සුපර් ටේස්ටි බීෆ් රෙසිපි 7ක්

 

මේ නම් බීෆ්  ෆෑන්ස්ලාට විතරමයි. අනික් අය අයින් වෙලා පයින් ගියාට කාරි නෑ ඕන්. අද කියලා දෙන්න යන්නෙ රස වැඩිවෙන්න වගේම ගොඩක් ගුණදායක බීෆ් රෙසිපි ටිකක් ගැනයි.

 

1. බීෆ් බ්ලැක් පෙපර් ෆ්‍රයි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බීෆ් ග්‍රෑම් 500
  2. ලුණු 
  3. කහකුඩු තේ හැඳි 1/2
  4. තෙල් මේස හැඳි 2
  5. ඉඟුරු, සුදුළූණු පේස්ට් එක
  6. කපාගත් ළූණු ගෙඩි 2
  7. දික් අතට කපාගත් අමුමිරිස් කරල් 3
  8. කරපිංචා කොළ කිහිපයක්
  9. ගම්මිරිස්කුඩු තේ හැඳි 3
  10. දෙහි යුෂ මේස හැඳි 1

 

  • කපාගත් බීෆ් වලට ලුණු හා කහකුඩු දාලා කලවම් කරලා අවම පැයක් විතර මැරිනේට් කරගන්න.
  • මැරිනේට් කරගත් බීෆ් ටික භාජනයකට දාලා ගින්දර සාමාන්‍ය ගාණට දාල පියනකින් වහලා තියන්න. ටිකකින් හැඳිගාලා ආයෙ වහගන්න. වතුර තෙල් දාන්න අවශ්‍ය නෑ මස් වලින්ම උනන වතුරෙන් මේක තැම්බෙන්න අරින්න.
  • විටින් විට කලවම් කර කර අඩිය අල්ලන්න නොදී බීෆ් ටික උයාගන්න. 
  • මස් ටික හොඳට තැම්බුනාම තෙල් ටික එකතු කරගන්න. දැන් බීෆ් ටික ලාවට දුඹුරු පාට වෙනකල් තෙම්පරාදු කරගන්න. 
  • ටිකකින් ඉඟුරු, සුදුළූණු පේස්ට්, ළූණු, අමුමිරිස් හා කරපිංචා ටිකත් දාගන්න. දැන් කලවම් කරන ගමන් ගම්මිරිස්කුඩු ටික දාගන්න.
  • ලිපෙන් බාන්න කිට්ටුව දෙහි යුෂ ටික එකතු කරගන්න. කලවම් කරල ලිපෙන් ඉවත් කරගන්න.

 

2. බීෆ් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පොඩි කෑලි කපාගත් බීෆ් ග්‍රෑම් 500
  2. තෙල් මේස හැඳි 5
  3. චොප්කරගත් සුදුළූණු තේ හැඳි 2
  4. චොප් කරගත් ළූණු ගෙඩියක්
  5. කුරුඳු පොතු කෑල්ලක්
  6. කහකුඩු තේ හැඳි 1/2
  7. මිරිස්කුඩු මේස හැඳි 1
  8. විනාකිරි මේස හැඳි 2
  9. ලුණු
  10. තුනපහ කුඩු මේස හැඳි 1
  11. තක්කාලි සෝස් මේස හැඳි 4
  12. ගම්මිරිස්කුඩු තේ හැඳි 1
  13. වතුර කෝප්ප 2
  14. කොටුවට කපාගත් තක්කාලි ගෙඩි 2
  15. කොටුවට කපාගත් ළූණු ගෙඩි 2
  16. සැල්දිරි ඉත්තක් 
  17. කපාගත් බෙල්පෙපර් පාට 3න් ගෙඩි 1/2 බැඟින්
  18. සීනි තේ හැඳි 1

 

  • පෑන් එකට තෙල් ටික දාලා සුදුළූණු දාලා තෙම්පරාදු  කරගන්න. ටිකකින් චොප්කරගත් ළූණු, කුරුඳු පොතු, කහකුඩු හා මිරිස්කුඩු එකතු කරලා කලවම් කරන්න.
  • එයට කපාගත් බීෆ් ටික දාලා හොඳට කලවම් කරගන්න. ඒ එක්කම විනාකිරි ටික දාගන්න. රස අනුව ලුණු දාගන්න. මද ගින්දරේ පිසගන්න. 
  • ටිකකින් තුනපහ කුඩු, තක්කාලි සෝස්, ගම්මිරිස්කුඩු, සීනි එකතු කරන් වතුර කෝප්ප 2ත් දාලා බීෆ් ටික තැම්බෙන්න වහලා තියන්න විනාඩි 10 ක් වගේ යනකොට තැම්බිලා තියෙයි. 
  • දැන් ලොකුවට කපාගත් තක්කාලි, ළූණු, බෙල්පෙපර්, සැල්දිරි ටික එකතු කරලා කලවම් කරන්න. විනාඩියක් විතර පිසගෙන ලි​පෙන් ඉවත් කරගන්න. 

 

3. හන්ගේරියන් බීෆ් ගුලාශ් ( Beef Goulash )

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බීෆ් ග්‍රෑම් 500
  2. කොටුවට කපාගත් ළූණු ගෙඩි 2
  3. සූදුරු කුඩු තේ හැඳි 1 1/2
  4. ගම්මිරිස්කුඩු තේ හැඳි 1
  5. මිරිස්කුඩු තේ හැඳි 2
  6. තුනපහකුඩු තේ හැඳි 2
  7. තක්කාලි පේස්ට් මේස හැඳි 1
  8. චොප්කරගත් සුදුළූණු තේ හැඳි 1
  9. චිකන් බ්‍රොත් කෝප්ප  2
  10. කුරුඳු කොළයක්
  11. ලුණු
  12. සීනි තේ හැඳි 1
  13. සෝයාසෝස් මේස හැඳි 1

 

  • බීෆ් ටික තරමක කුඩා කෑලි වලට කපාගන්න. පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා බීෆ් දුඹුරු පාට වෙනකල් බැදගන්න. 
  • දැන් බීෆ් ටික පෑන් එකෙන් අයින් කරලා ඒ පෑන් එකටම ළූණු ටික  දාගන්න. අවශ්‍ය නම් තව තෙල් චුට්ටක් දාගන්න.
  • ළූණු හොඳට බැදුනම බීෆ් එකට කලවම් කරගන්න.
  • දැන් ඒ පෑන් එකම ලිපේ තියලා සූදුරු, ගම්මිරිස්කුඩු, මිරිස්කුඩු හා තුනපහකුඩු ටිකත් එකතු කරගන්න. විනාඩි 3ක් විතර බැදෙන්න අරින්න.
  • මේකට චිකන් බ්‍රොත් කෝප්ප 1ක් එකතු කරල කලවම් කරගන්න. ටිකක් උකු වෙනකම් අඩු ගින්දරේ පිසගන්න. 
  • මේකට බීෆ් ටික කලවම් කරගන්න. තක්කාලි පේස්ට් එක, සුදුළූණු ටික එක්ක චිකන් බ්‍රොත් ඉතුරු කෝප්පෙත් දාගන්න. කුරුඳු කොළයක් තියනවනම් දාගන්න.‍ රස අනුව ලුණු දාගෙන සීනි සහ සෝයාසෝස් ටික දාගන්න.
  • ඔක්කොම හොඳට කලවම් කරගන්න. මේක අඩු ගින්දරේ පැයක් වගේ හින්​දගන්න. ග්‍රේවි ගතිය තියෙද්දි ලිප ඕෆ් කරගන්න.

 

4. ක්‍රිස්පි බීෆ්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තීරු කපාගත් බීෆ් ග්‍රෑම් 300
  2. ඉඟුරු, සුදුළූණු පේස්ට් එක තේ හැඳි 1
  3. කෝන්ෆ්ලා තේ හැඳි 3
  4. හාල්පිටි තේ හැඳි 3
  5. මිරිස්කුඩු තේ හැඳි 2
  6. සෝයාසෝස් තේ හැඳි 1/2
  7. චිලී සෝස් තේ හැඳි 1/2
  8. තක්කාලි සෝස් මේස හැඳි 1/2
  9. බිත්තර 1/2
  10. ලුණු

 

  • කපාගත් බීෆ් වලට මේ ඔක්කොම දාලා කලවම් කරලා පැයක් දෙකක් මැරිනේට් කරගන්න. දැන් ගැඹුරු තෙලේ දාලා බැදගන්න. කැමති සෝස් එකක් එක්ක කන්න පුළුවන්.

 

5. බීෆ් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පොඩියට කෑලි කපාගත් බීෆ් ග්‍රෑම්  200
  2. සැල්දිරි ටිකක්
  3. චොප්කරගත් සුදුළූණු මේස හැඳි 1
  4. පොඩියට කපාගත් තක්කාලි ගෙඩි 1
  5. කොටුවට කපාගත් අල ගෙඩි 2
  6. කොටුවට කපාගත් කැරට් අල 2
  7. බෝංචි කරල් කිහිපයක්
  8. ගෝවා 
  9. තුනපහකුඩු තේ හැඳි 2
  10. ගම්මිරිස්කුඩු හා ලුණු රස අනුව

 

  • බීෆ් වලට ලුණු දාලා වතුර කෝප්ප 1/2ක් දාලා තම්බගන්න.
  • වෙනම භාජනයකට තෙල් ටිකක් දාලා ලිපේ තියලා ඒකට සුදුළූණු හා ළූණු දාලා තෙම්පරාදු  කරගන්න.
  • ටිකකින් තක්කාලි හා අනික් එලවළු ටික දාගන්න. කලවම් කරන ගමන් තුනපහකුඩු හා ගම්මිරිස්කුඩු ටික දාගන්න.
  • එළවළු තැම්බීගෙන එනකොට වතුර කෝප්ප 2ක් හෝ අවශ්‍ය ප්‍රමාණයෙන් දාලා තම්බගත්ත බීෆ් ටික එකතු කරගන්න. අන්තිමට කපාගත් ගෝවා ටික හා සැල්දිරි  දාගෙන උතුරවාගෙන ලිපෙන් ඉවත් කරගන්න.

 

6. බේක්ඩ් බීෆ්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තරමක් ලොකු කෑලි කපාගත් බීෆ් ග්‍රැම් 500
  2. මිරිස්කුඩු මේස හැඳි 2
  3. කහකුඩු තේ හැඳි 1/2
  4. තුනපහකුඩු තේ හැඳි 1
  5. චොප්කරගත් ඉඟුරු සුදුළූණු මේස හැඳි 1
  6. ඔලිව් ඔයිල් මේස හැඳි 2
  7. ඔයිස්ටර් සෝස් තේ හැඳි 2
  8. ගම්මිරිස්කුඩු මේස හැඳි 1
  9. ලුණු අවශ්‍ය පමණ
  10. දෙහි යුෂ ටිකක්
  11. තල ඇට ටිකක්

 

  • බීෆ් වලට පිහියකින් පොඩි පොඩි කැපුම් දාගන්න. ඉහත සියල්ලම එකතු කරලා පේස්ට් එකක් හදාගෙන බ්‍රශ් එකකින් බීෆ් වල ගාගන්න.
  • මේක අවම පැය 4 ක් හෝ උපරිම පැය 24ක් මැරිනේට් වෙන්න ෆ්‍රිජ් එකට දාලා 200°C ට විනාඩි 45 – 55ක් බේක් කරගන්න.
  • බේක් වෙලා මදි වගේනම් තව විනාඩි 15ක් දාගන්න.

 

7. මසාලා බීෆ්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තරමක කෑලි කපාගත් බීෆ් ග්‍රෑම් 500
  2. ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැඳි 3
  3. මිරිස්කුඩු තේ හැඳි 3
  4. කහ තේ හැඳි 2
  5. වතුර කෝප්ප 1
  6. තෙල් මේස හැඳි 3
  7. වියලි මිරිස් කරල් 2
  8. කරපිංචා ටිකක්
  9. චොප්කරගත් ළූණු ගෙඩි 2
  10. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
  11. මාදුරු කුඩු තේ හැඳි 1
  12. කපාගත් තක්කාලි ගෙඩි 2

 

  • බීෆ් ටික ප්‍රෙශර් කුකර් එකට දාලා ඉඟුරු, සුදුළූණු පේස්ට් තේ හැඳි 2, මිරිස්කුඩු තේ හැඳි 2, කහකුඩු තේ හැඳි 1 හා වතුර එකතු කරලා විනාඩි 15ක් කුක් කරගන්න. 

 

දැන් මසාලා එක හදමු.

 

  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට තරමක කෑලි කඩාගත් වියලි මිරිස් කරල් 2 ක්, කරපිංචා, ළූණු ටික දාගන්න. මේ ඔක්කොම තෙම්පරාදු කරගන්න.
  • ඉතුරු ඉඟුරු, සුදුළූණු පේස්ට් තේ හැන්ද එකතු කරගන්න.
  • මිරිස්කුඩු, කහකුඩු හා කොත්තමල්ලි කුඩු තේ හැඳි 1 බැඟින් දාගන්න. හොඳට කලවම් කරලා මාදුරු කුඩු තේ හැඳි 1කුත් දාගන්න. තක්කාලි ටිකත් එකතු කරගෙන විනාඩි 5ක් විතර වහලා තියලා පිස ගන්න.
  • පිස ගත්තු බීෆ් ටික දාලා හොඳට කලවම් කරගන්න. ලුණු රස අනුව දාගන්න. තව විනාඩි 10ක් වගේ පිසගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *