ගෙදර ඉන්න දවස් වල කරන්න ෆේස්බුක් චැලේන්ජ්ස් කිහිපයක් අපෙන්

අපි ජීවත් වෙන්නේ සයිබර් යුගයක කියන එක වැරදි නැහැනේ. විශේෂයෙන්ම ගෙවල් වලට වෙලා ඉන්න සිද්ධ වුණු පහුගිය දවස් වල තමයි අපි සයිබර් යුගයක ජීවත් වෙන එක කොයි තරම් වටිනවද කියලා සමහරුන්ට වැටහුණේ. මොකද, ඇත්තටම සයිබර් අවකාශය හරහා අපි හැමෝම මුණගැහෙන, සම්බන්ධ වෙන නිසා. කොහොම හරි කතාවට ආවොත්, සයිබර් අවකාශය හරහාත් මිනිස්සුන්ට ඒකරාශී වෙන්න, එක්කහු වෙලා දෙයක් කරන්න පුළුවන් ක්‍රම සහ විධි තියෙනවා. එයින් එකක් තමයි ෆේස්බුක් චැලේන්ජස් කියන්නේ. ඕක වෙන්නේ මෙහෙමයි. ඔන්න එක්කෙනෙක් ෆේස්බුක් චැලේන්ජ් එකක් පටන් ගන්නවා. ඒක තමන්ගේ පුංචි කාලේ ෆොටෝ එකක් ෆේස්බුක් දාන්න කියන එක වෙන්න පුලුවන්. එහෙම චැලේන්ජ් එක පටන් අරගෙන එයා තමන්ගේ යාලුවෝ පස් දෙනෙකුත් ඒ චැලේන්ජ් එකට නම් කරනවා. එතකොට ඒ යාලුවෝ පස් දෙනාත් චැලේන්ජ් එක භාර අරගෙන තමන්ගේ පුංචි කාලේ ෆොටෝ එකක් ෆේස්බුක් දාලා, එක් එක් කෙනෙක්ගේ වෙනත් යාලුවෝ පස් දෙනෙක් ගාණේ මේකට ටැග් කරලා චැලේන්ජ් එක පාස් කරන්න පුළුවන්. ඒ අයත් ඒ විදියටම කළොත්, මේ වෙනකොට තිහකට වැඩි පිරිසක් චැලේන්ජ් එකට එකතු වෙලා. ඔන්න ඔහොම චැලේන්ජ් එක වෛරසයක් වගේ පැතිරෙන්න පටන් ගන්නවා. හැබැයි චැලේන්ජ් එක හොඳ දෙයක් වෙන තරමට, ප්‍රතිඵලයත් හොඳයි. ආන්න ඒ නිසා අපි හිතුවා, මේ ගෙදර ඉන්න දවස් ටිකේ තමන්ටත්, අනෙක් අයටත් වැඩක් වෙන ෆේස්බුක් චැලේන්ජ්ස් කීපයක් අඳුන්වලා දෙන්න.

 

1. “ෆේස්බුක්” චැලේන්ජ්

අපි හැමෝම ෆේස්බුක් එකේ දවසකට පොඩි වෙලාවක් හරි රැඳිලා ඉන්නවනේ. සමහරු ෆේස්බුක් එන්න පටන් අරගෙන අවුරුදු ගාණක්. තවත් සමහරු ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගත්තේ අද ඊයේ වෙන්න පුළුවන්. ඒ කොහොම වුනත් නිකමට හිතලා බැලුවද අපි ඇත්තටම ෆේස්බුක් එකෙන් අරගෙන තියෙන්නේ මොනවද කියලා? ආන්න ඒ ගැන හිතන එක තමයි චැලේන්ජ් එක. ෆේස්බුක් එකෙන් තමන්ට ලැබිලා තියෙනවා කියලා හිතන දේවල් පහක් හෝ ඊට අඩු ගාණක් ලියන්න. දැන් ඒකට තමන්ගේ යාලුවෝ පස් දෙනෙකුත් ටැග් කරලා, ඒ අයටත් චැලේන්ජ් කරන්න.

අපි බලමු ඇත්තටම ෆේස්බුක් එකෙන් අපිට මොනවා හරි හම්බුවෙලා තියෙනවද කියලා! 

 

2. හෑන්ඩ් බෑග්/පර්ස් චැලේන්ජ්

අපි හැමෝම එක්කෝ හෑන්ඩ්බෑග් එකක් හරි පර්ස් එකක් හරි පාවිච්චි කරනවනේ. හැබැයි ඔය පර්ස් එකේ හරි හෑන්ඩ් බෑග් එකේ හරි අවශ්‍ය නැති දේවල් කොයි තරම් තියෙනවද කියලා හිතලා බැලුවද? හරි, චැලේන්ජ් එක මේකයි. මුලින්ම හෑන්ඩ්බෑග් එකේ හරි පර්ස් එකේ හරි තියෙන ඔක්කොම ලට්ට ලොට්ට පිළිවෙලට එලියෙන් තියලා ෆොටෝ එකක් ගන්නවා. ඊලඟට ඒකේ තියෙන අනවශ්‍ය/පාවිච්චියට නොගන්න දේවල් ඔක්කොම අයින් කරනවා. දැන් ආයෙමත් ෆොටෝ එකක් ගන්නවා. ඒ ෆොටෝස් දෙක ෆේස්බුක් එකේ දාලා, සාමාන්‍යයෙන් හෑන්ඩ්බෑග් එකේ හරි පර්ස් එකේ හරි අලි කොටි වලස්සුත් ඇති කරන යාලුවෝ පස් දෙනෙක්ව ටැග් කරලා ඒ අයටත් චැලේන්ජ් කරනවා. 

 

3. මොඩ් ගොවියා චැලේන්ජ්

මේක ඇත්තටම අලුත් චැලේන්ජ් එකක් නෙවෙයි. මේ දවස් වල සෞභාග්‍යා කියලා තියෙන ගෙවතු වගා වැඩසටහනේ කොටසක් විදියට කෙලින්ම අගමැතිතුමාම පටන් ගත්තා වවන චැලේන්ජ් එක. හැබැයි අපේ චැලේන්ජ් එක ඊට වෙනස්. දැන් ගොඩක් අය ඔය රැල්ලටනේ දේවල් කරන්නේ. ගෙවතු වගාවත් ඔහොමම තමයි. ගොඩක් දෙනෙක් හිටවපු පැල වලට වෙන්නේ හරියට සාත්තුවක් සප්පායමක් නැතුව මැරිලා යන එක. සමහරුන්ට හරියට කෘෂිකර්මය, ගෙවතු වගාව ගැන දැනුම නැති නිසාත් වැඩේ විනාස වෙලා යනවා. අන්න ඒ නිසා අපි කරන චැලේන්ජ් එක මේකයි. පැළයක් හිටවන ෆොටෝ එක විතරක් මදි. සති දෙකකට විතර පස්සේ ඒ පැළයේ හරි බීජ තවානේ හරි ප්‍රගතිය පෙන්නන ෆොටෝ එකකුත් එක්ක ෆොටෝස් දෙකක් ෆේස්බුක් එකේ දාන්න ඕන. ආන්න එතකොට තමයි නියම මොඩ් ගොවියෙක් වෙන්නේ. ඒ එක්කම තව යාලුවෝ පස් දෙනෙකුටත් ගෙවතු වගාවට එකතු වෙන්න කියලා ටැග් කරලා චැලේන්ජ් කරන්නයි තියෙන්නේ!

ගෙවතු වගාව ගැන උපදෙස් සෞභාග්‍යා වෙබ් සයිට් එකේත් තියෙනවා. ඒ නැතත් ජාතික කෘෂි උපදේශන සේවාවෙනුත් උපදෙස් ගන්න පුළුවන්. එහෙමත් නැතිනම් පළාතේ කෘෂි උපදේශක නිලධාරියා හෝ නිලධාරිනිය මුණගැහුනත් උපදෙස් ලබාගන්න පුළුවන්.

 

4. පොතෙන් දැනුන දේ චැලේන්ජ්

ඔය පොත් කවර චැලේන්ජ්, ප්‍රියතම පොත් ලිස්ට් චැලේන්ජ් ඕන තරම් පහුගිය දවස් වල අපිට ෆේස්බුක් එකේ දකින්න ලැබුනා. හැබැයි මේ චැලේන්ජ් එක ටිකක් වෙනස්. බැලූ බැල්මට අමාරුයි කියලා හිතුණත්, ඇත්තටම මේ චැලේන්ජ් එක අමාරු නෑ. කරන්න තියෙන්නේ මෙච්චරයි. තමන් මෙච්චර කාලෙකට කියවලා තියෙන ආසම පොතක් ගන්න. ඒ පොතේ තියෙන ආසම කොටසක් ෆේස්බුක් පෝස්ට් එකකට ඇතුළත් කරන්න. පොතේ කවරේ ෆොටෝ එකකුත් දාන්න. පුළුවන් නම් පොතෙන් දැනුන දේත් ලියන්න. ඒක වාක්‍යයක් දෙකක් වුනත් කමක් නෑ. බරසාර වෙන්න ඕනෙත් නෑ. අපි මේ කියන්නේ පොතේ විචාරයක් ලියන්න කියලා නෙවෙයි. දැනුන දේ විතරක් ලියන්න කියලයි. දැන් චැලේන්ජ් එකට තව යාලුවෝ පස් දෙනෙකුත් ටැග් කරන්න.

 

5. ට්‍රිප් එකේ මතක සටහන් චැලේන්ජ්

අපි හැමෝම වගේ ට්‍රිප් ගිහින් තියෙනවනේ. ට්‍රිප් එකක් නොගියපු කෙනෙක් ඉන්නවා නම් ඒ කලාතුරකින් තමයි. දැන් මේ චැලේන්ජ් එක සිද්ධ වෙන්නේ මෙහෙමයි. අපි ගියපු ට්‍රිප් එකක තියෙන අමරණීය -ඒ කිව්වේ මලාට අමතක නොවෙන- මතකයක් ගැන කියන්න තමයි තියෙන්නේ. ඒක ඇල්ලකින් නාන්න ගිහිල්ලා කූඩැල්ලෝ එල්ලුණු සීන් එකක් වෙන්න පුළුවන්. ගලකින් පනින්න ගිහින් කලිසම පැලුණු සීන් එකක් වෙන්න පුලුවන්. පොඩි කාලේ කානිවල් එකකදී අතරමං වුණු සීන් එකක් වෙන්න පුළුවන්. මේ ඕනම විදියේ අමතක නොවෙන අත්දැකීමක් ලියන්න තමයි තියෙන්නේ. ඒ ට්‍රිප් එකේ ෆොටෝ එකක් එහෙම හොයාගන්න තිබුණොත්, ඒකත් ඇමුණුවට කාරියක් නෑ. අන්න එහෙම කරලා දැන් යාලුවෝ පස් දෙනෙක්වත් ටැග් කරන්න. පුදුම හිතෙයි මිනිස්සුන්ට ට්‍රිප් ගිහිල්ලා මොන තරම් පිස්සු සීන් වෙලා තියෙනවද කියලා දැක්කහම!

 

6. තුන්වෙනි ඇහැ චැලේන්ජ්

අපි හැමෝම ආසයිනේ ලස්සන ඡායාරූප බලන්න. හැබැයි ඒ වගේම තමයි, අපි ගොඩක් දෙනෙක් ආසයි ලස්සන ඡායාරූප ගන්නත්. හැබැයි ඒ අයගෙනුත් ගොඩක් දෙනෙක්ට ලස්සන ඡායාරූප ගන්න ආසව තිබ්බට, ඒ ගන්න ඡායාරූප හිතපු තරම් ලස්සනට එන්නේ නැති නිසා වැඩේ අතඇරලා දානවා.

හරි, දැන් හැමෝම ගාව තියෙනවනේ ස්මාට්ෆෝන්. මේ තුන්වෙනි ඇහැ චැලේන්ජ් එකට ඇත්තටම අවශ්‍ය වෙන්නේ කැමරාවක් තියෙන ස්මාට්ෆෝන් එකක් තමයි. කරන්න තියෙන්නේ මේ ස්මාට්ෆෝන් එකෙන් තමන්ට ලස්සනයි කියලා හිතෙන විදියේ ඡායාරූපයක් ගන්න එක. ඒක ඕනම ඡායාරූපයක් වෙන්න පුළුවන්. පිපිලා තියෙන මලක්, අම්මා කුස්සියේ වැඩ කරනවා, ඉටිපන්දම් දැල්ලක්, මේසේ උඩ තියපු පැන්සලක් වගේ ඕනම දෙයක්. ඕන නම් ෆොටෝ එඩිටින් ඇප් එකක් පාවිච්චි කරලා ෆොටෝ එක තව ලස්සන කරගන්නත් පුළුවන්. එකම කොන්දේසිය වෙන්නේ මේක කලාත්මක ඡායාරූපයක් වෙන්න ඕන කියන එක විතරයි. දැන් එහෙමනම් ෆොටෝ එක ෆේස්බුක් දාලා, තව යාලුවෝ පස් දෙනෙක්වත් ටැග් කරලා චැලේන්ජ් එක පාස් කරන්න.

 

7. ස්ටාට් අ හොබී චැලේන්ජ්

ඉස්සර පුංචි කාලෙදි නම් අපිට එක එක විදියේ විනෝදාංශ තිබුණනේ. ඒවා ඔය දැන් ඉන්න අය කියනවා වගේ නිදාගන්නවා, ටීවී බලනවා වගේ මෙලෝ රහක් නැති විනෝදාංශ නෙවෙයි. ඊට වඩා දෙයක් තිබුණු විනෝදාංශ. හැබැයි අවාසනාවට අපි රස්සා කරන, කාර්යබහුල මිනිස්සු වෙනකොට මේ විනෝදාංශත් එහෙම්මම දියවෙලා ගිහින්. ආන්න ඒ නිසා අපි ගෙදර ඉන්න මේ දවස් ටිකේ වත් අලුතෙන් විනෝදාංශයක් පටන් ගමු. ඇත්තටම කරනවා නම් වෙනස් විදියේ, ආශ්වාදනීය විනෝදාංශ ඕන තරම් තියෙනවා තෝරගන්න.

හරි, චැලේන්ජ් එක මේකයි. තෝරගන්න තමන්ට සෙට් වෙන විනෝදාංශයක්. ඒක ඕනම විනෝදාංශයක් වෙන්න පුළුවන්. දැන් දාන්න ෆොටෝ එකක් විනෝදාංශය ආරම්භ කරපු හැටි පෙන්වන. අපි කියමු විනෝදාංශය පොඩ්කාස්ට් අහන එක කියලා. එතකොට පොඩ්කාස්ට් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් දැම්මත් කමක් නෑ. දැන් ටැග් කරන්න යාලුවෝ පස් දෙනෙක්. එතකොට ඒ පස්දෙනාටත් තියෙන්නේ විනෝදාංශ පටන් අරගෙන චැලේන්ජ් එක දිගටම පාස් කරන්න.

මෙන්න අපි මීට කලින් විනෝදාංශ ගැන කියලා තියෙන දේවල්:

https://www.lifie.lk/2019/10/30/crazy-extreme-hobbies/

https://www.lifie.lk/2019/07/07/hobbies-for-house-wives/

https://www.lifie.lk/2019/06/22/22-easy-crafting-hobbies/

https://www.lifie.lk/2019/05/29/29-strange-hobbies/

https://www.lifie.lk/2019/05/02/02-cool-things-to-start-collecting/

https://www.lifie.lk/2018/12/16/16-hobbies-for-2019/

 

එහෙමනම් මොකද කියන්නේ? චැලේන්ජ් එක භාර ගන්නවද? කරන්න තියෙන්නේ තමන් කැමති එක චැලේන්ජ් එකක් හරි චැලේන්ජ් කීපයක් හරි මෙතනින් තෝරගෙන, ඒක තමන්ගේ ෆේස්බුක් වෝල් එකේ අලවලා, තමන්ගේ යාලුවෝ පස් දෙනෙක්වත් ටැග් කරලා වැඩේ පටන් ගන්න විතරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *