සුවඳ විලවුන් පාවිච්චියේදී අපි කරන වැරදි කීපයක්

සෙන්ට් නැතිනම් පර්ෆියුම් නැතිනම් සිංහලෙන්ම කිවුවොත් සුවඳ විලවුන් කියන්නේ සමහරු පාවිච්චි කරන, සමහරු පාවිච්චි නොකරන දෙයක්. හැබැයි සුවඳ විලවුන් පාවිච්චි කරන අය වුනත් සමහර වෙලාවට කරන වැරදි තියෙනවා. ඒ වැරදි වලින් සුවඳ විලවුන් පාවිච්චියේ හරි කොලිටිය සමහර වෙලාවට නොලැබෙන්න ඉඩ තියෙනවා. ආන්න ඒ නිසා අපි හිතුවා සුවඳ විලවුන් පාවිච්චියේදී අපි කරන වැරදි කීපයක් ගැන කතා කරන්න. අන්න එතකොට ඒ වැරදි හදාගෙන, හරියට සෙන්ට් ටිකක් ගහගෙන, සුවඳ ගහ ගහා යන්න පුළුවන්!

 

1. සුවඳ විලවුන් පාවිච්චි නොකිරීම

ඔව්, පළමුවෙනි වැරැද්ද තමයි සුවඳ විලවුන් පාවිච්චි නොකිරීම. මේක ඇත්තටම ගෑණු ළමයින්ට නම් ගොඩක් අදාළ වෙන්නෙ නෑ. ඒත් සමහර පිරිමි ඉන්නවා සුවඳ විලවුන් මොකුත් පාවිච්චි කරන්න මැලි වෙන. සමහරු හිතනවා සුවඳ ගහ ගහා යන එක පිරිමි කමට සෙට් වෙන්නෙ නෑ කියලා. සමහරු හිතනවා අපේ ජීවන සුවඳ ප්‍රමාණවත් කියලා. මෙහෙමයි, සෙන්ට් ගැහුවෙ නෑ කියලා මොකුත් අඩුවක් වෙන්නෙ නෑ. විශේෂයෙන්ම හොඳට පිරිසිදු වෙලා නාලා කරලා ඉන්නෙ නැතුව සෙන්ට් ගැහුවත් වැඩක් නෑ තමයි. ඒත් හරි විදියට සුවඳ විලවුන් පාවිච්චි කරන එකේ, තමන් ගාව දැනෙන නොදැනෙන සුවඳක් තියෙන එකේ මෙව්වා එකක් තියෙනවා. අන්න ඒ නිසා හොඳ වර්ගයේ සෙන්ට් එකක් එදිනෙදා පාවිච්චි කළාට කමක් නෑ.

 

2. හොඳ සෙන්ට් එකක්!

මෙන්න මේක වැදගත්. දැන් හැමෝටම දාස් ගණන් දීලා සෙන්ට් ගහන්න වත්කමක් නෑ තමයි. හැබැයි හැකියාවක් තියෙනවා නම් හොඳම වර්ගයේ සෙන්ට් එකකට යන එක හොඳයි. එතකොට සෙන්ට් එකකට සල්ලි වෙන් කරන්න අමාරුයි කියලා හිතෙන කෙනෙක් වුනත්, ඔය පිටකොටුවේ එහෙම පාරෙන් ගන්න තියෙන පොඩි ගණන් වල සෙන්ට් එකකට වඩා, ෆුඩ් සිටි එකක හරි රැක් එකේ තියෙන අඩු ගණන් සෙන්ට් එකකට ගියාට කමක් නෑ. ඇත්තටම සෙන්ට් එකක කොලිටිය ගාණත් එක්ක වැඩි වෙනවා. ඒ නිසා හැකියාවක් තියෙනවා නම් හොඳ සෙන්ට් එකකට ගියාට කමක් නෑ. හැබැයි එහෙම සෙන්ට් එකක් ඕනම තැනකින් ගන්න බැහැ. ඒ නිසා සෙන්ට් එකට වියදම් කරන ගාණත් එක්ක තමන්ට ලැබෙන්නේ හොඳම සෙන්ට් එකක්ද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕන.

 

3. සෙන්ට් එක කොහෙද තියන්නේ?

සමහරු තමන්ගේ සැන්ට් කුප්පිය බාත්රූම් එකේ තියලා තියනවා. තවත් සමහරු ජනෙල් කණ්ඩිය උඩ තියලා තියනවා. ගොඩක් දෙනෙක් තමන්ගේ කණ්ණාඩි මේසේ උඩ තියලා තියනවා. හැබැයි ගොඩක් දෙනෙක් නොදන්න කාරණයක් තමයි, කොලිටි පර්ෆියුම් එකක තියෙන තත්ත්වය දැඩි හිරු එළියට නිරාවරණය වීම නිසා, දැඩි උෂ්ණත්වය නිසා නැති වෙනවා කියන එක. පර්ෆියුම් එකක් තියන්න හොඳම උෂ්ණත්වය කියලා කියන්නේ කාමර උෂ්ණත්වය. හැබැයි ශ්‍රී ලංකාව වගේ රටක ඕක පොඩ්ඩක් හිතන්න ඕන කාරණාවක්. අන්න ඒ නිසා හොඳම දේ තමයි සැන්ට් කුප්පිය තමන්ගේ ඩ්‍රෙසින් ටේබල් එකේ ඇතුළේ හරි, ඇඳුම් අල්මාරිය ඇතුළේ හරි තියන එක.

 

4. නාලා ආපු ගමන්?

ඇත්තටම නාලා ආපු ගමන්, ඇඟ පිහිදලා සෙන්ට් ගහගන්න එක නිර්දේශ කරලා තියෙන දෙයක්. හේතුව, අපි වොෂ් එකක් දාගෙන ආපු ගමන් අපේ සමේ තියෙන ක්ෂුද්‍ර සිදුරු විවෘත වෙලා තියෙන එක කියලා තමයි කියන්නේ. වෙන විදියකට කිවුවොත් එහෙම දන්න කියන අය කියන්නේ නාලා ආපු ගමන් සෙන්ට් ගැහුවහම සුවඳ සෑහෙන වෙලාවක් රැඳිලා තියෙනවා කියලා තමයි. දැන් අපේ ඇඟ හොඳටම වියලියි නම් සෙන්ට් සුවඳ රඳන්නෙ නැහැ කියලත් ඔය පර්ෆියුම් එක්ස්පර්ට්ලා කියනවා. ඒකට හොඳම ක්‍රමය අපි සෙන්ට් ගහන තැන් පොඩ්ඩක් තෙතමනය ඇතිවෙන විදියට මොයිස්චරයිසර් එකකින් පොඩ්ඩක් ගාලා, ඒකට උඩින් සෙන්ට් ගහන එකලු. හැබැයි ඉතින් ඒකට ඔය සුවඳ කවපු මොයිස්චරයිසර් තෝරගෙන බෑ. ඒකෙන් සෙන්ට් එකේ සුවඳ චකබ්ලාස්ට් වෙලා යයි.

 

5. සෙන්ට් වාෂ්ප මැද්දට පනිමුද?

ඔය සෙන්ට් ඇඩ්වල පෙන්නනවා නේද සෙන්ට් නිකම්ම වාතයට ස්ප්‍රේ කරලා, ඒ වාෂ්ප මැද්දට වෙලා ඉන්න එක? ගොඩක් අය හිතනවා ඒක තමයි සෙන්ට් ගහන්න ක්‍රමය කියලා. ගොඩක් අය ඒ ක්‍රමේ අත්හදා බලනවා. හැබැයි ඉතින් එහෙම වාතයට සෙන්ට් ගහලා ඒ මැද්දට වෙලා හිටියා කියලා අපේ ඇඟට නම් සෙන්ට් අල්ලන්නෙ නෑ. ඕන නම් කොණ්ඩෙට ටිකක් වැටෙයි, එච්චර තමයි. අනෙක් අතට, ඔය ක්‍රමේට සතියෙන් සෙන්ට් බෝතලේ ඉවර කරගන්නත් පුළුවන්.

 

6. එහෙනම් ඇඳුමට සෙන්ට් ගහමුද?

ඇත්තටම මේකත් ගොඩක් දෙනෙක් කරන ජනප්‍රිය වැරැද්දක්. ඇඳලා පැළඳලා ඉවර වෙලා ඇඳුමට සෙන්ට් ගහන එක. මේකෙන් වෙන අවාසි දෙකක් තියෙනවා. එකක් තමයි සෙන්ට් එක ගොඩක් වෙලා අල්ලලා හිටින්නේ නැති වීම. ඇඳුමට සෙන්ට් ගැහුවහම ඉක්මනටම වේලිලා යනවනේ. අනික තමයි ඔය සැර සෙන්ට් එකක් නම් ඇඳුමේ රෙද්දට හානි වෙන්න පුළුවන්. දැකලා තියෙනවද සමහර සෙන්ට් ගැහුවහම හැදෙන පැල්ලම හේදුවට පස්සෙත් යන්නෙ නැතුව තියෙනවා? ආන්න ඒක තමයි මේ කියන්නේ.

එතකොට කොහාටද සෙන්ට් ගහන්න ඕන? සාමාන්‍යයෙන් සෙන්ට් එකක සුවඳ හරියට දැනෙන්න පටන් ගන්නේ අපේ ශරීර උෂ්ණත්වයත් එක්ක කියලා තමයි කියන්නේ. අන්න ඒ නිසා අත් වල මැණික් කටු, කන් පිටිපස්ස සහ පපුව තමයි සෙන්ට් ගහන්න හොඳම තැන් කියලා කියන්නේ.

 

7. ගොඩක් සෙන්ට් ගැහුවහම ගොඩක් සුවඳයි නේ?

ඔය කියමනක් තියෙනවනේ වැඩිවෙන තරමට හොඳයි කියලා. හැබැයි ඒ කියමන මොකක් සම්බන්ධයෙන් සත්‍ය වුනත්, සෙන්ට් සම්බන්ධයෙන් නම් සත්‍ය වෙන්නෙ නෑ. දැන් ඔය මිලෙන් අඩුම සෙන්ට් එකක සාමාන්‍යයෙන් තියෙන්නේ බොහොම සැර, තීව්‍ර සුවඳක්. ඒ සුවඳ කාලයත් එක්ක වෙනස් වෙන්නේ නෑ. ඉතින් එහෙම සෙන්ට් එකකින් නාලා ආවහම හිතාගන්නකෝ කෙනෙක් ගාව කොයි වගේ සුවඳක්ද තියෙන්නේ කියලා. කෙලින්ම සුවඳ කුප්පි විකුණන කරත්තයක් වගේ තමයි. ඒක හොඳක් නෙවෙයි, නරකක්. විශේෂයෙන්ම මනුස්සයෙක් ගාවින් කොයි තරම් සුවඳ වුනත් අතිශය සැරට දැනෙනවා නම් ඒක ලඟ ඉන්න අයගේ නාස් වලටත් කරදරයක්. අනික ඒකෙන් බොහොම චීප් ගතියක් තමයි එන්නේ.

අනික් අතට වඩාත් මිලෙන් අධික සෙන්ට් එකක් ගෑවට පස්සේ කාලයත් එක්ක ඒකේ සුවඳ ක්‍රමයෙන් වෙනස් වෙනවා. ක්‍රමයෙන් අපේ ඇඟේ සුවඳත් එක්ක මීක්ස් වෙලා අමුතු හොඳ සුවඳක් බවට පත් වෙනවා. මෙහෙම සෙන්ට් එකකිනුත් නාන්න හොඳ නෑ. ඒකෙන් අර දැනෙන නොදැනෙන ගාණට එන සුවඳ නැතුව, බොහොම කෘත්‍රිම ගතියක් තමයි එන්නේ.

ආන්න ඒ නිසා සෙන්ට් නාන්න එපා. මද පමණට සෙන්ට් ගහන්න!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *