නියම මධුලෝලියෙක් දැනගෙන ඉන්නම ඕන, ඒ ඒ සුරාපානෙට ගැලපෙන ඒ ඒ වීදුරු වර්ග!

දැන් ඔය බොනවා කියන සබ්ජෙක්ට් එක සමහරුන්ට වහකදුරු. හැබැයි සමහරුන්ට නම් අමෘතේ වගේ තමයි. හැබැයි අපි මේ කතා කරන්නේ ඕන අහුමුල්ලක ඉඳන්, පුක් වෙන්න මත් වෙනවා නං බැට්‍රි කූරත් දිවේ තියාගන්න, වැටෙන්න වදිනවා නං ඕන කම්බිකටු කසිප්පුවක් කටේ හලාගන්න උන්දැලට නෙවෙයි. හිතලා මතලා ප්‍රමාණෙට බොන, රහමෙර කියන එක ආට් එකක් විදියට පාවිච්චි කරන නියම මධුලෝලීන්ට තමයි මෙතනින් එහාට ආටිකල් එක. 

 

අන්න වචනේ. මධුලෝලීන්! ඉතින් මධුලෝලීන් දන්නවා වෙන කරන්නම දෙයක් නැති නම් අඬු කෝප්පෙන් වුනත්, ප්ලාස්ටික් කෝප්පෙන් වුනත් අරක්කු උගුරක්, විස්කි උගුරක් දාගත්තට, ඇත්තටම බීමේ හරිම ආතල් එක විඳින්න නම් ඔය හරියනම සැන්ඩි, හරියනම බයිට්, හරියනම අනුපානේ වගේම හරියනම වීදුරුවත් තියෙන්න ඕන කියන එක. දැන් අසෝක වීදුරුවකත් රා බොන්න පුළුවන්. හැබැයි රා බොන එකේ ආතල් එක තියෙන්නේ පොල් කට්ට ඔප මට්ටම් කරලා ගන්න රා කට්ටෙන්ම රා බිව්වොත්නේ. 

 

ඉතින් අපි මේ සූදානම් වෙන්නේ, ඔන්න ඔය විදියට රටේ ලෝකේ ඒ ඒ මධුපානයන් වලට පාවිච්චි වෙන ඒ ඒ වීදුරු වර්ග ගැන පොඩි හැඳින්වීමක් ලබාදෙන්න තමයි.

 

1. වයින්

වයින් ග්ලාස් තෝරාගැනීම කියන්නේම වෙනම කලාවක්. මොකද කිවුවොත් එක එක වයින් වර්ග වලට එක එක විදියේ වීදුරු තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් රතු වයින් විතරක් ගත්තත් බර්ගන්ඩි වලට එක වීදුරු වර්ගයක්, බෝර්ඩෝ වලට එක වීදුරු වර්ගයක්. හැබැයි ඉතින් හදිසියකට ඔය එක එක වීදුරු හොය හොයා ඉන්න බැහැනේ. ඒ නිසා සම්මත වයින් ග්ලාස් සෙට් එකක් ගෙදර තිබ්බහම ඇති. කොන්දේසිය මේකයි. අතේ රස්නේ වයින් වලට දැනෙන්නේ නැති විදියේ නාරටියක් සහිත, බොකුටු සහ ඇතුළත ඉඩ කඩ තියෙන වීදුරුවක් තිබුණහම ඇති.

 

2. ෂැම්පේන්

සමහරු ෂැම්පේන් කියන්නෙත් ප්‍රංස ස්පාක්ලින් වයින් නොවේද කියලා හිතලා වයින් බොන සාමාන්‍ය වීදුරුම ෂැම්පේන් බොන්නත් පාවිච්චි කරන්න හදනවා. හැබැයි ඒක වැරදියි. ෂැම්පේන් බොන්න හරියන්නේ ඔය ෂැම්පේන් ටියුලිප් කියන වීදුරු වර්ගය නැතිනම් ෂැම්පේන් ෆ්ලූට් කියන වීදුරු වර්ගය තමයි. මේ දෙකේ හැඩයන් වෙනස්,. හැබැයි මේ දෙකේම තියෙන සමානකම තමයි, සිහින් නටුවකින් සහ සිහින්, උස් බඳකින් යුක්ත වීම. විශේෂයෙන්ම මේ විදියේ සිහින් වීදුරුවක් ෂැම්පේන් වලට යොදාගන්නේ ෂැම්පේන් වල තියෙන බුබුළු සහ ආමෝදය හොඳින් ගොඩනැගෙන්නත්, රසවිඳින්නත් පුළුවන් වෙන්නේ ඒ ආකාරයේ හැඩයක වීදුරුවකින් නිසා තමයි. සාමාන්‍යයෙන් ෂැම්පේන් දාන්න කලින් වීදුරුව උණු වතුරින් හෝදලා හොඳින් වේලෙන්න දෙන්න කියලා තමයි කියන්නේ.

 

3. විස්කි

විස්කි වලට සාමාන්‍යයෙන් හැමෝම ගන්නේ අර රොක් ග්ලාස් නැතිනම් පරණ තාලේ ග්ලාස් කියන කොට, මහත, ඝනකම, අඩිය තවත් ඝනකමට තියෙන ටම්බ්ලර් ග්ලාස් එකනේ. සාමාන්‍යයෙන් අයිස් කැට දෙකක් දාලා ඩ්‍රෑම් එකක් හරි ඩබල් ඩ්‍රෑම් එකක් හරි දැම්මහම ගාණට විස්කි ටික සීතල වෙන්න මේ වීදුරුව මරු. ඒ වගේම විස්කි එකේ සුවඳ එහෙම හරි විදියට විඳින්නත් ටම්බ්ලර් එකක් ගැලපෙනවා. හැබැයි ඔය සිංගල් මෝල්ට් විස්කි වල සුවඳ එහෙම වඩාත් හොඳට බලලා රස විඳින්න පුළුවන් කියලා විස්කි එක්ස්පර්ට්ලා හඳුන්වලා දෙන්නේ ග්ලෙන්කර්න් කියන වීදුරුව. ඒ ඇරෙන්න ස්නිෆර් කියලා හඳුන්වන කොන්‍යැක් වලට, බ්‍රැන්ඩි වලට හදපු වීදුරුත් අවුලක් නෑ. ඒ වගේම ඩොක් ග්ලාස් කියලා හඳුන්වන තඩි ටියුලිප් හැඩයක් සහ කොට නටුවක් තියෙන වීදුරුවකුත් ඔය ක්ලබ් වල එහෙම භාවිතා වෙනවා. හැබැයි ඉතින් අපි වගේ පරණ තාලේ අයියලට අල්ලලා යන්නේ රොක් ග්ලාස් එක තමා.

 

4. අරක්කු

සාමාන්‍යයෙන් අරක්කු කියන්නේ දේශීය නිෂ්පාදනයක් වුනත්, නිකම්ම අහුවෙන වීදුරුවක අරක්කු ගහන එක හරියන්නෙ නෑ. අරක්කු වලටත් රොක් ග්ලාස් එක හොඳයි, නීට් හරි අයිස් දාලා හරි නම් බොන්නේ. හැබැයි සැන්ඩි හොඳට දාලා අරක්කු බොනවා නම් ඊට වඩා ටිකක් ලොකු වීදුරුවක් අවශ්‍ය වෙනවා. හැබැයි මේ කියන්නේ අර කොක්ටේල් වලට ගන්න ජාතියේ හීනි හයිබෝල් ග්ලාස් නෙවෙයි. සාමාන්‍යයෙන් ලොකු, උස වීදුරුවක්. එහෙම වෙලාවකට රොක් ග්ලාස් එක තරම් ඝනකම අඩියක් තියෙන වීදුරුවක් අනිවාර්ය නැහැ. මොකුත්ම නැති නම් අසෝක වීදුරුව වුනත් කමක් නෑ.

 

5. බ්‍රැන්ඩි

බ්‍රැන්ඩි වලට  බොන එක්ස්පර්ට් කෙනෙක් ගන්නේ ස්නිෆර් ග්ලාස් කියන වීදුරු වර්ගය තමයි පතුල සෑහෙන්න ලොකුවට, ඇතුළ සෑහෙන ඉඩ තියෙන විදියට හදලා තියෙන ස්නිෆර් ග්ලාස් එකක අල්ලගන්න ස්ටෙම් එකක් තියෙනවා. හැබැයි ස්නිෆර් ග්ලාස් එක අල්ලන්න ඕන ස්ටෙම් එකට උඩින්, ග්ලාස් එකේ බඳේ යට කොටස අත්ලෙන් කවර් වෙන විදියට. දැන් ස්නිෆර් ග්ලාස් එකට සෑහෙන්න බ්‍රැන්ඩි ප්‍රමාණයක් ඇල්ලුවත්, හරියට බ්‍රැන්ඩි බොන්න දන්න මනුස්සයෙක් ග්ලාස් එක පිරෙන්න වක්කරගන්නෙ නෑ. හරිනම් දාන්නේ අර මහත කොටසේ බාගයක් විතර වෙන්න තමයි. ඒකට හේතුව බ්‍රැන්ඩි වලට පොඩ්ඩක් හුස්ම ගන්න ඉඩ දෙන්න ඕන නිසා. ඒ කියන්නේ එහෙම දැම්මහම තමයි බ්‍රැන්ඩි එකේ සුවඳ සහ රස හරියටම විඳින්න පුළුවන් වෙන්නේ. එතකොට අර උඩින් අල්ලගන්න කියන්නේ බ්‍රැන්ඩි වල නියම සුවඳ එන්නේ චුට්ටක් රත් වෙනකොට නිසා. ඉතින් සීතල රටක එහෙම බ්‍රැන්ඩි ෂොට් එකක් ගන්නකොට අතේ රස්නේ ග්ලාස් එකට දැනෙන්න තමයි එහෙම අල්ලගන්නේ. ඒ ඇරෙන්න හරියටම නම් බ්‍රැන්ඩි වක්කරන්න කලින් ස්නිෆර් ග්ලාස් එක ගේන්නේ උණුවතුරෙන් පොඩ්ඩක් රත් කරලා.

 

6. ෂොට්ස්

ෂොට් ග්ලාස් කියන්නේ ගොඩක් වෙලාවට ඔය කේක් එහෙම හදන්න දන්න අම්මලා ඉන්න ගෙවල් වල එහෙම අනිවාර්යයෙන්ම හොයාගන්න පුළුවන් පුංචි පහේ වීදුරු ජාතියක්. එතකොට ඇයි මෙච්චර පුංචි වීදුරු? සරලයි. ෂොට් ග්ලාස් එකකින් කරන්නේ ඒකට දාන මත්පැන් වර්ගයක් තොලගාමින් ඉන්න එක නෙවෙයි. එක පාරින් ගහලා දාන්න ගන්න එව්වා තමයි ෂොට් ග්ලාස් එකට දාන්නේ. මේවලට කියන තව නමක් තමයි ෂූටර්ස් නැතිනම් ෂූටර් ග්ලාසස්. ඒ කියන්නේ ඔය ටිකීලා වගේ බීමක් දාලා, ග්ලාස් එකේ කට වටේ ලුණු ටිකක් තවරලා, සුටුස් ගාලා උගුරටම ෂූට් කරන්න තමයි මේ ග්ලාස් එක තියෙන්නේ. හැබැයි ඉතින් මේ ෂොට් ග්ලාස් වලත් එක එක වර්ග තියෙනවා.

 

7. බියර්

බියර් බොන අය සාමාන්‍යයෙන් ටින් එකෙන් තමයි බොන්නේ නේද? සමහරු නම් ගැම්ම පෙන්නන්න බෝතලේ කඩලා කටේ තියාගෙනත් ගහනවා. හැබැයි හරි ක්‍රමේ ඕකමයි කියන්න බෑ. හරියට බියර් බොන හාදයෙක් ටින් එකෙන් බියර් ගාණට මග් එකට හරි පයින්ට් ග්ලාස් එකට හරි දාගෙන තමයි බොන්නේ. ඇත්තටම වයින් වලට වගේම බියර් වලටත් තියෙනවා එක එක වර්ගේ ග්ලාසස්. කොහොමත් බහුලව දකින්න ලැබෙන්නේ එක්කෝ පයින්ට් ග්ලාස් එක, නැතිනම් බියර් මග් එක තමයි. ඊට පස්සේ තියෙනවා උස, හීනි පිල්ස්නර් ග්ලාස් එක. ඇත්තටම බියර් බෝතලේ කඩලා හරි බියර් ජග්ගුවකින් හරි පිල්ස්නර් ග්ලාස් එකට පෙණ ටිකත් උඩින් ඉතුරු වෙන්න වක්කරගන්න එක ආට් එකක්. සමහරු ගොබ්ලට් නැතිනම් චැලිස් කියන අර ලොකු, පහළට හීනි වෙලා කොට නටුවකුයි පාදමකුයි තියෙන වීදුරු වලිනුත් බියර් බොනවා. ඒකත් අවුලක් නෑ. ඕන නම් පිල්ස්නර් වගේම හැබැයි ඊට වඩා අපූරු හැඩේකට තියෙන වයිසන් ග්ලාස් එකත් අවුලක් නෑ. අපි දන්න සමහරුන්ට නම් කෙලින්ම පිචර් එකෙන් බියර් බොන්නත් අවුලක්ම නෑ!

 

දැන් කොක්ටේල් වලට තියෙන ග්ලාස් වර්ග ගැන ඇත්තටම වෙනමම කතා කරන්න වෙනවා. මොකද එක එක කොක්ටේල් වර්ග වලට එක එක ග්ලාස් වර්ග තියෙන නිසා. සමහර කොක්ටේල් වලට ඔය උඩ කියලා තියෙන වීදුරු පාවිච්චි වෙන අතරේ, තවත් සමහර කොක්ටේල් වලට වෙනස්ම විදියේ වීදුරු පාවිච්චි වෙන වෙලාවක් තියෙනවා.

  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *