ෆේස් මාස්ක් සහ කෝවිඩ්-19 ගැන දන්න නොදන්න කතා…

අපි හැමෝම මූණ දීලා ඉන්නේ ශීඝ්‍රයෙන් පැතිරිලා යන ගෝලීය ව්‍යාප්ත වසංගතයකට කියන එක දැන් වෙනකොට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේ වෙනකොට කොවිඩ්-19 වලින් බේරිලා ඉන්නේ පොඩි පොඩි දූපත් රාජ්‍ය කීපයක් වීතරයි. දැන් ලංකාවේත් ඇඳිරි නීතිය දාලා තත්වය පාලනය කරන්න උත්සාහ ගන්න අතරේ, ලෝකේ අනික් රටවලුත් යම් යම් ලොක් ඩවුන් ක්‍රමවේද වලට ගිහිල්ලා ඉන්නවා. කොහොම හරි කතාව ඒක නෙවෙයි, කතාව තමයි ෆේස්මාස්ක්ස්. ඇත්තටම ෆේස්මාස්ක් දාන්න අවශ්‍යද නැද්ද කියන එක ගැන මේ වෙනකොට තියෙන්නේ ලොකු අවුලක්. යම් යම් නීති ආයතන වලින් ඒක මුලින් අවුල් කලා, මාධ්‍ය ආයතන වලින් ඉතුරු ටිකත් අවුල් කලා. ආන්න ඒ නිසා තමයි අපි හිතුවේ මේ ෆේස් මාස්ක් කතන්දරේ මුල ඉඳලම පොඩ්ඩක් ලිහා ගන්න බලන එක හොඳයි කියලා. 

 

1. ෆේස් මාස්ක් ඕනෙද එපාද?

අන්න හොඳ ප්‍රශ්නයක්. ඔය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ මෙහෙමයි. ඔබ නීරෝගී පුද්ගලයෙක් නම්, ෆේස් මාස්ක් දාන්න ඕන ඔබ කොවිඩ්-19 රෝගියෙකුට හෝ කොවිඩ්-19 රෝගියෙක් බවට සැක කරන කෙනෙක්ට ඇප උපස්ථාන කරනවා නම් විතරයි. ඒ ඇරෙන්න ඔබට කැස්ස හෝ කිවිසුම් යෑම තියෙනවා නම් ඒත් ෆේස් මාස්ක් එකක් දාන්න ඕන. කොවිඩ්-19 රෝගී පුද්ගලයෙක් නම් ඉතින් ගෙදර ඉඳන් ෆේස් මාස්ක් දාලා හරියන්නෙ නෑ. කෙලින්ම හදිසි ඇමතුම් අංකෙකට කතා කරලා ඉස්පිරිතාලේ යන්න ඕන. 0710107107 හෝ 011307 103 අංක වලට කතා කරලා වැඩේ කරගන්නත් පුළුවන්.

හැබැයි තව එකක්. දැන් ඔය රට වටේ යන ඩිලිවරි සේවා තියෙනවනේ. ඔබ ඒ ඩිලිවරි සේවාවක් කරන කෙනෙක් නම්, ඒකත් එක්ක රට වටේ යන්න වෙලා නම්, ෆේස් මාස්ක් එකක් දාගෙන යන්න කියලා අදාළ අංශ වලින් කියනවා. ඒක පදනමක් තියෙන කතාවක්. ඒ නිසා එහෙම ඩිලිවරි යනවා නම් ෆේස් මාස්ක් දාමු.

දැන් පැහැදිලියිනේ. ඔබ නීරෝගී නම්, ඔබ කොවිඩ්-19 රෝගියෙකුට ඇප උපස්ථාන කරන්නෙත් නැතිනම්, ඉන්නේත් ගෙදරට වෙලා නම්, ෆේස් මාස්ක් දාන්න ඕන නෑ. හැබැයි මේ දවස් වල එලියට බහිනවා නම් මාස්ක් එකක් දාගෙනම එලියට යන්න කියලා පොලිසිය කියනවා කියලා ලංකාදීපේ කියනවා. ඒකත් මතකේ තියාගන්න.

 

2. ඇයි නීරෝගී නම් ෆේස් මාස්ක් එපා කියන්නේ?

හේතුව සරලයි. මේ වෙනකොට ලෝකේ ෆේස්මාස්ක් ඉල්ලුමට සැපයුම අඛණ්ඩව ලැබෙන්නේ නෑ. අපිට මතකයිනේ පහුගිය දවස් වල කාලෙන් කාලට ආපු ෆේස් මාස්ක් හිඟය. ඒ වගේම රුපියල් දහයට දෙන සරල සර්ජිකල් ෆේස් මාස්ක් එක කළු කඩ ගාණට විකුණන්නත් පටන් ගත්තා. දැන් එතකොට මොකද වෙන්නේ? පුළුවන් මිනිස්සු ෆේස් මාස්ක් අරගෙන ස්ටොක් කරගන්නවා. බැරි මිනිස්සු රට වටේ ෆේස් මාස්ක් හොයනවා. හැබැයි බරපතලම දෙය. මෙහෙම යනකොට ෆේස් මාස්ක් අවශ්‍ය වෙන ඉදිරි පෙරමුණේ සටන් කරන මිනිස්සුන්ට ෆේස් මාස්ක් නැතුව යනවා. ඉදිරි පෙරමුණ කිව්වේ වෛද්‍ය සේවා වල අයට සහ ලංකාවේ නම් ඊලඟට ආරක්ෂක සේවා වල අයට. අන්න ඒ අයට ෆේස් මාස්ක් දාන්න වෙනවා කියන එක සරලව තේරුම් ගන්න පුළුවන් කරුණක්නේ. දැන් ඒ අයටත් ෆේස් මාස්ක් නැති වුනහම, ඒ අය රෝගී වුනොත්, වෛද්‍ය සහ ආරක්ෂක සේවා බිඳවැටෙනවා. එතනින් එහාට චැප්ටර් ක්ලෝස්.

දෙවෙනියට, ෆේස් මාස්ක් එකෙන් වැඩේ ගොඩ කියලා හිතන කෙනෙක්ට බොරු ආරක්ෂිත හැඟීමක් ඇතිවෙන්නත් පුළුවන්. එතකොට එහෙම කෙනෙක් ඔය අත් හෝදනවා, මීටරේ දුරෙන් ඉන්නවා වගේ එව්වා ගණන් ගන්නෙත් නෑ. ෆේස් මාස්ක් දාපු රම්බෝ වගේ කොවිඩ්-19 එක්ක ගේමෙන් ඉන්න ගිහින් දන්නෙම නැතුව නවකොරෝනා වාහකයෙක් වෙන්න පුළුවන්.

 

3. කොහොමද හරියට ෆේස් මාස්ක් එකක් දාන්නේ?

දැන් ෆේස් මාස්ක් දාන්නම ඕන නම්, තමන් ගාව ෆේස් මාස්ක් තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි ෆේස් මාස්ක් විතරක් දාලා කොවිඩ්-19 වලින් ආරක්ෂා වෙන්න බැහැ. නිතර සබන් හෝ සැනිටයිසර් යොදා හොඳින් අත් හේදීමත් කරන්න වෙනවා.

ඒ වගේම කොහොමද හරියට ෆේස් මාස්ක් පළඳින්නේ කියන එක ගැන දැනුවත් වෙන්න වෙනවා. මේ වීඩියෝ එකේ කියන්නේ ඒ ගැන තමයි:

තේරෙනවනේ. ෆේස් මාස්ක් එක දාන්න කලින් සබන් දාලා වතුරෙන් හරි ඇල්කොහොල් අඩංගු සැනිටයිසර් එකකින් හරි හොඳට අත් හෝදගන්න ඕන. දැම්මට පස්සේ නාහේ, කට කසන්න යන්න බෑ. කොටින්ම මාස්ක් එක අල්ලන්නේ නැතුව ඉන්න ඕන. ඊට පස්සේ මාස්ක් එක හරි විදියට ඉවත් කරලා, ඊට පස්සේත් අත් හොඳින් හෝදගන්න ඕන.

 

4. මොනවද ඔය ෆේස් මාස්ක් ජාති?

සර්ජිකල් මාස්ක්

මේ සර්ජිකල් මාස්ක්ස් කියන්නේ වරක් පාවිච්චි කරලා ඉවත දාන මාස්ක් වලට. මේකෙන් නහය, කට සහ නිකට වැහෙනවා. දාගෙන ඉන්න අයට වෙනත් කෙනෙක් කැස්සෙන් හෝ කිවිසුම් යෑමෙන් හෝ කතා කරනකොට මුදා හරින විශාල බිඳිති වලට එරෙහිව ආරක්ෂා වෙන්න පුළුවන් මේවා දාගෙන ඉන්නකොට. හැබැයි නැවත නැවත පාවිච්චි කරන්න බෑ.

 

N95 මාස්ක්

මේවා තමයි හරියටම ආරක්ෂාව ලබාදෙන්නේ. හැබැයි ගණන්. හැමතැනම ගන්නත් නෑ. මේවා නාසය සහ මුඛය වටා හොඳින් සවි වෙලා, සීල් වෙලා, කුඩා අංශු 95% ක්ම නාසය සහ මුඛය වෙත ඒම වළක්වනවා. ඒ නිසා තමයි විශේෂයෙන්ම කොවිඩ්-19 රෝගීන් රැකබලා ගන්න අයට එහෙම මේවා නිර්දේශ වෙන්නේ. 

 

රෙදි මුඛ ආවරණ

ඇත්තටම අපි උඩින් කියපු විදියට ආපු මුඛ ආවරණ හිඟයත් එක්ක ගොඩක් දෙනෙක් මේවාත් පළඳින්න පටන් ගත්තා. මේ මුඛ ආවරණ වල වාසිය තියෙන්නේ ගෙදරදීම මහගන්න පුළුවන් වීම. හැබැයි ඉතින් කොවිඩ්-19 රෝගියෙකුගෙන් බිඳිති මගින් අපිට ආසාදනය වෙන්න තියෙන ඉඩ කඩ අඩු කරන්න නම් මේකට බෑ. රෙදි මුඛ ආවරණ වල තියෙන හොඳ තමයි, අපෙන් කිවිසීම හෝ කැස්ස හෝ කතා කිරීම ඔස්සේ බිඳිති තවත් කෙනෙක්ට සම්ප්‍රේෂණය වෙන්න තියෙන ඉඩ අවම කරන එක.

 

5. මාස්ක් නොදැම්මොත් සමාජෙන් කොන් වෙයිද?

බැලූ බැල්මට විහිළුවක් වගේ පෙනුනට, ඇත්තටම මේකත් හිතන්න ඕන තත්වයක්. දැන් වෙනකොට කොවිඩ්-19 මුළු මහත් ගෝලීය සමාජයටම කරලා තියෙන බලපෑම අතිමහත්. ඒකත් එක්ක ලංකාවේත් කොවිඩ්-19 සම්බන්ධයෙන් තියෙන භීතියත් එක්ක යම් කිසි සමාජ ගර්හාත්මක තත්වයකුත් ඇතිවෙලා තියෙනවා. ඒකට සෘජුවම ජනමාධ්‍යයත් වගකියන්න ඕන. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහත්තයා කෙලින්ම ලියුමක් ගහලම කියලා තියෙනවා කොවිඩ්-19 රෝගීන්ව කොන් කරන්න, ඒ අයව රෝග බෝ කරන්නන් ලෙසින් සලකන්න හෝ හඳුන්වන්න එපාය කියලා. හැබැයි ඉතින් ඔය පණිවිඩේ අපේ මිනිස්සුන්ගේ ඔළුවලට යන්න තව කල් යයි.

ඔන්න ඔය පදනම මත සමහරු මුඛ ආවරණ නැතුව ඉන්න අය දිහා අවඥාවෙන් බැලීම, ගර්හාවෙන් යුතුව සැලකීම සහ කොන් කිරීම සම්බන්ධයෙනුත් ඔය සමාජ ජාලා වල ඇතැම් කරුණු පළ වුනා. ඉතින් කරන්න තියෙන්නේ මෙච්චරයි. තමන් නීරෝගී පුද්ගලයෙක් නම්, තමන් නිතර සබන් යොදා අත් සේදීම සහ මීටරේ දුරෙන් ඉන්න සමාජ දුරස්ථකරණය හරියට පිළිපදිනවා නම් සමාජේ හිතන දේ අදාළ කරගන්න වුවමනා නෑ. 

මේ දවස් වල එලියට පහලියට බහිනවා නම් ෆේස් මාස්ක් දාන්න කියලා පොලිසිය කියනවා කියලා ලංකාදීපේ කියනවා. ඒ නිසා ඇඳිරි නීතිය අස්සේ අත්‍යාවශ්‍ය කාරණාවකට එලියට යනවා නම් ෆේස් මාස්ක් එකක් දාන එක හොඳයි.

 

6. මුඛ ආවරණ දැම්මා කියලා හැමදේම හරියන්නෙ නෑ!

මේ කාරණය ආයෙ ආයෙමත් කියන්න හේතුව මේකයි. ඔබේ ආරක්ෂක උපක්‍රමය වෙන්නේ මුඛ ආවරණ පැළඳීම විතරක් නම්, මුඛ ආවරණ දැම්මා කියලා ඔබට සියේට සීයක් තියා සියේට අනූවක් වත් කොවිඩ්-19 වලින් නියම ආරක්ෂාවක් ලැබෙන්නේ නෑ. නියම ආරක්ෂාවක් ලැබෙන්න නම් අනික් පිළිවෙත් දෙකත් ඉටු කරන්න ඕන. පළවෙනිම එක මොකද්ද? සබන් හෝ ඇල්කොහොල් අඩංගු සැනිටයිසර් එකක් යොදා තත්පර විස්සක් වත් අඩුම තරමින් මනාව අත් සේදීම. දෙවෙනියට, සෝෂල් ඩිස්ටන්ස්. ඒ කියන්නේ හැකි සෑම මොහොතකම අනික් අයත් එක්ක මීටරයක පරතරයක් තබා ගැනීම. ඊට පස්සේ ඉතින් තුන්වෙනියට තියෙනවා ගෙදර ඉන්න කියලා රජයෙන් කියනවා නම් අනිවාර්යයෙන්ම ගෙදර ඉන්න ඕන. හතර වෙනියට තමයි ඕන නම් මුඛ ආවරණ පළඳින්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට කැස්ස හෝ කිවිසුම් යෑම තියෙනවා නම් අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් පළඳින්න ඕන.

 

7. ඇඳිරි නීතිය ගැනත් වචනයක්

තාමත් ලංකාවේ අවදානම් කලාප විදියට හඳුනාගෙන තියෙන දිස්ත්‍රික්ක වල එක දිගටම ඇඳිරි නීතිය. අනෙක් දිස්ත්‍රික්ක වලත් ඇඳිරි නීතිය දවස් කීපයකට සැරයක් පැය කීපයකට අයින් කරලා ආයෙමත් පනවනවා. ඉතින් ඇත්තටම වගකීම් සහගත පුරවැසියෝ විදියට අපි කරන්න ඕන අරයා මෙයා ෆේස් මාස්ක් දානවද කියලා හොය හොයා ඉන්න එක නෙවෙයි. රටේ නීතියට ගරු කරලා ගෙදරටම වෙලා ඉන්න එක. සබන් යොදා හොඳින් අත් සෝදාගන්න එක. අත්‍යාවශ්‍යම කාරණාවකට මිනිස්සුන් අතරට යන්න වෙන මොහොතකදී වුනත් මීටරේ දුර තියාගෙන ඉන්න එක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *