සොඳුරු කේරළයේ රසවත් කෑම ටිකක් ගෙදරදී හදාගමුද?

කේරළය කියන්නේ ලංකාවේ අපිට ඉතාමත්ම සමීප ඉන්දියාවේ ප්‍රදේශයක්. සිනමාව හින්දා වගේම රස කෑම වලටත් කේරළය ප්‍රසිද්ධයි. කේරළ මලයාලම් සිනමාපට ගැන නිතර කියන එකේ අපි අද හිතුවා කේරළ කෑම කීපයකට රෙසිපි ගෙන එන්න.

 

1. Kerala pathri / Malbar rice pathri

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හාල්පිටි කෝප්ප 1
  2. පොල්තෙල් මේස හැඳි 1
  3. ලුණු

 

  • හාල්පිටි ටික විනාඩි 5ක් බැදගෙන ටිකක් නිවෙන්න තියන්න.
  • පෑන් එක​කට වතුර කෝප්පයක් දාලා පොල්තෙල් මේස හැඳි 1 1/2ක් දාගන්න. ඒකටම ලුණු පින්ච් එකක් දාගෙන වතුර හො​ඳට නටනකල් කලවම් කරගන්න.
  • දැන් බැදගත් පිටි ටික මේකට දාගෙන, වතුර වලට පිටි උරාගෙන මෝලියක් සෑදෙන තුරු හොඳ​ට හැඳිගාන්න. ඉන් පස්සේ පියන වහලා විනාඩි 5ක් තව තියාගෙන, ආයෙ හො​ඳට කලවම් කරලා ලිපෙන් බාගන්න.
  • ඩෝ එක හො​ඳට නීඩ් කරගෙන හො​ඳට සොෆ්ට් අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. දැන් මේකෙන් කොටසක් කඩාගෙන අල්ලට ගත හැකි තරමේ බෝලයක් සාදාගන්න.
  • පිටි ටිකක් ලෑල්ල​කට ඉහලා ඒ ඩෝ එක තුනී කරගන්න. තුනීයට තමයි රොටිය හදාගන්න ඕනේ.
  • දැන් රවුන්ඩ් කටර් එකකින් හෝ පොඩි ඩිශ් එකකින් රොටියේ තරමට කපාගෙන පෑන් එක​කට දාලා දෙපැත්තම පුළුස්සගන්න. 
  • දැන් අපේ පත්‍රි එක රෙඩී. පත්‍රි එකේ විශේෂත්වය හො​ඳට නවන්න පුළුවන් රොටියක් වීමයි.

 

2. කේරල ස්ටයිල් වෙජි ස්ටූ

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පොල්තෙල් මේස හැඳි 1
  2. කරාබුනැටි 2
  3. කුරුඳු කෑලි කිහිපයක්
  4. කරදමුංගු ඇට 2
  5. ලියාගත් ළූණු ගෙඩි 1
  6. චොප්කරගත් බෝංචි කරල් 4
  7. තරමක ලොකුවට කැපූ කැරට් අල 2
  8. කොටුවට කපාගත් අලගෙඩි 2
  9. ග්‍රීන්පීස් කෝප්ප  1/2
  10. කපාගත් කෝලිෆ්ලවර් කෝප්ප  1
  11. කපාගත් අමුමිරිස් කරල් 2
  12. චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
  13. කරපිංචා කො​ළ කිහිපයක්
  14. මිටිකිරි කෝප්ප 2

 

  • පෑන් එකට පොල්තෙල් ටික දාලා රත්වෙනකොට කරාබුනැටි ,කුරුඳු, කරදමුංගු ටික දාලා ෆ්‍රයි කරගන්න.
  • ටිකකින් ලූණු ටික දාලා හො​ඳට තෙම්පරාදු කරන්න. ළූණු මැලවෙනකොට බෝංචි ටික සහ ඉන්පසු කැරට් ටික දාගෙන අල ටිකත් දාගන්න. ටිකකින් ග්‍රීන්පීස් එකතු කරන්න. කෝලිෆ්ලවර් ටිකත් දාගෙන අමුමිරිස් ටික එකතු කරගෙන අන්තිමට ඉඟුරු ටික දාගෙන ඔක්කොම හො​ඳට කලවම් කරගන්න.
  • දැන් වතුර කෝප්පයක් දාලා මේ ටික තැම්බෙන්න අරින්න. රස අනුව ලුණු දාගෙ​න කරපිංචා ටිකත් දාගන්න. එළවළු  ටික බාගෙට තැම්බෙන්න විනාඩි 5ක් විතර වහලා තියන්න.
  • දැන් මේකට පොල්කිරි ටික එකතු කරගෙන තව විනාඩි 7ක් විතර වහලා තියලා තම්බන්න. කිරි හො​ඳට උතුරනකොට පොල්තෙල් ටිකක් දාලා ටිකකින් ලිප ඕෆ් කරගන්න.

 

3. කේර​ළ එග්රෝස්ට්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් බිත්තර 4ක්
  2. පොල්තෙල් මේස හැඳි 1
  3. චොප්කරගත් ළූණු ගෙඩි 2
  4. කරපිංචා කො​ළ කිහිපයක්
  5. චොප්කරගත් තක්කාලි ගෙඩි 1
  6. ලුණු
  7. මිරිස්කුඩු තේ හැඳි 1
  8. කහ තේ හැඳි කාලක්
  9. ගම්මිරිස්කුඩු

 

  • පෑන් එකට තෙල් ටිකක් දාගන්න. තෙල් රත් වෙනකොට ළූණු ටික දාලා බැදෙන්න අරින්න. කරපිංචා ටිකත් දාගන්න. ළූණු ටික රන්වන්පාට වෙනකල් බැදගන්න ඕනෙ. 
  • ටිකකින් තක්කාලි ටික දාගෙන ​රස අනුව ලුණු, මිරිස්කුඩු සහ කහ ටිකත් එකතු කරන්න. ගම්මිරිස්කුඩු තේ හැඳි 1/2ක් වගේ දාගන්න. තක්කාලි ටික චොප් වෙලා, බෙරි වෙනකල් හැඳිගාගන්න.
  • දැන් වතුර කෝප්ප 1/2ක් වගේ දාගන්න. විනාඩි 3ක් වගේ මෙහෙම කුක් කරලා බිත්තර ටික දාගන්න. මතක තියාගන්න බිත්තර වල පිහියෙන් හතර පැත්තෙන්ම කැපුම් දාලා තමයි කරි එකට එකතු කරගන්න ඕනේ. 
  • දැන් හො​ඳට කලවම් කරගන්න ග්‍රේවි එක බිත්තර වලට උනනකල්. හො​ඳට කලවම් කරලා විනාඩි 3ක් වගේ තියලා ලිප ඕෆ් කරගන්න.

 

4. කේර​ළ චිකන් කරි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් කුකුළු මස් ග්‍රෑම් 500ක්
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. චොප්කරගත් තක්කාලි ගෙඩි 1
  4. සේර කෑල්ලක්
  5. ගාගත් පොල් කෝප්ප  1
  6. සුදුළූණු බික් 3
  7. කරපිංචා කො​ළ ටිකක්
  8. ඉඟුරු කෑල්ලක්
  9. අමුමිරිස් කරල් 2
  10. අබ තේ හැඳි 2
  11. දෙහියුෂ ස්වල්පයක්
  12. කරදමුංගු ඇට 2
  13. කරාබුනැටි 2
  14. සූදුරු ස්වල්පයක්
  15. කුරුඳුපොතු කෑල්ලක්
  16. කොත්තමල්ලි පින්ච් එකක්
  17. මිරිස්කුඩු තේ හැඳි 2
  18. ගරම් මසාලා තේ හැඳි 1
  19. අමු තුනපහකුඩු තේ හැඳි 1
  20. කහකුඩු තේ හැඳි 1/4
  21. ලුණු

 

  • මුලින්ම චිකන් වලට මිරිස්කුඩු, තුනපහකුඩු, කහකුඩු, ගරම් මසාලා කුඩු, දෙහි යුෂ හා ගම්මිරිස්කුඩු එකතු කරලා හො​ඳට අතගාගන්න. මැරිනේට් වෙන්න පැය 2ක් තියන්න.
  • පොල් වලට අමුමිරිස්, අබ, සුදුළූණු හා ඉඟුරු එකතු කරලා හො​ඳට අඹරගන්න.
  • භාජනයක් ලිපේ තියලා තෙල් රත්වෙනකොට චොප්කරගත් ළූණු ටික හා සේර කෑල්ල දාගන්න. කරපිංචාත් එක්කරන්න. ළූණු රන්වන්පාට වෙනකොට කරදමුංගු, කරාබුනැටි, කොත්තමල්ලි, සූදුරු, කුරුඳු එක්ක අඹරාගත් පොල්‍ ටික එකතු කරන්න. 
  • මේ ටික තෙම්පරාදු කරන ගමන් චිකන් ටික එකතු කරන්න. ඊලඟට තක්කාලි ටිකත් එකතු කරලා වතුර කෝප්ප​යක් වගේ දාලා හො​ඳට කලවම් කරලා වහලා කුක් කරගන්න.
  • ගින්දර අඩු කරලා, චිකන් ටික තැම්බිලා ග්‍රේවි ගතියට එනකල් ඉ​ඳලා ලිප ඕෆ් කරගන්න.

 

5. කේර​ළ ෆිශ් කරි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කැමති මාළු වර්ගයකින් ග්‍රෑම් 500ක්
  2. රතුළූණු ගෙඩි 10
  3. සුදුළූණු බික් 3
  4. ඉඟුරු කෑල්ලක්
  5. අමුමිරිස් කරල් 2
  6. කරපිංචා ටිකක්
  7. කහකුඩු තේ හැඳි 1
  8. මිරිස්කුඩු මේස හැඳි 1
  9. කොත්තමල්ලි කුඩු මේස හැඳි 1
  10. කපාගත්  තක්කාලි ගෙඩි 1
  11. දියකිරි කෝප්ප  2
  12. ගොරකා ටිකක් දියකරගත් වතුර කෝප්ප  1/2
  13. මිටිකිරි කෝප්ප  ¾

 

තෙම්පරාදුව සඳහා

 

  1. උලුහාල් තේ හැඳි 1
  2. සූදුරු තේ හැඳි 1/2
  3. අබ තේ හැඳි 1
  4. කපාගත් රතුළූණු ගෙඩි 1
  5. කරපිංචා කිහිපයක්

 

  • රතුළූණු, සුදුළූණු හා ඉඟුරු හො​ඳට ග්‍රයින්ඩ් කරගන්න. පෑන් එක ලිපේ තියලා තෙල් ටිකක් දාලා ග්‍රයින්ඩ් කරගත් පේස්ට් එක එකතු කරන්න.
  • අමුමිරිස් හා කරපිංචා ටිකත් එකතු කරගෙන මේ ටික හො​ඳට තෙම්පරාදු කරලා කහකුඩු හා මිරිස්කුඩු ටික එකතු කරන් කොත්තමල්ලි කුඩු ටිකත් දාගන්න.
  • දැන් තක්කාලි ටික එකතු කරගෙන තක්කාලි ටික හොඳට චොප් වෙනකල් හැඳිගාන්න. ඉන් පස්සේ  දියකිරි කෝප්ප 2 එකතු කරගන්න. ඊලඟට ගොරකා දියකරගත් වතුර කෑලිත් සමඟ​ම දාගෙන රස අනුව ලුණු දාගන්න.
  • හොද්ද උතුරනකල් වහලා තියලා ටිකකින් මාළු ටික එකතු කරගන්න. මාළු හො​ඳට තැම්බෙනකල් විනාඩි 15ක් පමණ මදගින්නේ පිසගන්න. 
  • මේකට ගම්මිරිස්කුඩු එකතු කරගෙන, මිටිකිරි ටිකත් එකතු කරලා නටවලා ලිපෙන් බාගන්න.
  • වෙනම භාජනයකට තෙල් ටිකක් දාලා, අබ, උලුහාල්, සූදුරු දාලා බැදෙනකොට කපාගත් රතුළූණු ගෙඩියක් හා කරපිංචා දාලා හො​ඳට තෙම්පරාදු කරගෙ​න ෆිශ් කරි එකට එකතු කරගන්න.

 

6. කේර​ළ ආප්ප

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පැය 2ක් විතර පොඟවාගත් හාල් කෝප්ප  2
  2. ගාගත් පොල් කෝප්ප 1
  3. ඊස්ට් තේ හැඳි 1
  4. සීනි මේස හැඳි 1
  5. ලුණු
  6. මද රස්නෙ වතුර ටිකක්

 

  • හාල්, පොල්, ලුණු ස​හ සීනි වලින් චුට්ටක් එක්ක වතුර කෝප්ප 1/2ක් වගේ දාලා බ්ලෙන්ඩ් කරගන්න.
  • ඊස්ට් වලට ඉතිරි සීනි හා මද රස්නෙ වතුර දාලා ඊස්ට් ටික ඇක්ටිව් කරගන්න. 
  • බ්ලෙන්ඩ් කරගත් බැටර් එකට ඊස්ට් එකතු කරලා හො​ඳට කලවම් කරගෙන අවම පැය 5ක්වත් පිපෙන්න තියන්න.
  • බැටර් එක උකු වැඩි නම් වතුර චුට්ටක් එකතු කරලා කලවම් කරලා, ආප්ප තාච්චියේ හදාගන්න.

 

7. කේර​ළ කඩල කරි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රැයක් පෙඟෙන්න දාගත් කඩල කෝප්ප  1
  2. ලුණු
  3. මසාලා පේස්ට් එකට
  4. පොල්තෙල් මේස හැඳි 1
  5. කුරුදුපොතු කෑල්ලක්
  6. කරදමුංගු 2
  7. කරාබුනැටි 3
  8. සූදුරු තේ හැඳි 1
  9. චොප්කරගත් ළූණු ගෙඩි1/2
  10. සුදුළූණු බික් 2
  11. ඉඟුරු පෙති 3
  12. චොප්කරගත් තක්කාලි ගෙඩි 1
  13. ගාගත් පොල් කෝප්ප  1/2
  14. කරපිංචා කො​ළ ටිකක්
  15. කහකුඩු තේ හැඳි 1/4
  16. මිරිස්කුඩු තේ හැඳි1/2
  17. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
  18. ගරම් මසාලා තේ හැඳි ½

 

තෙම්පරාදු​ව සඳහා

 

  1. අබ තේ හැඳි 1
  2. වියලි මිරිස් කරල් 2
  3. කරපිංචා ටිකක්
  4. කපාගත් ළූණු ගෙඩි  1
  5. අමුමිරිස් කරල් 2

 

  • කඩල වලට වතුර කෝප්ප 4ක් දාලා ප්‍රෙශර් කුකර් එකේ තම්බගන්න. විස්ල් 7ක් වගේ සෑහේ.
  • දැන් පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට කුරුඳුපොතු කෑල්ලක්, කරදමුංගු ඇට 2ක්, කරාබුනැටි හා සූදුරු දාගන්න.
  • ලිප අඩු ගින්දරේ තබාගෙන, ටිකකින් ළූණු ටික එකතු කරන්න. කලවම් කරන ගමන් සුදුළූණු හා ඉඟුරු ටික දාගන්න.
  • රන්වන් පාටට බැදෙනකොට චොප්කරගත් තක්කාලි ටික දාගෙන හො​ඳට කලවම් කරලා පොල් ටික සහ කරපිංචා ටිකත් දාගන්න. පොල් ටික හො​ඳට තෙම්පරාදු උනාම කහ, මිරිස්කුඩු, කොත්තමල්ලි කුඩු හා ගරම් මසාලා දාගන්න.
  • අඩු ගින්දරේ හො​ඳට කලවම් කරලා, මේ ටික නිවෙන්න තියලා වතුර කෝප්ප 1/2ක් එක්ක ග්‍රයින්ඩ් කරගන්න.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටිකක් දාලා පූරවගන්න. ඒකට වියළි මිරිස් කරල් 2ක් කඩලා දාගෙන, ඊලඟට කරපිංචා ටික දාගන්න. 
  • ටිකකින් ළූණු හා අමුමිරිස් ටික දාගන්න.හො​ඳට තෙම්පරාදු කරලා, හදාගත්තු මසාලා පේස්ට් එක එකතු කරන්න.
  • දැන් තම්බාගත් කඩල ටික පෙරලා එකතු කරලා වෙනම වතුර කෝප්ප 1/2ක් වගේ එකතු කරන්න. රස අනුව ලුණු දාගන්න. විනාඩි 15ක් විතර හො​ඳට නටනකල් ඉ​ඳලා ලිප ඕෆ් කරගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *