ඇඳිරි නීතියත් එක්ක කොටු වෙලා ගෙවෙන ජීවිතේට පොඩි පහසුවක් ගේන ස්මාට්ෆෝන් ඇප්ස් කීපයක්!

අපි හැමෝම කොවිඩ්-19 පැතිරීමත් එක්ක සෑහෙන අවිනිශ්චිත භාවයක තමයි ඉන්නේ. ලංකාවේ හැම පැත්තෙම ඇඳිරි නීතිය. සමහර දිස්ත්‍රික්ක වලට කවදද ඇඳිරි නීතිය අයින් කරන්නේ කියලා දිනේකුත් නෑ. හැබැයි ඉතින් මේක ලංකාවට විතරක් පොදු දෙයක් නෙවෙයි. මුළු ලෝකෙටම පොදු දෙයක්. ඉතින් දැන් තියෙන අමාරුව ගෙවල් වලටම වෙලා ඉන්න එක විතරක් නෙවෙයි. ලෝකේ මේ සිද්ධ වෙන දේවල් එක්ක මානසික මට්ටම වුනත් එක විදියකට තියාගන්න එක ලොකු ගේමක්. අන්න ඒ නිසා තමයි අපි හිතුවේ, මේ ලොක් ඩවුන් වෙලා, කොරන්ටයින් වෙලා ඉන්න කාලෙට උදවුවක් වෙන්න ස්මාට්ෆෝන් ඇප්ස් කීපයක් ගැන කියන්න. කොහොමත් ගොඩක් දෙනෙක් මේ කාලේ ෆෝන් එක අතේම තියාගෙන ඉන්න නිසා, මේ ඇප්ස් වලින් හිතට සහ දිනචරියාවට වෙනසක් සිද්ධ වෙයි.

 

1. Stop, Breathe & Think

අපි මෙච්චර කල් නිකම් මී තරගයක් වගේ එකක හති හලාගෙන දිව්වා. හැබැයි කොවිඩ්-19 ඇවිල්ලා මුළු ලෝකෙටම ටිකක් නවතින්න කියලා බල කරලා තියෙනවා. හැබැයි අපි නැවතුනාට තාම අපේ හිත් සන්සුන් නෑ. ආන්න ඒ කාරණාව ඉෂ්ට කරලා දෙන්න පුළුවන් හොඳ ඇප් එකක් තමයි මේ. මේ ඇප් එකෙන් අහනවා අද දවසේ අපේ ශාරීරික තත්ත්වය, මානසික තත්ත්වය ගැන. අපිට දැනෙන හැඟීම් ගැන අහනවා. ඉන් පස්සේ ඒ අනුව අපිට කරන්න පුළුවන් ක්‍රියාකාරකම් තෝරලා දෙනවා. මේ ක්‍රියාකාරකම් වලින් කෙරෙන්නේත් ඇත්තටම අපි අපේ ශරීරය, සෞඛ්‍ය සම්පන්න භාවය, මානසිකත්වය, අවට ලෝකය, මිනිස් සම්බන්ධතා ගැන අවදිවීමක් ඇති කිරීම තමයි. විශේෂයෙන්ම මේ වගේ කාලයක මානසික සෞඛ්‍යය හොඳින් තියාගන්න මේ ඇප් එක ඉතාම වටිනවා.

 

2. The Sims™ Mobile

දැන් අපිට මේ දවස් වල ඇත්තටම එලියට පහලියට යන්න බැහැනේ. එහෙමනම් අපි වර්චුවල් මනුස්සයෙක්ව හදලා ඌව වත් එලියට යවලා බලමුද? ඇත්තටම ද සිම්ස් කියන්නේ ගොඩක් අය දන්න හඳුනන ගේම් එකක්. මේක ඉස්සර අපි කම්පියුටර් අතපත ගාන්න ගත්තු අනූව දශකේ ඉඳලා තිබුණා. හැබැයි මේ ස්මාට්ෆෝන් ගේම් සංස්කරණය තවත් වැඩිදියුණු වෙලා, අපිට ඇත්තටම මනුස්සයෙක්ගේ ජීවිතේ අත්දකින්න හැකිතාක් ඉඩ දෙන විදියට නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ, අපිට ගෙදරින් එලියට යන්න බැරි එකේ, සිම්ස් එකේ මනුස්සයෙක්ව හදලා, එයාට ගෙයක් එහෙම හදලා දීලා, රස්සාවක් හොයලා දීලා ෆන් එකක් ගන්න එක තමයි. 

 

3. Microsoft Teams

මේ වෙනකොට ගොඩක් දෙනෙක් වර්කින් ෆ්‍රොම් හෝම් තත්වයට හැඩගැහිලා ඉන්නේ. එතකොට ගෙදර ඉඳන් වැඩ කරන කොට කොහොමද මීටින්ස් එහෙම තියන්නේ කියන ප්‍රශ්නෙටත් මේ වෙනකොට විවිධ උත්තර තියෙනවා. එයින් සාර්ථක පිළිතුරක් තමයි මයික්‍රොසොෆ්ට් ටීම්ස් කියන්නේ. විශේෂයෙන්ම Office 365 පැකේජ් එකත් එක්ක සම්බන්ධව වඩාත් සාර්ථකව ක්‍රියාත්මක වෙන මයික්‍රොසොෆ්ට් ටීම්ස් පාවිච්චි කරලා තමන්ගේ වැඩ කරන ටීම් එකත් එක්ක සංවාද කරන්න, ෆයිල් ෂෙයාර් කරන්න, මීටින්ග්ස් තියන්න පුළුවන් සම්පූර්ණ තත්‍යාසන්න කාර්යාල අවකාශයක් හදලා දෙනවා. ඒ වගේම මේ දවස් වල තියෙන විශේෂ ඔෆර් එකේ විදියට, මාස කීපයක් යනකල් මයික්‍රොසොෆ්ට් ඔෆිස් නොමිලේ පාවිච්චි කරන්නත් පුළුවන්!

 

4. edX: Online Courses by Harvard, MIT, Berkeley, IBM

ගොඩක් දෙනෙක් හිතන්නේ අපි ඉස්කෝලේ ගිහිල්ලා, කැම්පස් හරි වෙනත් උසස් අධ්‍යාපන ආයතනයකට හරි ගිහිල්ලා ඉවර වුනහම අධ්‍යාපනය ලබලත් ඉවරයි කියලා. හැබැයි ඒක එහෙම නෙවෙයි. අපිට අවශ්‍ය නම් දිගින් දිගටම අපි ආස කරන දේවල් ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට ඔන්ලයින් ඉගෙන ගන්න පුළුවන් තැන් මේ වෙනකොට තියෙනවා. edX කියන්නේ අන්න ඒ වගේ ප්ලැට්ෆෝම් එකක්. මේකෙන් හාවර්ඩ්, MIT වගේ ලෝකේ පුරා පිළිගැනීමක් තියෙන විශිෂ්ට සරසවි වල අධ්‍යාපන වැඩසටහන් ඔන්ලයින් ඉගෙන ගන්න ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම මේ ලොක් ඩවුන් වෙලා ඉන්න කාලේදී සාමාන්‍යයෙන් ලොකු ගණන් ගෙවලා ගන්න වෙන පාඨමාලා එහෙමත් නොමිලේ ලබාදෙන්න edX කටයුතු කරලා තියෙනවා.

 

5. Nike Training Club App

මේ ඇඳිරි නීතිය, කොරන්ටයින් කාලේ ගෙවල් වලටම වෙලා ඉන්නවා කියන්නේ, සාමාන්‍යයෙන් වෙනදා සුළුවෙන් හරි ඇඟට ලැබෙන ව්‍යායාමයත් ලැබෙන්නෙ නැහැයි කියන එකනේ. සමහරුන්ට නම් මේ වෙනකොට ජිම් එකට එහෙම යන්න නැතුව, ජොගින් පාරක් දාන්න නැතුව පිස්සු වගේත් ඇති. හරි. අන්න ඒ හැමදෙනාටම ගැලපෙන ෆිට්නස් ඇප් එකක් තමයි මේක. විශේෂයෙන්ම මේ ඇප් එක ඔස්සේ ඕනම විදියේ දිනචරියාවක් තියෙන කෙනෙක්ට, ආධුනිකයෙක්ගේ ඉඳන් ප්‍රවීණයෙක් දක්වා පරාසයකට, අවශ්‍ය විදියට සකසා ගන්න පුළුවන් ෆිට්නස් ප්‍රෝග්‍රෑම් ලබා දෙනවා. ගෙදර එක්සයිස් කරන්න බඩු තියෙන අයට වුනත්, ගෙදර කිසිම දෙයක් නැති අයට වුනත් මේ ඇප් එකෙන් ගැලපෙන ප්‍රෝග්‍රෑම් එකක් හොයලා දෙන එක තමයි විශේෂත්වය. මේකෙදී යෝගා, චලන ව්‍යායාම, ශක්තිය වර්ධනය, කාඩියෝ වගේ සෑහෙන පරාසයක ව්‍යායාම වැඩසටහන් අපිට ලබාදෙනවා.

 

6. Dialup

මේක හරිම අපූරු ඇප් එකක්. විශේෂයෙන්ම මේ කොරන්ටීන් කාලෙට මේක බොහොම විශේෂයි. මේකෙන් කරන්නේ ආගන්තුකයින්ට වොයිස් චැට් කරන්න ඉඩ ප්‍රස්තාව හදලා දෙන එක. හැබැයි මේක ඩේටින් ඇප් එකක් නම් නෙවෙයි. ඊට වඩා, කෙනෙක්ට ලඟදි කියවපු පොත්, සංචාරය කරන්න ආස තැන්, ලෝකේ සහ වනසත්තු වගේ තමන් කැමති මාතෘකා තෝරගෙන, ඒ මාතෘකා ඔස්සේ කතා කරන්න කැමති අයත් එක්ක පොඩි කයියක් ගහන්න පුළුවන්. අවශ්‍ය නම් කිසිම මාතෘකාවක් නැතුව ගෙදරට හිර වෙලා ඉන්න එක ගැන කතා කරන්නත් පුළුවන්. තමන්ගේ ආරක්ෂාව ගැන, ආගන්තුකයන්ට තමන්ගේ තොරතුරු යයි කියන එක ගැන බයවෙන්න දේකුත් නැහැ. ඊටත් වඩා, මේක අඳුනන්නේ නැති ඒත් බොහොම ඉන්ටරෙස්ටින් මිනිස්සු අඳුනගන්නත් හොඳ වේදිකාවක්.

 

7. Tasty

මේ දවස් වල ගෙදරටම වෙලා ඉන්න එකේ ගොඩක් දෙනෙක් ඔය අලුත් අලුත් රෙසිපි ට්‍රයි කරලා බලන්න එහෙමත් උත්සුක වෙනවා. විශේෂයෙන්ම සාමාන්‍යයෙන් කුස්සිය පැත්ත පළාතේ යන්නෙ නැති අයත් කුකින් වලට කොරන්ටයින් කාලෙදී ආසාවක් ඇතිකරගෙන තියෙන එක හොඳ දෙයක්. දැන් ඔය එක එක ෆැන්සි කෑම හදන හැටි ඉගෙන ගන්න ගොඩක් අය අපේ අම්මා වගේ යූටියුබ් චැනල් පාවිච්චි කරනවා. හැබැයි Tasty කියන්නේ ඔය ලේසියෙන් හදන්න පුළුවන් විවිධ ෆැන්සි බටහිර කෑම වර්ග වල රෙසිපි දැනගන්න හොඳ ඇප් එකක්. මේකේ තියෙනවා ඔය අමුද්‍රව්‍ය තුනකින් හදන්න පුළුවන් සරල කෑම වගේම ටිකක් හැඩ වැඩ දාලා හදන්න ඕන කෑම දක්වා විශාල පරාසයක කෑම වට්ටෝරු. නොහැදුවත් මේ ඇප් එක පුරා තියෙන කෑම වට්ටෝරු දිහා බලලා කෙළ ගිලින්න හරි පුළුවන්!