන්න පුළුවන් දේ.



1. සරනේරු වදෙන් ගැලවෙන්න


දොරවල්වල තියන සරනේරු කාලයත් එක්ක පරණ වුණා ම පුදුමාකාර වදයක් ඒක. දොර අරිනකොට වහනකොට එපා කරපු ලදරම් සද්දයක් ඇහෙන්න ගන්නවා. ඒකෙන් ගැලවෙන්න සමහරු දොර එහෙම පිටින් ම ගලවලා අලුතින් සරනේරු හයි කරනවා. තවත් අය වෙළඳපොළේ තියන විවිධ දියර වර්ග පාවිච්චි කරනවා. ඒ වගේ ම සබන් කෑල්ලක් ගාලා බලන්න. ගාලා පොඩ්ඩක් අතින් දොර එහෙට මෙහෙට කරලා බලන්න. 



2. නාන කාමර කණ්ණාඩියට


ඔයාගෙ නාන කාමරේ තියන කණ්ණාඩියේ බැඳෙන පටලය රෙදි කෑල්ලකින් නිකන් ම පිහිදන්න යන්න එපා. වෙනසකටත් එක්ක ඉස්සෙල්ලම සබන් කෑල්ලකින් හිමින් අතුල්ලන්න. ඊට පස්සේ පුළුන් කෑල්ලක් හරි ටිෂූ එකක් හරි අරගෙන පිහින්න. කලින් තිබුණාටත් වඩා දිදුලන පෙනුමකින් කණ්ණාඩියේ පාට වැටෙයි.



3. ඇඳුම් අල්මාරියට


දන්නා කාලෙක ඉඳන් අපි ඇඳුම්වල පුසුඹ සහ නැවුම් බව තියාගන්න කපුරු බෝල පාවිච්චි කරනවා. නිකමටවත් සබන් කෑල්ලක් දාලා බලලා තියනවද? කපුරු බෝලවල තියන නහය කඩාගෙන යන සුවඳ ගොඩක් අයට අල්ලන්නේ නැහැ. සෞම්‍ය සුවඳකට රෙදි අතරේ ඇඟ ගල්වන සබන් කැටයක් තියලා බලන්න. ගෙදරට ගෙනෙන සබන් ස්ටොක් එක භාවිතයට පෙර අල්මාරියේ තියනවා නම් වැඩේ එතනින් ම ඉවරයි.



4. බිත්තියේ වැදුණු ඇණ පාර මකන්න


බිත්තිවල ගහපු ඇණවලින්, ඇණේ නැතුව හිල විතරක් තියෙන බිත්ති අපේ ගෙවල්වල බොහොමයි. ඒ වගේ ඒවා දැක්කමත් මල පනිනවා. ඉතින් අලුතින් බිත්ති බඳින්න ද? ඒ ටික විතරක් වහන්න බාස් කෙනෙක් ගෙන්නගන්න ද? නැත්තන් වියළි සබන් කෑල්ලක් පාවිච්චි කරමු ද? කරන්න තියෙන්නේ සබන් කෑල්ල ඒ ප්‍රදේශයේ තවරන එක. වටේ පිටේ තියන සබන් කුඩු පාර අතෙන් අයින් කරන්න.



5. කැඩුණු වීදුරු කැබලිවලින් ගැලවෙන්න


වීදුරුවක් බිඳුණ වෙලාවක අපි කොස්සෙන් ඕක අයින් කරා කියමුකෝ. නමුත් ඇහැට නොපෙනෙන විදියට වීදුරු කොටස් අතිශය කුඩා කැබලිවලට කැඩිලා තියෙන්න පුළුවන්. ඒවා ගන්නේ කොහොමද? වීදුරුව බිඳුණ ප්‍රදේශය සබන් කෑල්ලකින් අතුල්ලන්න. එතකොට ඉතාම කුඩා වීදුරු කැබලි පවා ඇවිත් සබන් කෑල්ලේ ඇලෙනවා.



6. කෘමි සපාකෑම්වලට සහනය


මදුරුවෙක්, කෝඳුරුවෙක් නම නොදන්න දෑහැට පේන්නේ නැති තව ඒවගේ එවුන් ඇවිත් අපේ අත පය කාලා දානකොට හිත කියන්නෙම කහන්න කියලා. සමහර වෙලාවට පිස්සුවක් වෙනකන් කහනවා. පොඩ්ඩක් තෙතමාත්තු කරපු සබන් කෑල්ලක් පොඩ්ඩක් අතුල්ලලා තියලා බලන්න මොකද වෙන්නේ කියලා.



7. ඉඳිකටු තුඩට


සමහර ඇඳුම් මහන්න බැරි ඒ රෙදි වර්ගය නිසා. සමහර රෙදි අස්සෙන් ඉඳිකට්ට ගමන් කරන්න හොරයි. ඉතින් එහෙම වෙලාවට ඉඳිකටු තුඩ සබන් කැටෙන් අතුල්ලන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *