අපේ කලා ලෝකයේ තාත්තලා සහ පුතාලා

අපි ගිය සතියේ කලා ලෝකයේ අම්මලා දූලා ගැන කතා කරා කරා. ඒ නිසා අපි හිතුවා මේ සතියේ කලා ලෝකයේ තාත්තලා සහ පුතාලා ගැන කතා කරන්න.

 

1. ගාමිණී ෆොන්සේකා සහ දමිත් ෆොන්සේකා

 

ගාමිණී ෆොන්සේකා ගැන ආපහු අමුතුවෙන් කියන්න දෙයක් නැහැයි කියලා අපි හිතනවා. මොකද ගාමිණීගෙන් තොරව සිනමාවක් ගැන කතා කරන්න තියා හිතන්නවත් බැහැ කියල කිව්වොත්  ඔයාලා හැම හැම දෙනාම ඒ කතාවට එකඟ වේවි. කඩවසම් බවට එක් වුණ රංගන පෞරුෂයත් එක්ක ගාමිණී ලංකාවේ සිනමාවේ අයිකන් එකක් බවට පත් වුණා. ගාමිණී තමන්ගෙ චිත්‍රපටිවලින්ම තමන්ගෙ පුතා වුණු දමිත් ෆොන්සේකා වත් සිනමාවට හඳුන්වලා දුන්නා. නමුත් ගාමිණී තරම් නම් සිනමාවේ දුර ගමනක් යන්න දමිත් ෆොන්සේකාට බැරි වුණා. චිත්‍රපටි කීපයකට පමණක් දායක වුණු දමිත් පස්සේ ටිකෙන් ටික සිනමාවෙන් සමු ගත්තා.

 

2. පද්මසිරි කොඩිකාර සහ විශ්ව කොඩිකාර 

තාත්තට වඩා පුතා ජනප්‍රිය වෙච්ච ඒ සුවිශේෂී අවස්ථාවක් විදිහට මේ තාත්තවයි පුතාවයි හඳුන්වන්න පුළුවන්. ඒකට එක හේතුවක් වුණේ තාත්තා චිත්‍රපට සහ ටෙලි නාට්‍යය නිෂ්පාදකවරයෙක් වීමත් පුතා නළුවෙක් වීමත්. යුගයෙන් යුගයට, සූරයන් අතර වීරයා, නොහඬන් ලඳුනේ වගේ චිත්‍රපටිත් වැලි කතරට අලුත් ඉරක්, කෝරලේ මහත්තයා, සොරි මැඩම් වගේ ටෙලි නාට්‍යයත් පද්මසිරි කොඩිකාරගේ නිර්මාණ ලයිස්තුවට ඇතුළත් වනවා. විශ්ව දැන් අවුරුදු දහයක වගේ ඉඳන් පීක් එකේ ඉන්න නළුවෙක්. අද ආවා හෙට ගියා නළුවන් අතර විශ්ව සුවිශේෂී වෙන්නේ ඒ නිසායි.

 

3. ධම්ම ජාගොඩ සහ දිනිඳු ජාගොඩ 

ධම්ම ජාගොඩ කියන්නේ අපේ රටේ නිසි පරිදි ඇගයීමට ලක් නොවෙච්ච චරිතයක් කිව්වත් වරදක් නැහැ. වේදිකා නාට්‍ය නිර්මාණ ශිල්පීයෙක්, නළුවෙක්, රූපවාහිනී කලාවේ පුරෝගාමියෙකු විදිහට ධම්ම අපේ රටේ බොහෝ ක්ෂේත්‍ර වලට සේවය කරලා තියෙනවා. හැබැයි රටේ අවාසනාවකට වගේ අඩු වයසින් ධම්ම මිය යනවා. ධම්මගේ උරුමය අරගෙන නළුවෙක් විදිහට ක්ෂේත්‍රයේ ගමනක් යන්නේ දිනිඳු ජාගොඩ. දිනිඳුව මුලින්ම දැකලා සිනමාවට සුදුසුයි කියලා සක්මන් මලුව චිත්‍රපටියේ චරිතයක් ලබා දෙන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස්. ඊට පස්සේ දිනිඳු ටෙලිනාට්‍ය ගණනාවකම රඟපෑවත් මෑතක දී නම් කලා නිර්මාණයකින් අපිට ඔහුව මුණ ගැහුණේ නැහැ.

 

4. ෆ්‍රෙඩී සිල්වා සහ ජනේෂ් සිල්වා 

අපේ සිනමාවේ විකට රජු විදිහට සලකුණු ෆ්‍රෙඩී සිල්වා කියන්නේ අපේ සිනමාවේ තවත් අයිකන් එකක්. ෆ්‍රෙඩී සිනමාව තුළ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගා ගත්තා. සිංහල සිනමාවේ ආරම්භක අවදියේ හිටපු එඩී ජයමාන්න වැනි විකට නළුවන්ට වඩා සමාජයට සමීප වීමේ ගතියක් ෆ්‍රෙඩීගේ විහිළු තුළ තිබ්බා. ඒ වගේම ෆ්‍රෙඩී දක්ෂ ගායකයෙක් විදියටත් යම් ගමනක ආවා. ෆ්‍රෙඩීගේ මරණයෙන් පස්සේ ඔහුගේ පුතා වුණු ජනේෂ් සිල්වා ෆ්‍රෙඩීගේ අඩුපාඩුව පිරවීමට යම් පමණකින් උත්සාහ කළත් සිනමාවේ බිඳ වැටීමත් එක්ක ජනේෂ්ට ඒ සඳහා ගැලපෙන අවස්ථා හිමි වුණේ නැහැ. ටික කාලයක් පිළිකා රෝගයකින් පීඩා විඳපු ජනේෂුත් මීට වසර කීපයකට පෙර අපෙන් සමුගෙන ගියා.

 

5. වික්ටර් වික්‍රමගේ සහ සාලිය සත්‍යජිත් 

සාලිය සත්‍යජිත්ට ඒ නම ලැබිලා තියෙන්නේ හරි අපූරු විදිහකට. සාලිය ඉපදුනා කියන ආරංචිය ලැබෙද්දී සාලියගේ තාත්තා වුණු වික්ටර් වික්‍රමගේ ටවර් හෝල් නාට්‍යයක සාලිය කුමාරයාගේ චරිතය රඟපාමින් ඉඳලා තියෙන්නේ. ඒ නිසයි ඔහු තමන්ගේ පුතාට සාලිය කියන නම දාලා තියෙන්නේ. ටවර් හෝල් වේදිකා නාට්‍ය නිර්මාණ ගණනාවක චරිත නිරූපණය කරපු වික්ටර් වික්‍රමගේ අවස්ථා කීපයක සිනමා නිර්මාණවලට සම්බන්ධ වුණා. ඒ අතරෙන් කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ නව නිෂ්පාදනයේ වික්ටර්ගේ චරිතය සුවිශේෂයි. සාලිය සත්‍යජිත් නම් වේදිකා නාට්‍යවලට වඩා ටෙලි නාට්‍ය සහ සිනමා නිර්මාණවලින් ප්‍රේක්ෂකයාට සමීප වුණා.

 

6. සමන් වීරමන් සහ චත්‍ර වීරමන් 

මේ තාත්තයි පුතයි දෙන්නගෙම නම් සමහර වෙලාවට ප්‍රේක්ෂකයෝ එච්චර දන්නේ නැහැ. හේතුව මේ දෙන්නම විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණ ප්‍රේක්ෂකයන්ට සමීප කරන්න දායක වෙන අය වුණත් නිර්මාණය තුළ ඔවුන්ව දැකගන්න වෙන්නේ නැති නිසා. සමහර විට මේ කියපු දේ ඕගොල්ලන්ටත් එච්චර තේරුම් යන්නේ නැතුව ඇති. හරි අපි මෙහෙම කියන්නම් චත්‍ර වීරමන් කියන්නේ ඕගොල්ලො හැමෝම ආදරය කරපු ආලෝකෝ උදපාදී චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා. එතකොට සමන් වීරමන් තමයි ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ.

 

7. කරුණාරත්න අබේසේකර සහ දිලීප අබේසේකර 

කරුණාරත්න අබේසේකර කියන්නේ සිංහල ගීත කලාවේ ලෙජන්ඩ් එකක්. ඒ වගේම දිලීප අබේසේකර කියන්නේ ලංකාවේ දැන්වීම්කරණ කලාවේ ලෙජන්ඩ් එකක්. කරුණාරත්න අබේසේකර ඊට අමතරව ගුවන් විදුලි නිවේදකයෙක් විදිහට ජනතාවට සමීප වෙද්දී දිලීප චයිනාමන් වගේ කෘතියක් හරහා පරිවර්තකයෙක් විදිහටත් ජනතාවට සමීප වෙනවා. දිලීප ඉපදුණාම “දිලීප පොඩි පුතු” කියලා දිලීපට ගීතයක් ලියන කරුණාරත්න අබේසේකර දිලීපගේ සාර්ථකත්වය දැක ගන්න කලින් ජීවිතයට සමු දෙනවා. හැබැයි කරුණාරත්න අබේසේකර ඉන්න තැනක ඉඳන් තමන්ගේ පුතා ගැන අනිවාර්යෙන්ම ආඩම්බර වෙනවා ඇති .

 

මේ ලැයිස්තුවට ඇතුළත් විය යුතු තවත් තාත්තලා පුතාලා ඉන්නවා නම් ඒ අය ගැන කමෙන්‍ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් හරහා අපිට මතක් කරන්න ඔබට පුළුවන්. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *