කොවිඩ්-19 නිසා ලෝකයේ අනතුරට පත්වෙන ක්ෂේත්‍රවලින් මූලිකම එකක් තමයි සංචාරක ක්ෂේත්‍රය. එක් පසෙකින් සංචාරක කලාපවලට කොවිඩ්-19 ආශීර්වාදයක් වෙලා තියෙනවා. සංචාරක කලාප වල ඉන්න ඒ කර්මාන්තයෙන් යැපෙන්නේ නැති සාමාන්‍ය ජනතාවට මීට අවරුදු 10-20කට කලින් ඒ පළාතේ තිබුන පරණ ස්වභාවය දැන් ටික ටික ආයේ බලාගන්න පුළුවන් වෙලා. ඒ සංචාරක කලාප ආශ්‍රිතව තිබුන ස්වභාවික පරිසරයත් දැන් ටිකෙන් ටික හැදිලා එනවා. වැඩිය ඕනි නැහැ. මේ කෝවිඩ්-19 විපතට පෙර අධික දුඹුරු පාට පස් පෙනුන ගෝල්ෆේස් පිට්ටනිය පවා දැන් වෙද්දි කොළපාට වෙලා තණකොළ ඇවිත් ලියලලා ඇවිත්. ඉතින් මේ අධික සංචාරකයින් පැමිණීම නිසා පරිසරයට හානි වෙනවා. ඒ වගේම තැන් බලන්නට යන අපිටත් ඒ තැන්වල අත්දැකීම් ලබාගන්න අපහසු වෙනවා. ඒක මග අරින්නේ කොහොමද කියලා ටිකක් ඒ ගැන හිතලා බලමු.
1. බකට් ලිස්ට් එක ගැන නැවත හිතමු
අන්තර්ජාලය හරහා ලොවම එකට සම්බන්ධ වීම තුළ දුර ඈත තියෙන සංචාරක ස්ථාන තවත් හැඩවෙලා අපේ ඇස් ඉස්සරහ බලන්න පුළුවන් වුනා. අපේ යාලුවෝ ඒ තැන්වලට ගිහින් පොටෝ ගහලා, ලයිට්රූම් වලින් පොටෝ ලස්සන කරලා අපිට පේන්න ෆේස්බුක් වල දාන්න ගත්තා. ඒ වගේම ඒ තැන් ගැන කියවෙන ආටිකල්, වීඩියෝ ආදිය අපිට නිතර මුණගැහෙන්න ගත්තා. ඒ එක්ක අපේ බකට් ලැයිස්තුවට ඒ තැන් එකතු වුනා. ප්‍රංශයේ පැරීසිය, බ්‍රසීලයේ රියෝ, ස්පාඤ්ඤයේ බාසිලෝනා, තායිලන්තයේ පුකෙට් පතායා, ඉන්දියාවේ ටජ් මහල්, ඉන්දුනීසියාවේ බාලි පහුගිය කාලේ ටුවරිස්ට්ලාගෙන් පිරිලා ඉතිරිලා ගියා. අපි ඉස්සර ඒ තැන් වල දැකපු ලස්සන කෙසේ වෙතත් පසුගිය කාලේ ඒ තැන්වලට ගියාම දාස් ගාණක හිස් ගොඩක් සංචාරකයෝ ඉන්නවා කියලා පෙනුනා. ඒ එක්ක අපේ බකට් ලිස්ට් එකේ තිබුන බොහොම ජනප්‍රිය ස්ථාන ගැන අපි නැවත හිතා බලන්නට ඕනි.
2. මාක් කිරීම නොව සතුට ගැන සිතමු
අපි සංචාරයකින් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපේ කාර්යබහුල ජීවන රටාවට නිස්කලංක වෙනසක් තමයි අපි ගොඩක් දෙනාට ඕනි. ජනප්‍රිය තැන් ගොඩක් අපේ කාලසටහනට දාගෙන ඒ තැන් වල ගිහින් සීල් ගහන්නා වගේ ඉක්මනින් බලලා ආවම ඇත්තටම අපිට සතුටක් ලැබෙනවාද? අපිට ලැබෙන සුළු නිවාඩුව, තියෙන මුදල් ප්‍රමාණය එක්ක අපිට ලංකාවට එන විදේශිකයෝ වගේ මාස ගණන් ඉන්න බැහැ. ඒත් ලොකේෂන් ගොඩක් දාගෙන හැම එකටම දුවලා එනවාට වඩා එක් තැනක් දෙකක් වෙන් කරගෙන, ඒ පළාත හොඳින් බලාගෙන, ඒ පැත්තේ මිනිස්සු ගැන, කෑම ගැන, අලුත් දේවල් ගැන හොයාබලන එකෙන් වැඩිපුර සතුටක් හිතට එකතු වෙනවා.
3. බිසී නැති කාලය තෝරමු
ලංකාවේ විදෙස් සංචාරකයින් වැඩි වෙන්නේ දෙසැම්බර්, ජනවාරි වගේ මාසවලදි. මැයි ජුනි මාසවල විදෙස් සංචාරකයින් ලංකාවට පැමිණීමේ අඩුවක් පේනවා. ඒ වගේ විදෙස් සංචාරකයින් අඩු කාලය ලංකාවේ විදෙස් සංචාරකයින් අතර ජනප්‍රිය, මිරිස්ස, නුවර, නුවරඑළිය, සීගිරිය, ත්‍රිකුණාමලය, අරුගම්බේ, ඇල්ල වගේ තැන් බලන්න යන්න හොඳ කාලයක් අපිට. සාමාන්‍යයෙන් ඕනිම සංචාරක ස්ථානයක් ගත්තම ඒකට වැඩිම සංචාරකයින් එන කාලයක් තියෙනවා. ඒ කාලයට ඒ ස්ථාන සංචාරකයින්ට වඩාත් ගැලපෙන කාලගුණය දේශගුණය සහ සාධක වලින් යුතු වෙනවා කියලා තමයි සැලකෙන්නේ. ඒත් ඒ කාලයට ගියාම සංචාරකයින් හැර වෙනත් දෙයක් බලාගන්න වෙන්නෙ නැතිනම් අපිට සංචාරකයෝ අඩු කාලෙක ගමන යෑම ගැන හිතන්න පුළුවන්.
4. උදේම යමු
ලංකාවේ අනුරාධපුර, පොළොන්නරුව, කතරගම වගේ සිද්ධස්ථාන ගත්තාම බොහෝ පිරිස් ඒ තැන්වලට එන්නේ දවල් වෙලා. ලෝකයේ ජනප්‍රිය තැනුත් එහෙමයි. ඉර උදාව ලස්සන තැන් බලන්න පාන්දරම නැගිටලා සෙනග ආවට, එහෙම නැති සාමාන්‍ය තැන්වලට සෙනඟ එද්දි දවල් වෙනවා. දිය ඇළි, ලස්සන මුහුදු වෙරළ, කඳු වැටි ආදී දේවල් බලන්නට යනවා නම් කවුරුත් යන්න නොහිතන පාන්දර ජාමේ ගියොත් ඒ තැන්වල ලස්සන විඳගන්නට අපිට පුළුවන්. හෝටන් තැන්න බලන්න යන විදෙස් සංචාරකයින් මේ උපක්‍රමය පාවිච්චි කරනවා. ඔවුන් උදේ 6ට හෝටන් තැන්නේ ටිකට් දෙන වෙලාවටම හෝටන් තැන්නට ඇතුල් වෙලා කෑ කෝ ගහන ලංකාවේ සංචාරකයින් ටික පොදි ගැහෙන්නට කලියෙන් ගමන අවසාන කරනවා.
5. වගකීම් සහගත වෙමු
සංචාරකයින් පළාතකට වැඩි වුනාම ඒක සංචාරකයින්ට වගේම ඒ පළාතේ සාමාන්‍ය ජීවිතය ගෙවන ජනතාවටත් ලොකු වධයක්. වාහනයක් යන්න ඉඩක් නැහැ, ඉස්සර තිබුන නිස්කලංක ගතිය නැහැ, හැම තැනම සංචාරකයෝ ආදී මැසිවිලි ගොඩක් ඒ පළාතේ පදිංචිකරුවන්ගෙන් සංචාරකයින්ට එල්ල වෙනවා. සංචාරකයන් විදිහට අපි විනෝද වෙන්න ඕනි තමයි. ඒත් පුළුවන් තරම් ඒ පළාත්වල ජීවත්වෙන අයගේ ජන ජීවිතයට බාධා වෙන්නේ නැතිව, ඔවුන්ට කරදර වෙන්නේ නැතිවෙන්න හැසිරෙන්න අපි උනන්දු වෙන්න ඕනා. සමහර අය මිනිස්සු ඉන්නවාද නැද්ද කියලා බලන්නේ නැහැ. ඕනිම තැනක මත්පැන් ආදී දේ බීගෙන කෑ ගහගෙන සිංදු කියාගෙන තමයි ට්‍රිප් එකකින් විනෝද වෙන්නේ. එහෙම වුනාම ඒ තැන්වලට සංචාරකයින්ට දිගටම එන්න දෙනවාද නැද්ද කියන එක ගැන ඒ තැන් අවට ඉන්න ජනතාව නැවත හිතනවා. ඒ නිසා සංචාරකයෙක් විදිහට තැනක් බලන්නට ගියත් එතැන තියෙන වටපිටාවට බාධා වෙන ආකාරයට හැසිරෙන්නේ නැතුව එන්න උත්සාහ කරන්නට ඕනි. සංචාරකයින් බොහොම සුලභ වුනත් ඔවුන්ගෙන් වෙන හිරිහැර අඩුනම් ඒ ප්‍රදේශවාසීන් වුනත් සංචාරකයින් ගැන හොඳ කෝණයකින් බලන්නට ඉඩ තියෙනවා.
6. පැකේජ් ටුවර් ගැන නැවත හිතමු
පැකේජ් ටුවර් වලදි වැඩි පිරිසක් කැමති ස්ථාන කීපයක් දාගෙන පිරිස ගොඩක් එකතු කරගෙන තමයි චාරිකා යන්නේ. ඒහෙම පැකේජ් විදිහට චාරිකා යන මගී නෞකා හෙවත් කෲස් ශිප් සංචාරක ස්ථාන වලට දැන් දැන් ලෝක ලෙඩක් වෙලා තියෙනවා. ලංකාවේ වුනත් එකපාර බස් කිහිපයකින් ලොකු නඩයක් තැනකට බැස්සාම එතැන ඇතිවෙන තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැ. එහෙම නඩ යන අයට ඒ තැන්වල ගතකරන්න ලැබෙන්නේ බොහොම සුළු කාලයක් විතරයි. උදාහරණ විදිහට අපි ලොකු වන්දනා නඩයක් එක්ක අනුරාධපුර ගියොත් අපිට ආස හිතුනා කියලා අනුරාධපුර චෛත්‍යයක් ළඟ ටික වෙලාවක් නිස්කලංකව ගත කරන්න කාලය ලැබෙන්නේ නැහැ. වන්දනා නඩේ කණ්ඩායම කැරකිලා ඉවර වුනාම අපිත් යන්නට ලෑස්ති වෙන්න ඕනි. ඒ වගේම අනුරාධපුරයෙත් තියෙන පොඩි ස්ථාන බලලා, වැවකින් නිදහසේ නාලා කියලා, ඒ පැත්තේ ගමේ කඩේකින් බත් ටිකක් කාලා, ජනප්‍රිය නැති පුරාවිද්‍යා දේවල් ගැන අලුතින් ඉගෙනගන්න අපිට අවස්ථාවක් නැහැ. ඒ නිසා ලොකු පිරිසක් එක්ක නිතරම ඒ තැන්වලට ගිහින් කොහොමත් ඕවර්ටුවරිසම් ෆැක්ටර් එකක් එක්ක චාරිකා කරන එක ගැන අලුතින් සිතන්නට ඕනි.
7. දැනුවත් වෙලා යමු
චාරිකාවක් යද්දි ඒ යන පළාත, කෑම බීම නවාතැන් ආදී දේ ගැන හොඳට දැනුවත් වීම වටිනවා. අපේ රටේ අලුතින් ජනප්‍රිය වුණු ඇල්ල, මිරිස්ස වගේ සංචාරක ආකර්ෂණ ස්ථාන වැඩිපුරම ජනප්‍රිය කළේ විදෙස් සංචාරකයින්. ඔවුන් අපේ රටට ඇවිත් අපිටත් ඉරිසියා හිතෙන මට්ටමේ සංචාරක ස්ථාන අපිට හඳුන්වා දුන්නා. වන සතුන් බැලීම අපේ අරමුණ නම්, හැමදාම යන යාල විල්පත්තුව වගේම සතුන් ඉන්න ගල් ඔය ජාතික වනෝද්‍යානය අපිට ඉතුරුවෙලා තියෙනවා. ලංකාවේ කෙනෙක් විදිහට අපේ රටේ තියෙන ජාතික වනෝද්‍යාන මොනවද, ඒවායෙන් වැඩි කලබලයක් නැතුව සත්තු බලන්න හැකි කොහේද කියන එක හොයාගන්න ලොකු අපහසුවක් නැහැ.
සිරීපාදේ ගත්තොත් හැමෝම යන හැටන් පාරේ පාර දෙපැත්තේ කඩවල් බල බල යනවාට වඩා රත්නපුර හෝ කුරුවිට එරත්න පාරේ ලස්සන සොබාදහම විඳගෙන යන්නට අවස්ථාව තියෙනවා. ඒ වගේ අපිට ඕනිම සංචාරක ස්ථානයක බොහෝ පිරිස් පොදි ගැහි ගැහි ඇදෙන ජනප්‍රිය සංචාරක අත්දැකීම් වගේම එසේ නොවන, ඒත් සුපිරි සංචාරක අවස්ථා තියෙන බව හොයාගන්න පුළුවන් ටිකක් ඒ ගැන හොයා බැලුවොත්… එහෙම වුනොත් අපිට මිනිස්සු ගොඩක් එක්ක කොන්සට් එකක් බලනවා වගේ සංචාරය කරන්න වෙන අත්දැකීමෙන් ගැලවෙන්න හැකි වේවි.
අපි තැනකට ගිහින් ඇවිත්, එතැන සවුත්තු වෙනවා කියලා තවත් අයට එන්න එපා කියන එක කිසිසේත්ම ගැලපෙන දෙයක් නෙමෙයි. එතැන මිනිස්සු ගියාම කැත වෙනවා නම් අපි ගිහින් පොටෝ ගන්න කලින් ඒක අවබෝධ කරගෙන නොයා ඉන්න ඕනි. ඒ කොයිහැටි වුනත් හැමදේකටම සීමාවන් තියෙනවා. ඒවා පැනගෙන කඩාගෙන ගියොත් ඒ සිස්ටම් වල කලින් තිබුන ගතිය නැතිවෙනවා. ඒ නිසා ඕවර්ටුවරිසම් මග හැරීම වගේම ටුවරිසම් වලට තැන් නිර්මාණය කරගැනීම ගැනත් අපි වගේම අපේ පාලකයො, බලධාරීන් අලුතින් කල්පනා කරන්නට ඕනි. සංචාරය කියන්නෙත් එක්තරා අවශ්‍යතාවයක්. මිනිස්සුන්ට ඉන්න හිටින්න, යන්න එන්න අවකාශ නිර්මාණය කිරීම වගේම සංචාරයට අවශ්‍ය පහසුකම් නිර්මාණය කිරීම සහ පවත්වාගෙන යෑමත් අපේ බලධාරීන්ගේ වගකීමක් වෙනවා. ඒ වගේම සංචාරක ස්ථාන ඒ ආකාරයට රැක ගැනීමේ වගකීමකුත් සෑම සංචාරකයකුටම ඉබේම එනවා.
Leave a Reply