සුන්දර බුරුමයේ (මියන්මාර්) ලස්සන තැන්

බුරුමය එහෙම නැතිනම් බර්මා කියල හඳුන්වන රටට දැන් කියන්නේ මියන්මාර්. ඒ රටේ අගනුවර විදිහට තිබුන රැංගූන් නුවරත් නේපිඩෝ Naypyitaw නුවර විදිහට වෙනස් වුනා. ඒ අගනගර වෙනසට නම් 1987 දි රට පාලනය කළ පාලකයාගේ  ජෝතිෂය පිළිබඳ අදහස බලපාල තිබුනා. ඔහුට අනුව වඩාත් සාර්ථක, සුබදායී නුවර තමයි අලුත් එක. ඒත් ඒ පාලකයාට ඒ නම වෙනස් කරලා වැඩිකල් පුටුවේ ඉන්න ලැබුනේ නැහැ. ඒ වගේම හදාපු අලුත් අගනුවර ගොඩනැගිලි, මහපාරවල් පාලුවට ගිහින් ලෝකේ පාලුම අගනුවරක් විදිහට තියෙනවා. ඉතින් මේ මියන්මාර රටේ මිලියන 54කට අධික මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා ආසන්නව ලංකාව වගේ දෙගුණයක් සෙනඟ. වර්ග කිලෝමීටර 676,578ක් විශාල මියන්මාර් රට ඉන්දියාව සහ තායිලන්තය අතර චීනෙට මායිම් වෙලා, බෙංගාල බොක්කට මුහුණලා පිහිටලා තියෙනවා. 

 

1. යැන්ගූන් 

මියන්මාරයයට යනවා නම් ලංකාවේ කෙනෙක්ට ලේසිම ක්‍රමය තමයි යැන්ගූන් ගුවන් තොටුපළින් මියන්මාරයට ඇතුල් වෙන එක එයා ඒෂියා, තායි ලයන් එයා, තායි එයාවේස්, මැලේශියන් එයා ආදී ගුවන් සේවාවන් මගින් යැන්ගූන් නුවරට කොළඹ ඉඳන් පිවිසෙන්නට පුළුවන්. යැන්ගූන් කියන්නේ බෞද්ධ සිද්ධස්ථාන රැසක් තියෙන සුන්දර නගරයක්. අපි සුද්දාට යටත් වෙලා හිටියේ 1500-1600 ගණන් වල ඉඳලා. ඒත් මියන්මාර රට සුද්දට යටත් වන්නේ 1880 ගණන් වලදි. ඒ යුරෝපීය බලපෑමින් තැනුණු පැරණි ගොඩනැගිලි යැන්ගූන් නුවර ලස්සන කරනවා. මියන්මාරය දුප්පත් රටක් නිසා තවමත් පැරණි ගොඩනැගිලි ආදිය ඒ විදිහටම බලාගන්න තියෙනවා. යැන්ගූන් නුවර වටේ සර්කියුලර් වේ කියලා දුම්රිය පාරක් තියෙනවා. නගරය වටේට යන මේ දුම්රිය සේවාවත් සංචාරකයින් අතර ප්‍රසිද්ධයි. කිලෝමීටර 50-60ක පොඩි දුරක් තිබුනාට දුම්රිය සේවාව නවීකරණය වෙලා නැති නිසා පැය තුනක් විතර මේ වටේ ගමනට දුම්රිය ගන්නවා. 

 

2. බගාන් 

දැන් ආසියාවේ රටවල් බැලුවොත් ලංකාවටත් අන්ත දුප්පත් රටක් තමයි බුරුම රට. 1948 සුද්දගෙන් නිදහස් වුන දා පටන් මේ දක්වා නොනවතින අභ්‍යන්තර ගැටුම් ගොඩකට මේ බුරුම රට හිමිකම් කියන්නේ ලෝකේ දීර්ඝකාලීනම යුද්ධ තියෙන රට විදිහට වාර්තාවකුත් තියමින්. දැන් දුප්පත් මට්ටමේ රටක් වුණාට මේ රට 900-1300 කාලේ බොහොම ඉසුරුමත් රටක් විදිහට තිබිලා තියෙන බවට සාධක රටෙන්ම හමු වෙනවා. ඒ කාලේ හිටපු බුරුම රජවරු යාබද තායිලන්තයේ හෙවත් එවකට සියමේ කොටස් වාගෙම දැන් ඉන්දියාවට අයිති මනිපූර් කොටස්ද බුරුම අධිරාජ්‍යය යටතේ පාලනය කරලා තියෙනවා. බෞද්ධ රටක් වුණු මියන්මාරේ ඒ කාලේ හදපු විහාරාරාම සංකීර්ණ 2000ක් විතර බගාන් වල තියෙනවා.  බගාන් වල මේ සිද්ධස්ථාන බලන්න දැන් ගුවන් බැලුන් සේවාවකුත් යනවා. ඩොලර් 50ක් මේ භූමියට පිවිසෙන්නට ගෙවන්න සිදු වුනත් ජීවිතයේ බෞද්ධයෙක් වශයෙන් දැකබලාගෙන වැඳපුදාගන්න වටින සිද්ධස්ථානයක් තමයි බගාන්. 

 

3. ඉන්ලේ විල 

ඉන්ලේ විල මියන්මාරය අයිති විශාල විලක්. දැන් ඒකේ සංචාරක වැඩකටයුතු නිසාම ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ විල වටේ බයිසිකල් පැදීම, විල ආසන්නයේ තියෙන කඳුකරයේ පයින් කරක් ගැසීම වගේම විල වටේ තියෙන ජනාවාස නැරඹීමත් සංචාරකයින් අරත ජනප්‍රියයි. ශාන් පළාතේ පිහිටලා තියෙන මේ විලේ ධීවරයෝ තාමත් මාලු මරන්නේ හද්ද පරණ ක්‍රම වලට. ඉන්ලේ විලේ බෝට්ටු හරහා ගිහින් අසිරිමත් ගල්ගුහා සංකීර්ණ දැකබලාගන්නත් ඉඩකඩ සංචාරකයින්ට ලැබෙනවා. අපේ රටේ ඇල්ල, මිරිස්ස වගේ ඉන්ලේ විල අසබඩ කලාපයත් මියන්මාරයට පාත් වෙන බැක්පැකර්ස්ලා අතර ජනප්‍රිය තැනක්. 

 

4. සිපෝ (Hsipaw) 

 බුරුම රටේ පාලි බසින් සහ ඉන්දියානු භාෂා වලින් ආභාෂය ලබාගත් බුරුම බාසාව තමයි පාවිච්චි වෙන්නේ. අපේ වගේම බැඳි අකුරු සංඥක එහෙම බුරුම බාසාවෙත් යහමින් තියෙනවා. සමහර බුරුම නම් සුද්දන්ට වගේම අපිටත් කියෝගන්න අමාරුයි. මේ සිපෝ පළාතේ ඉඳලා කලාව් පළාතට කඳුකර මග ඔස්සේ පයින් යන එක ජනප්‍රිය ට්‍රෙක් එකක්. තාමත් මේ බුරුමයේ ගම්මාන වල විතරක් නෙමෙයි, බුරුමයේ නගරවලත් මිනිසුන්ගේ පැරණි ගති සිරිත් ඉතුරු වෙලා තියෙනවා. ජන ජීවිතය, ගොවිතැන් බත් කටයුතු, සොබා සෞන්දර්යය, භූමි දර්ශන විඳගෙන ඒ පයින් යන ගමන බටහිර සංචාරකයින්ට හිතට සැහැල්ලුවක් ගේනවා. 

 

5. මන්ඩලායි 

මන්ඩලායි තමයි යැන්ගූන් හැරුනම මියන්මාරයේ දෙවනියට කාර්යබහුලම නගරය. මේ නගරය සහ යැන්ගූන් නදියකින් සම්බන්ධ වෙනවා. මේ මන්ඩලායි වලදි බයිසිකල් ටුවර්, වාහන ටුවර් වගේම අවශ්‍ය නම් ගඟ දිගේ සුන්දර බෝට්ටු සවාරියකුත් දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් රට අභයන්තරයට පිවිසෙන්නට කැමති සංචාරකයින් මණ්ඩලායි වලට ඇවිත් එතනින් ඇතුළට යනවා.  තවමත් තියෙන ගැටුම් ආදිය නිසා මියන්මාර රටේ ඇතැම් කොටස් වලට ඇතුළුවෙන්නට සංචාරකයින්ට අවසර නැහැ. 

 

6. ගපාලි වෙරළ (Ngapali Beach

මියන්මාරය බෙංගාල බොක්කට මුහුණලා පිහිටලා තියෙන නිසා ඔවුන්ට ලස්සන මූදු වෙරළක් තියෙනවා. මේ මූදු වෙරළ කීපයක් සංචාරකයින් අතර ජනප්‍රියයි. යාබද තායි රටේ වගේ සංචාරකයින් පිරිලා ඉතිරිලා නැති මේ මූදු වෙරළ පරිසරයේදී නිස්කලංකව මූදු වෙරළ පරිසරය විඳගන්නට සංචාරකයින්ට පුළුවන්. මේ මූදු වෙරළ ආසන්නයේ ධීවර කටයුතු ආදියත් කෙරෙන නිසා මුහුදු කකුළුවන්, ඉස්සන්, පොකිරිස්සන් ආදී මුහුදු කෑම වර්ග රසවත්ව සහ සාපේක්ෂව මිල අඩුවෙන් ලබාගන්නටත් පුළුවන්. තායිලන්තයේ සිට පැමිණෙන සංචාරකයින් තායි බුරුම, දේශ සීමා පසුකරලා මේ  බුරුම රටේ බීච් වෙත ළඟා වෙනවා. 

 

7. වෙනත් තැන් 

යුධ ගැටුම් ආදිය නිසා බුරුම රටට කාලයක් සම්බාධකත් වැටිල තිබුනා. ඒ නිසා බුරුම රට ලෝකෙන් ටිකක් හුදකලා වෙලයි තිබුණේ. සංස්කෘතික අතින් තවමත් පැරණි ගතිගුණ මියන්මාර ජන ජීවිතය තුළ ඉතුරුවෙන්න මේ හුදකලාවීම හේතු වුනා. බෞද්ධ උත්සව , සංස්කෘතික උත්සව, ​ආහාර පාන, ඇඳුම් පැළඳුම් ආදියත් වෙනස් ආකාරයකට මියන්මාරයේදී විඳගන්නට පුළුවන්. රට වටාම තැන් තැන්වල සුන්දර බෞද්ධ විහාරස්ථාන තියෙනවා. අපේ රටෙනුත් මියන්මාරයට බෞද්ධ සංචාරක කණ්ඩායම් ගිහින් සුවිසාල, සුන්දර මේ විහාරස්ථාන දැකබලාගන්නවා. ඒ වගේම ඉහළින් ගත්තොත් හිමාල කන්දේ හිම මිදෙන කඳු කොටසක්ද මියන්මාරයට අයිතියි. තාමත් වැඩිය මිනිස්සු ඇස නොගැටුණ ගෝත්‍රික කණ්ඩායම් ජීවත්වෙන කලාපද මියන්මාරයේ තියෙනවා. ඉතින් ජනප්‍රිය තැන් වගේම සමස්ථ මියන්මාරයමත් එක්තරා අත්දැකීම් ගොඩක් කියලා තමයි එහි ගිහින් ඇවිත් විස්තර වරුණා කතා කියන යූ ටියුබ් සංචාරකයින් කියන්නේ. 

 

8. මියන්මාරේ සංචාරය ලාභ ද? 

ගිනිකොන ආසියානු රටවල් ගත්තොත් හොඳ ප්‍රවාහන පහසුකම් තියෙන තායි රට, වියට්නාමය වගේ රටවල සංචාරය ලේසියි. මියන්මාරයේ සමහර පළාත්වලට පිවිසෙන්න තාමත් තියන්නෙ තාවකාලික ලෑලි පාලම්.  නවාතැන් ගාස්තු හෙමත් මියන්මාරයේ ටිකක් වැඩියි. තැනකින් තැනකට යන්න බෝට්ටු, බස් සේවා, දුම්රිය කියන මාර්ග තුනක්ම තිබුනත් සමස්ථයක් විදිහට මියන්මාරය තුළ ගමනාගමනය කල් ගතවෙන, අපහසුතා විඳින්න වෙන අත්දැකීමක්. ලංකා රුපියලක් බුරුමයේදී ක්යාට් 7කට සමානයි. ඒ කියන්නේ බුරුම මුදල් වල අගය අඩුයි. ඉතින් අලුත් අලුත් දේවල් හොයන දුෂ්කර සංචාරක අත්දැකීම්වලට කැමති කෙනෙක්ට බුරුමය කියන්නේ දැකබලාගෙන විඳගෙන එන්න වටින සංචාරක කලාපයක්. 

 

දැනට තියෙන කොවිඩ්-19 බිය එක්ක රට යන එක අවදානම්. ඒත් මේ තත්ත්වය ටිකක් දුරුවෙලා ගියාම, ආසන්න බුරුම රටට ගිහින් බෞද්ධ සිද්ධස්ථාන සහ රටතොට බලාගෙන එන්න යන එක හිතට සිසිල දෙන වටින චාරිකා අත්දැකීමක් වේවි ඔයාලටත්.