දැන් අපි හැමෝම ඔය සෝෂල් මීඩියා වල, ඒ කිව්වේ ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් වගේ සමාජ මාධ්‍ය ජාල වල දෛනිකව සැරිසරනවනේ. එතකොට සමහරු කරන්නේ තියෙන දේවල් බලලා ෂේප් එකේ මාරු වෙන එක වුනාට, ගොඩක් දෙනෙක් දිනපතාම තමන්ගේ වෝල් වල, ටයිම් ලයින් වල එක එක එව්වා ෂෙයාර් කරනවා. සමහරු කෙලින්ම තමන්ගේ අදහස් ලියනවා, ෆොටෝස් දානවා, කවි කෙටිකතා සිලෝ ලියනවා. තවත් සමහරු ඊට අමතරව වෙනත් අයගේ අදහස්, ෆොටෝස් ෂෙයාර් කරනවා. මීම්ස් ෂෙයාර් කරනවා. එතකොට වෙනත් අයගේ ස්ටේටස් අප්ඩේට් වලට, ලියපු අදහස් වලට, ෆොටෝ වලට, මීම් වලට කමෙන්ට් කරනවා. කමෙන්ට් එක්ක සංවාද කරනවා, බැණ අඬ ගහ ගන්නවා, මරා ගන්නවා. හැබැයි ඔය කෝක කළත්, ෆේස්බුක් ඇතුළු සෝෂල් මීඩියා වල ඔලමොට්ටලයෙක්, ගොන් නාම්බෙක් වගේ පේන්නේ නැති වෙන්න හැසිරෙන එක වැදගත්. ආන්න ඒකට වැදගත් වෙන උපදෙස් කීපයක් තමයි මේ.
1. හොයන්නෙ බලන්නෙ නැතුව කරන ෂෙයාර්!
මේක සෑහෙන්න වෙන දෙයක්. දැන් ඔන්න කවුරුහරි ෆොටෝ එකක් ෂෙයාර් කරනවා “මෙන්න බලන්න යහලුවනේ අපේ ගමට ආපු ඒලියන් යානය” කියලා. එඩිට් එකක් කියලා දැක්ක ගමන් පේනවා. ඒත් කට්ටිය ඔන්න බුදු අම්මප්පච්චියේ කියලා ඕක ෂෙයාර් කරනවා. තව එකෙක් දානවා ෆොටෝ එකක්, “චෛත්‍ය රාජයාගෙන් බුදු රැස් විහිදෙයි, බුදුගුණ අනන්තයි” කියලා. ෆොටෝ එක එඩිට් කරලා චෛත්‍යයට පිටුපස්සෙන් දේදුන්නක් සෙට් කරලා. අනේ ඉතින් හැමෝම සාදු සාදු කිය කියා ෂෙයාර් කරනවා. තව එකෙක් ඇවිත් වෙන රටක තියෙන නාග ප්‍රතිමාවක ෆොටෝ එකක් ෂෙයාර් කරනවා “මිය ගිය නාග රාජයා, මේකට කමෙන්ට් කළොත් සුභාරංචියක් නිසැකයි” කියලා. කට්ටිය “නාගීනා නමං” කිය කියා හිටු ගෑවිල්ලේ කමෙන්ට් කරනවා, ෂෙයාර් කරනවා. අන්න එහෙම ගොන් පැරඩි වලට අහුවෙන්න එපා යාලුවනේ. ඔයාලත් ගොන්නු වගේ තමයි පේන්නේ එතකොට.
2. අපිත් ඔව්වා දන්නවා හරියේ!
දැන් ඔය ෆේස්බුක් එකේ වගේම ට්විටර් එකේ එහෙමත් දකින්න පුළුවන් සියල්ල දත් ලා. ආයෙ කොවිඩ්-19 ගැන කතා කරන තැනටත් හොට දානවා. ග්‍රහ තාරකා ගැන කතා කරන තැනටත් හොට දානවා. ගෝලීය උෂ්ණත්වය ගැන කතා කරන තැනටත් හොට දානවා. බුදු දහම ගැන කතා කරන තැනටත් හොට දානවා. ජපන් සාහිත්‍ය ශෛලීන් ගැන කතා කරන තැනටත් හොට දානවා. හැබැයි හොට දැම්මට වැඩකට ඇති දෙයක් කියලත් නෑ. මොකද, වැඩකට ඇති දෙයක් කියන්න දන්නෙත් නෑ. හැබැයි ඉතින් ඔය වගේ ඈයෝ දිහා බලාගෙන ඉන්න අයට තේරෙනවා මුන්දැලා කිසිම දෙයක් ගැන ප්‍රාමාණීක දැනුමක් තියා ගෑවුණු දැනුමක්වත් ඇතිව නෙවෙයි කතා කරන්නේ කියලා. මේ ජාතියේ එව්වෝ නං හොඳයි නගුලට බඳින්න!
3. මේ සංඛ්‍යාලේඛනේ හැටියට මේමයි වෙන්ඩෝනේ!
මෙන්න මේ කට්ටිය උඩ කියපු අයට වඩා ස්ටෑන්ඩැර්ඩ් එක උසස් සෙට් එකක්. මුන්දැලාටත් ගොඩක් වෙලාවට යම් දෙයක් ගැන නිශ්චිතව අදහස් ප්‍රකාශ කරන්න, තර්කයක් ගොඩ නගන්න, සංවාදයක් කරන්න තරමට ඒ විෂය ගැන ප්‍රාමාණික ඥාණයක් නෑ. හැබැයි ඉතින් පොඩ්ඩක් අවුස්සගෙන බලන්න ඕන. කෙලින්ම සංඛ්‍යාලේඛන උස්සගෙන එන්නේ. හැබැයි ගොඩක් අය මේ ගොල්ලෝ සංඛ්‍යාලේඛන, වගු ප්‍රස්තාර දෙක තුනක් දාපු ගමන් සරෙන්ඩර් වෙලා යනවා. හැබැයි කතා කරන්නේ මොනව ගැනද කියලා අතැඹුලක් සේ දන්න උදවිය බලනවා, කොරෝනා ව්‍යාප්තිය ගැන කතා කරන්න මේ යකා ඇමසන් වනාන්තරේ වාර්ෂික වර්ෂාපතනය පෙන්නන වගුවක් මොකටද උස්සගෙන ඇවිත් තියෙන්නේ කියලා.
4. අපේ පොලිටික්කා කෝක කිව්වත් අපිට හොඳා!
මේ තමයි ඔය එක එක දේශපාලන පක්ෂ වල පොලිටික්කන්ගේ කරත්ත වලට බඳින්න හරියන එවුන්. මෙයින් සමහරු කඩේ යන්නේ මොකක් හරි දේශපාලන පක්ෂෙකට. තවත් අය දේශපාලන පක්ෂෙක නිශ්චිත දේශපාලකයෙක්ට තමයි කඩේ යන්නේ. ඔය කෝක වුනත් මේ විදියේ උන්දැලගේ පොදු ලක්ෂණේ සරලයි. තමන්ගේ පක්ෂේ ලොක්කෝ නැතිනම් තමන්ගේ ලොක්කා මොනව කිව්වත්, මොනවා කරත් හරි. ඒක ආයෙ ඉර හඳ වගේ තමයි. ඒ වගේමයි අනික් පැත්තට තමන්ට විරුද්ධ පක්ෂෙක මනුස්සයෙක් මොන හරිදේ කිව්වත් වැරදියි. මෙහෙම උන්දැලට හරි වැරදි දේ වගේ වචන වල තේරුමක් නෑ. මුන්දැලා තමයි ඔරිමජිනල් වහල්ලු.
5. මේක මෙහෙමයි කියන්නේ ඇයි දැන් අරක අමතක වෙලාද?
මේත් එහෙම එක්තරා විදියක වහල්ලු පිරිසක් තමයි. මුන්දැලා ඉන්න තැනක මොකක් හරි දෙයක් ගැන කරුණු සාධක සහිත තොරතුරක් ප්‍රකාශ කළොත්, ඒ තොරතුරට ගහන්න බැරි තරමට ඒක සාක්ෂි සාධක සහිත කොන්ක්‍රීට් කරුණක් නම්, මේ විදියේ වහල්ලු අහන්නේ “දැන් ඔයාලා මේ ගැන කතා කරන්නේ, ඔයාලා අරක ගැන කතා කරලා තියෙනවද?” කියලා තමයි. ඉස්ලාමයේ වැරැද්දක් පෙන්නලා දුන්නොත් මෙවුන්දලා සරං උස්සගෙන ඇවිත් අහනවා, ඇයි ඔයාලට ක්‍රිස්තියානිකාරයොන්ගෙ අර වැරැද්ද පේන්නෙ නැද්ද කියලා. බුද්ධාගමේ වැරැද්දක් පෙන්නුවොත් චීත්ත ගලවං ඇවිත් අහනවා ඇයි තොපිට අර හින්දු එවුන්ගේ අරක පේන්නේ නැද්ද කියලා. ලංකාවේ ගින්නක් ගැන කතා කළොත් අහනවා ඇයි තොපිට ඔස්ට්‍රේලියාවේ ලැව් ගින්න පෙනුනෙ නැද්ද කියලා. මෙහෙම උන්දැලාවත් හදන්න බෑ.
6. මම කැලිෆෝනියා වල ඉන්න කාලේ…
මේ ඉන්නේ මෝඩ පම්පෝරි කාරයෝ. එක පාරක් කැම්පස් එකේ ඉන්නකොට ඔන්න දවස් පහක සමුළුවකට යනවා ඇමරිකාවට. ඒ කියන්නේ දැන් අවුරුදු පහළොවකට විතර ඉස්සර. හැබැයි තාමත් ෆේස්බුක් එකේ පෝස්ට් එකකට කමෙන්ට් කරන්න පටන් ගන්නෙම “මම ඇමරිකාවල ඉන්නකොට මම දැක්කේ මෙන්න මෙහෙම එකක්, ඒ වගේ ඒවා මෙහේ නැති එක තමයි මේ ප්‍රශ්නෙට ප්‍රධාන හේතුව” කියලා. එහෙම නැතිනම් තව සමහරු ඉන්නවා තමන් සංචාරය කරපු රටවල් බදු අරගෙන. ඒ රටවල් නියෝජනය කරන්න ඇවිත් ඉන්න තානාපතිලටවත් නෑ එහෙම රුදාවක්. ආයෙ කවුරුහරි ෆේස්බුක් එකේ හරි ට්විටර් එකේ හරි ඉන්ස්ටග්‍රෑම් එකේ හරි මේ උන්දැලා ගියපු රටක මොකක් හරි ලස්සන ෆොටෝ එකක් ෂෙයාර් කරන්නත්, ඊට කලින් බුලත් අතක් අරං ගිහින් අවසර ගන්ඩෝනෑ.
7. ඒකට නං චූ පොඩ්ඩකුත් ගියා!
මේ ඉන්නේ සෝෂල් මීඩියා චරිත වන්දනාවේ යෙදෙන මෝඩ කණු. එහෙම චරිතයක් ගිහින් “මගෙ කක්කි කහ පාටයි” කියලා ස්ටේටස් එකක් දැම්මත්, “බුදු අම්මෝ හිනා වෙලා බඩත් කොරවුනා”, “ඒකට නං චූ පොඩ්ඩකුත් ගියා”, “බොස් බණිනවා මොකද හිනාවෙන්නෙ කියලා”, “මං හිනාව හිරවෙලා මළොත් අයියා වග කියන්න ඕනෑ”, “බඩවැලුත් ඇඹරුනා ඒකට” වගේ පුදුමාකාරයේ කමෙන්ට්ස් දාන්නේ. හැබැයි ඉතින් බලාගෙන ඉන්න මිනිස්සුන්ට පේනවා මුන් මෝඩ ගස් විතරයි කියලා.
8. මොන සාකැසම්ද ඩෝ!
දැන් ඔය සෝෂල් මීඩියා වල සමහරු ඉන්නවා පැරඩි කරන. එහෙම නැතිනම් සාර්කැසම්, ඒ කිව්වෙ සෝපාහාසයෙන් දේවල් කියන උදවිය. ඒකේ අවුලක් නෑ. හැබැයි සෝෂල් මීඩියා වල තව කොටසක් ඉන්නවා, උන්ට සාර්කැසම් තේරෙන්නෙ නෑ. කොටල පෙව්වත් වැඩක් නෑ. ඉතින් අර සෝපාහාසයෙන් කමෙන්ට් එකක් දාන එකාට එක්කෝ ගිහින් බණිනවා, එහෙම නැතිනම් ඒක සිරා අරගෙන තව බූරු කමෙන්ට් එකක් දානවා.
හැබැයි මෙතන තව බූරු වහන්සේලා කොටසකුත් ඉන්නවා නොදන්න සාර්කැසම් කරන්න ගිහින් වරිගේ නහගන්න. උන්දැලා කරන්නේ සෝපාහාසයෙන් දේවල් කීම කියලා තේරෙන්නේ උන්ටම විතරයි. ඉතින් එහෙම උන්දැලා බැණුම් අහගන්න එව්වට නං කියන්න වෙන්නේ ඉල්ලගෙන කනවා කියලා තමයි.
9. අනේ උඹේ…!
ඇත්තටම මේ නම් ඉන්නේ ෆේස්බුක්, ඉන්ස්ටා, ට්විටර්, යූටියුබ් වල ඉන්න බොහොම සුලභ, බොහොම සරල මැටි මෝල්ලු ජාතියක්. මෙවුන්දලට හරියට පිළිවෙලකට අදහසක් ප්‍රකාශ කරන්න බෑ. තර්කයක් තියා ශිෂ්ට සම්පන්න සංවාදයක්වත් ගෙනියන්න බෑ. තමන් දරණ මතයට පටහැණියි වගේ පේන අදහසක් දැක්ක ගමන් “අනේ උඹේ අම්මිලැත්තන්ට තව දරුවෝ වදන්න” කියලා හරුපෙන්ම තමයි පටන් ගන්නේ. ඇත්තටම මේ ජාතියේ උන්දැලා හරුප ඇරෙන්න වෙන දෙයක් දන්නෙත් නෑ.
Leave a Reply