ඔයත් ඉස්සර ඉඳන් රෙස්ලිං බැලුවනම් මේ මතක අනිවාර්යෙන් ඇති

90 ගණන් වලදි තමයි ලංකාවේ ලොකුවටම රෙස්ලිං උන්මාදයක් ඇති වෙන්නේ. ඒ කාලේත් තිබ්බ ලොකුම ප්‍රොමෝෂන් එක වුණ WWE එක ඒ දවස්වල WWF නමින් නේ හැඳින්වුවේ. ඉතින් අපි හිතුවා ඒ දවස්වල රෙස්ලිං පිස්සුව හොඳටම තිබුණ කොල්ලෙක්ගෙ කෙල්ලෙක්ගෙ මතකයන් ආයෙමත් අවුස්සන්න. මේවාට අමතරව ඔයාගෙ පරණ රෙස්ලිං මතක ගැනත් අපිට කියන්න ඔන්න.

 

1. ETV 1 එකේ ස්ටාර් ස්පෝර්ට්ස්

දැන් වගේ ඒ දවස්වල හැම ගෙදරකම සැටලයිට්/කේබල් ටීවී තිබ්බේ නැහැ. ඉතින් රෙස්ලිං බලන ප්‍රධාන ක්‍රම 2ක් තමයි අපි හැමෝටම තිබ්බේ. එකක් තමයි VHS එහෙමත් නැත්නම් ඩෙක්පීස් හරහා ආපු පේපර් විව්ස්. අනිත් ක්‍රමේ තමයි ඒ දවස්වල තිබ්බ ETV 1 කිය​න ඉංග්ලිෂ් චැනල් එක. මේකේ ස්ටාර් ස්පෝර්ට්ස් වැඩසටහන් සමහරක් පෙන්නුවා. මතක විදිහට සිකුරාදා දවල් 1.30ට විතර තමයි මේකේ රෙස්ලිං පෙන්නුවේ. හැබැයි ඉස්කෝල ඇරිලා ගෙදර එද්දි ගොඩක් වෙලාවට මේ ප්‍රෝග්‍රෑම් එකේ අන්තිම චුට්ට තමයි අපිට බලන්න ඉතුරු වෙන්නෙ. 

 

2. බ්‍රෙට් ද හිට්මෑන් හාර්ට්ගේ සංග්ලාස් කුට්ටම

 

මේ කියන්නේ ස්ටෝන් කෝල්ඩ් ස්ටීව් ඔස්ටින්, රොක් ව​ගේ උදවිය ඇටිටියුඩ් ඊරා එක නග්ගලා ගන්න කලින් තිබ්බ මතකයක් ගැනයි. ඒ කාලේ ජනප්‍රියම රෙස්ලර් කෙනෙක් තමයි බ්‍රෙට් ද හිට්මෑන් හාට්. බ්‍රෙට් හාර්ට් ටෙක්නිකල් රෙස්ලර් කෙනෙක් හැටියට තමයි ගොඩක් ප්‍රසිද්ධ. එයා​ගෙ ෂාප් ෂූටර් කියන සබ්මිෂන් මූව් එක යාළුවන්ට දාන්න ගිහින් උන්ගේ කොඳු ඇඹරිලා ගෙවල්වලින් ගුටි කාපු මතකයනුත් අපිට තියනවා. බ්‍රෙට් හාට් පොඩි ළමයි අතරේ සෑහෙන ජනප්‍රිය චරිතයක් වුණා. ඒකට හේතුව වු​ණේ එයා සටනට එද්දී දාගෙන එන සංග්ලාස් කුට්ටම හැම සටනකටම කලින් ප්‍රේක්ෂකයො අතරේ ඉන්න ළමයෙක්ට දාන නිසයි.

 

3. ලෙක්ස් ලූගර් සහ යොකෝසූනා

යොකෝසූනා කියන්නේ ඒ දවස්වල හිටපු සද්දන්​ත රෙස්ලිං චරිතයක්. සූමෝ ක්‍රීඩකයෙක් වගේ ඇඳගෙන එන යොකෝසූනා WWF එකේ ප්‍රබල දුෂ්ට චරිතයක් වුණා. එක පාරක් යෝකෝසූනා අනිත් රෙස්ලිං ක්‍රීඩකයන්ට චැලේන්ජ් එකක් දැම්මා තමන්ව උස්සලා බොඩි ස්ලෑම් කරන්න පුළුවන්​ද කියලා. එළිමහන් ක්‍රීඩාංගනයක තිබ්බ මේ චැලේන්ජ් එකේදී රෙස්ලිං තදයෝ කීප දෙනෙක්ම උත්සාහ කළත් යෝකෝසූනාව උස්සන්න බැරි වුණා. මේ වෙලාවේ කවුරුත් බලාපොරොත්තු නොවුණු විදිහට එතනට හෙලිකොප්ටරයකින් ඇවිත් බහිනවා ඇමරිකානු කොඩි​ය තියන ටීෂර්ට් එකක් ඇඳගත්ත පොරක්. ඒ තමයි ලෙක්ස් ලූගර්. පොර කෙලින්ම ඇවිත් යෝකෝසූනාගෙන් ගේම ඉල්ලලා යෝකෝසූනාව උස්සලා ගහනව පොළවේ. ඒ දවස්වල මේ සීන් එ​ක අපි කාටත් ජොලි සිද්ධියක් වුණා. හල්ක් හෝගන්ගෙන් පස්සේ WWF එකේ ඊළඟ සුපිරි තරුව ලෙක්ස් ලූගර් වෙයි කියලා ගොඩ දෙනෙක් බලාපොරොත්තු තියාගත්තත් ලූගර්ට එච්චර දුරක් යන්න ලැබුණේ නැහැ.

 

4. රිංග්මාස්ටර්

ස්ටෝන් කෝල්ඩ් ස්ටීව් ඔස්ටින් කියන්නේ හල්ක් හෝගන්ගෙන් පස්සේ WWF/E එක උපරිම තලයට ගෙනියන්න දායක වුණු ඊළඟ තරුව හැටියට අවිවාදිතයි. රෙස්ලිං වළල්ල ඇතුළේ වගේම ඒකෙන් පිටතත් නාහෙට නාහන විප්ලවීය චරිතයක් හැටියට ඔස්ටින් ජනප්‍රිය වුණා. හැබැයි ගොඩ දෙනෙක් නොදන්නවා වුණාට ස්ටෝන් කෝල්ඩ් චරිතෙට කලිනුත් ඔස්ටින් කාලයක් WWF වල සටන් කළා. ඒ රින්ග් මාස්ටර් නමින්. ඒ දවස්වල හිටපු ජනප්‍රිය මැනේජර් කෙනෙක් වුණු මිලියන් ඩොලර් මෑන් ටෙඩ් ඩීබියාසී විසින් හඳුන්වලා දුන්න රින්ග් මාස්ටර්, මිලියන් ඩොලර් බෙල්ට් එක නමින් බෙල්ට් එකකුත් පැළඳගෙ​න සටනට ආවත් ඒ තරම් ජනප්‍රියත්වයක් මේ චරිතෙට ලැබුණේ නැහැ. ඊට පස්සේ මේ චරිතය හලලා, තට්ටෙ ගාලා, රැවුල එහෙම වවලා දුෂ්ට චරිතයක් හැටියට ආපු ස්ටෝන් කෝල්ඩ් ස්ටීව් ඔස්ටින් හැටියට තමයි ස්ටීව් අතිශය ජනප්‍රිය වෙන්නේ.

 

5. ස්ටිකර් පොත

90 ගණන් වල දරුණු රෙස්ලිං ෆෑන් කෙනෙක්නම් ඒ කෙනා අනිවාර්යයෙන් රෙස්ලිං ස්ටිකර් සහ කාර්ඩ් එකතු කරලා තියෙන්න ඕනිමයි. ඉස්සර ඉස්කෝල ගාව ස්ටිකර් විකුණන්නට හිටපු උදවිය ළඟ මේ රෙස්ලිං ස්ටිකර් කොළ ලොකු කලෙක්ෂන් එකක් තිබ්බා. තව රෙස්ලිං ස්ටිකර් සිය ගාණක් තියන කොළයකුත් තිබ්බා. මේකෙ එක ස්ටිකර් එකක් රුපියලක් වෙනවා. ඉතින් අපිට අතේ තියන ගාණට ස්ටිකර් කීපයක් මේකෙන් කපලා දෙනවා ස්ටිකර් විකුණන අංකල්. රෙස්ලිං ක්‍රීඩකයන්ගේ විස්තර තිබ්බ පෝස්ට් කාඩුත් අපි සෑහෙන්න එකතු කළා. ඒ වගේම රෙස්ලිං මුද්දරත් තිබ්බා.

 

6. WCW

WCW එක කාලයක් තිස්සේ රෙස්ලිං ලෝකයේ පැවතුණත් ලංකාවේ අපි අතරේ මේක ජනප්‍රිය වෙන්නේ 90 ගණන් වල අන්තිම හරියේදියි. ඒ කාලේ වෙද්දි WWF එකටත් ලොකු තර්ජනයක් වෙන්න WCW එක සමත් වෙලා තිබ්බා. හල්ක් හෝගන් වගේ ප්‍රබල චරිතවලින් සමන්විත වුණ NWO එක, ගෝල්ඩ්බර්ග්ගේ සුපිරි සටන්කාමීත්වය, ස්ටින්ග් වගේ චරිත එක්ක WCW එකේ ස්ටෝරිලයින්සුත් WWF එක අභිබවා යන තත්ත්වයක තිබ්බා. ඒ කා​ලේ මතක විදිහට ස්වර්ණවාහිනියෙන් සති අන්තේදී මේ WCW Nitro එක පෙන්නුවා. ගොඩ දෙනෙක් නොවරදවාම මේ වැඩසටහන් බලන්න පෙළඹුනා වගේම ගෝල්ඩ්බර්ග් වගේ චරිතවල ෆෑන්ස්ලා බවටත් පත්වුණා. 

 

7. රොකී මයිවියා

ස්ටෝන් කෝල්ඩ් ස්ටීව් ඔස්ටින් රින්ග් මාස්ටර් හැටියට මුල් කාලේ කරළියට ආවා වගේම “ද රොක්” කරළියට ආවෙත් ටිකක් වෙනස් කැරැක්ටර් එකකින්. ඒකෙ නම තමයි රොකී මයිවීයා. 96 Survivor Series එකෙන් තමයි රොකී මයිවියාගේ ආගමනය සිද්ධ වෙන්නේ. මුලදී අතිශය ජනප්‍රිය චරිතයක් වුණත්, කාලයක් යද්දී රොකී මයිවියා චරිතය ටික ටික ප්‍රේක්ෂකයන් අතරේ දියාරු චරිතයක් වෙන්න පටන් ගත්තා. ඉන් පස්සේ තමයි “ද රොක්” හැටියට තමන්ව හඳුන්වා දෙමින් දුෂ්ට චරිතයක් හැටියට රොකී වෙනස් වෙන්නේ. ඒ චරිතය ෆෑන්ස්ලා අතරේ ස්ටෝන් කෝල්ඩ් ස්ටීව් ඔස්ටින් තරමටම හිට් වුණා. අදටත් WWE ගැන කතා කරද්දි ඉහළින්ම සඳහන් කරන්න පුළුවන් චරිත 2ක් හැටියට රොක් සහ ​ඔස්ටින්ව හඳුන්වන්න මේ දෙන්නා ඒ දවස්වල මයික් එකෙන් වගේම රෙස්ලිං සටන්වලදීත් දාපු සුපිරි වැඩ කෑලි හේතුවුණා.

 

ගොඩක් දෙනෙක්ට අපි මේ කියන රෙස්ලිං මතක අන්ඩර දෙමළ වගේ වෙන්න පුළුවන්. මොකද මේවා මීට අවුරුදු විස්සකට තිහකට උඩදි, ජෝන් සීනලා, රෝමන් රීන්ස්ලා ගැන අහලවත් නැති කාලේ සිද්ධ වුණු ඒවා. ඉතින් මේ ලිපියේ කියලා තියන මතක ඔයාලට තියනවනම් ඒ ගැන කියන්නත්, ඔයාලගෙ සුන්දර රෙස්ලිං මතක ගැන කමෙන්ට් කරන්නත් ඔයාලට පුළුවන්. මේ ලිපියට ලැබෙන ප්‍රතිචාර අනුව තවත් රෙස්ලිං ගැන ලිපි අපි අතින් ලියවේවි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *