වින්ස්ටන් චර්චිල් කරපු අහස පොළොව නුහුලන අපරාධ

වින්ස්ටන් චර්චිල්ව බටහිර ලෝකය තුළ විශේෂයෙන්ම මහා බ්‍රිතාන්‍ය තුළ පිළිගැනෙන්නේ අසාමාන්‍ය වීරයෙක් විදිහට. බ්‍රිතාන්‍යයේ කිසිම අගමැතිවරයෙක්ට නොලැබුණ ආකාරයෙන් ගෞරවයක් චර්චිල්ට ලැබෙනවා. ඒකට හේතුව තමයි දෙවැනි ලෝක යුද්ධ සමයේදී මුළු යුරෝපයම වගේ නාසි ජර්මනිය යටත් වෙද්දි මහා බ්‍රිතාන්‍ය ආරක්ෂා කරගනිමින් අවසානයේදී නාසි ජර්මනිය පරාජය කිරීමට කටයුතු කිරීම. හැබැයි චර්විල් කියන්නේ සුදු චරිතයක් නම් නෙමෙයි. හිට්ලර් වගේම අපරාධකාරයෙක්. මේ අපිට බටහිර මාධ්‍ය තුළින් වැඩිපුර අහන්න නොලැබෙන චර්චිල්ගේ බලු වැඩ කීපයක්.

 

1. ඇෆ්ගනිස්ථානයේ සිදුකළ අපරාධ 

යුද සෙබළෙක් විදිහට කටයුතු කරපු චර්චිල් කාලයක් ඇෆ්ගනිස්තානය සේවය කළා. ඒ වන විට ඇෆ්ගනිස්ථානයේ හිටපු පශ්තුන්ත් කියන ගෝත්‍රික ප්‍රජාවෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට දැඩි තර්ජනයක් එල්ල වෙමින් පැවතුණේ. බ්‍රිතාන්‍ය හමුදාව මේ ගෝත්‍රයට එරෙහිව දැවැන්ත මර්දනයක් දියත් කළා. ඔවුන්ගේ ගම්මාන පිටින් විනාශ කරමින් හමුවෙන සෑම ගෝත්‍රිකයන්වම මරා දැමීමට කටයුතු කළා. සෙවණ දිය හැකි මට්ටමේ සෑම ගසක්ම කපා දැමීමට කටයුතු කරපු චර්චිල් ඇතුළු සෙබළුන් ගෝත්‍රිකයන්ගේ ආහාර ගබඩා සම්පුර්ණයෙන්ම ගිනි තැබීමට කටයුතු කළා. මේ සියල්ලන්ගෙන්ම ඔවුන් බලාපොරොත්තු වුණේ සුදු ජාතිකයන්ගේ අද්විතීය ස්වභාවය මේ ගෝත්‍රික ජනතාවට ඒත්තු ගැන්වීම.

 

2. ග්‍රීසියේ සිදුකළ ඝාතන 

1944 වර්ෂයේ දී ජයග්‍රාහී බ්‍රිතාන්‍ය හමුදා ග්‍රීසියේ ඇතැන්ස් නුවරට ඇතුළු වුණා. ග්‍රීසියේ ගරිල්ලා සෙබළුන් ඒ වන විටත් නාසී හමුදා වලට දැඩි ප්‍රතිරෝධයක් එල්ල කර තිබීම නිසා බ්‍රිතාන්‍ය හමුදාවලට ග්‍රීසියේ සටන් කිරීම පහසු වුණා. නමුත් චර්චිල්ට ග්‍රීසියේ ගරිල්ලා සෙබළුන් ගැන ප්‍රශ්නයක් තිබ්බා. ඒ තමයි ඔවුන්ගෙන් ඇතැම් පිරිසක් කොමියුනිස්ට්වාදීන් වීම. උපන්ගෙයි කොමියුනිස්ට් විරෝධියෙකු  වුණු චර්චිල් තම සෙන්පතියන් හරහා ඔවුන්ට නිරායුධ වන ලෙස දැනුම් දෙනු ලැබුවා. චර්චිල්ගේ මේ නියෝගයට ඒ ගරිල්ලා පිරිස සාමකාමීව විරෝධය දැක්වූයේ බ්‍රිතාන්‍යයන් තම මිතුරන් ලෙස සලකමින්. නමුත් චර්චිල් එම සාමකාමී විරෝධතාවලට උණ්ඩයෙන් පිළිතුරු දුන්නා. විරෝධතාකරුවන් විසි අටක්  මියගිය අතර සියයකට අධික පිරිසක් තුවාල ලැබුවා.

 

3. බෙන්ගාල සාගතය 

චර්චිල් මේ ලෝකයේ වැඩියෙන්ම වෛර කරපු එක ජාතියක් තිබ්බා. ඒ ජාතිය ජර්මන් කියලා හිතුවා නම් ඔබ වැරදියි. චර්චිල් වැඩිපුරම වෛර කරලා තියෙන්නේ ඉන්දියානුවන්ට.

මිලේච්ඡ ආගමක් අදහන මිලේච්ඡ ජාතියක් විදිහටයි ඉන්දියානුවන්ව චර්චිල් හඳුන්වලා තියෙන්නේ. දෙවැනි ලෝක යුද්ධය පැවැත්වෙන අතරතුර බෙංගාලි ජනතාව වෙනුවෙන් වෙන් කර තිබූ ආහාර ටොන් මිලියන ගණනක් යුරෝපය වෙත ගෙන ඒමට චර්චිල් කටයුතු කළා. ඒ යම් විදිහකින් යුරෝපය තුළ සාගතයක් ඇති වුණොත් ඊට මුහුණදීමට. නමුත් මේ හේතුව නිසා බෙංගාලයේ ඇතිවූ සාගතයෙන් ඉන්දියානුවන් ලක්ෂ ගණනක් මිය ගියා. මේ ගැන කම්පාවට පත්  නිලධාරීන් මේ පිළිබඳව යළි සලකා බලන ලෙස චර්චිල්ට දැනුම් දුන් සෑම අවස්ථාවේදීම ඔහු එක ප්‍රශ්නයක් ඇහුවා.

ඒ ප්‍රශ්නේ තමයි “තාම ගාන්ධි මලේ නැද්ද?”

 

4. ඉරාකයට බෝම්බ හෙලීම 

චර්චිල් කියන්නේ ලැජ්ජ නැති පුද්ගලයෙක් විදිහට සලකන්න පුළුවන් අවස්ථාවක් තමයි ජීව විද්‍යාත්මක අවි භාවිතය කෙරෙහි ඔහු දැක්වූ කැමැත්ත. ශිෂ්ට සම්පන්න යුරෝපීයයන් මේ උපක්‍රමයට එතරම් කැමති නොවුණු වග දන්නා ඔහු ගෝත්‍රික ජනතාවට විෂ වායු වර්ග අඩංගු බෝම්බ හෙලීම සුදුසුයි කියලා නිර්දේශ කළා. ඉරාකයේ විවිධ ගෝත්‍ර වලට අයත් ජනතාව බ්‍රිතාන්‍යයන්ට එරෙහිව කැරලි ගහපු සෑම අවස්ථාවකදීම බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව බෝම්බ හෙළමින් ගම් පිටින් විනාශ කරන්න ගත්තා. විනාඩි 45 ක වගේ සුළු කාලයක් තුළ ගම් පිටින් විනාශ කර දැමීමට චර්චිල්ගේ අණ ලැබුණු බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව කටයුතු කළා.

 

5. කෙන්යාව කොල්ලකෑම

1950 වන විට කෙන්යාව තුළ නිදහස් අරගලයේ ගිනි ගිනි පුපුරු මතුවෙමින් තිබ්බා. තාවකාලික පරාජයකින් පස්සේ නැවතත් බ්‍රිතාන්‍ය අගමැති ධූරයට පත් වෙලා හිටපු චර්චිල් කෙසේ හෝ කෙන්යාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ තබා ගැනීමට උපරිම උත්සාහ කළා. කෙන්යානු ජනතාවගේ ඉඩම් අයිතිය කොල්ලකෑමට කටයුතු කළ ඔහු ඒ සඳහා විරුද්ධ වූ කෙන්යානුවන් පහළොස් දහසක් පමණ සිර කඳවුරු වලට ගාල් කිරීමට කටයුතු කළා. දරුණු වධ දීම්, කාන්තාවන් දූෂණය කිරීම, පුළුස්සා දැමීම, පිරිමින්ගේ අංග ඡේදනය කිරීම වැනි දේවල් මේ කඳවුරු තුළ සාමාන්‍ය දේවල් බවට පත් වුණා.

 

6. ඩ්‍රෙස්ඩන් නගරයට බෝම්බ හෙලීම 

1945 දෙවැනි ලෝක යුද්ධය අවසාන වෙන්නට ඔන්න මෙන්න කියා තිබිය දී ජර්මනියේ සැක්සනි ප්‍රාන්තයේ අගනුවර වන ඩ්‍රෙස්ඩන් නුවරට එක දිගට බෝම්බ හෙලන ලෙස චර්චිල් විසින් අණ කරනු ලැබුවා. බොහෝ ඉතිහාසඥයන් කියන පරිදි යුදමය වශයෙන් ඩ්‍රෙස්ඩන් නගරය එතරම් වැදගත් මර්මස්ථානයක් නෙමෙයි. මේ බෝම්බ ප්‍රහාර වලින් සිවිල් වැසියන් 25,000 ත් 30,00ත් අතර ප්‍රමාණයක් මිය ගිය අතර මේ මඟින් චර්චිල් අපේක්ෂා කළේ ජනතාව බියවැද්දීම සහ බ්‍රිතාන්‍ය නගර වලට බෝම්බ හෙලීමේ පලිය ලබා ගැනීම පමණයි.

 

7. වහාබ්වාදයේ මිත්‍රයා 

සෞදි අරාබිය වහාබ්වාදයට ගොදුරු වන විට චර්චිල් ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් වැළකී සිටියා. ඊට හේතුව ලෙස ඔහු ලබා දුන්නේ වහාබ්වාදය ප්‍රචාරය කිරීමට දායක වන ප්‍රධානම පුද්ගලයා වන සෞදි අරාබියේ එවකට රජු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ මිත්‍රයෙකු වීමයි. වහාබ්වාදීන් සෞදි අරාබියේ බලය අල්ලා ගැනීමට සිදුකළ අමානුෂික ක්‍රියා මාර්ග පිළිබඳව චර්චිල් හොඳින් දැන සිටි බව එවකදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අමතා ඔහු සිදු කළ කතාවලින් පැහැදිලි වෙනවා. මේ නිසා අද දක්වාම ලෝකය මුහුණ දෙන ප්‍රධාන පෙළේ ගැටලුවකට දායක වුණු පුද්ගලයෙක් විදිහටත් චර්චිල්ව හඳුන්වන්න පුළුවන්.

 

චර්චිල්ගේ මේ අමනුස්ස කම් මකාදමන්න “The Daekest Hour” වගේ චිත්‍රපටි උත්සාහ කරලා තියෙනවා. සමහරවිට තමන්ගේ යුද වීරයා අමනුෂ්‍යයෙක් විදියට පිළිගන්න බ්‍රිතාන්‍යයන් කැමති නැතුවත් ඇති. මේ ගැන ඔබේ අදහස් පළකරන්න අපේ කමෙන්ට් සෙක්ෂන් එක අදත් විවෘත කරලා තියෙනවා. ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *