හිත හොරා ගත්ත ළමා ගායක ගායිකාවෝ

ලංකාවේ කාලෙන් කාලෙට ළමා ගායක ගායිකාවෝ කරළියට එනවා. මෑතකදී ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ ගීත ගායනා කරමින් අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණු ආක්ෂා චමෝදී මින් එක් අයෙක් විදිහට හදුන්වන්න පුළුවන්. අපේ මේ සටහන ආක්ෂා වගේම ලංකාවේ ජනප්‍රියත්වයක් දිනා ගත්ත ළමා ගායක ගායිකාවෝ පිළිබඳව.

 

1. රුවන් ශ්‍රී දල්පදාදු

කාලයක් ලංකාවේ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි දරුවෙක් හිටියා. මේ දරුවා නිකුත් කරපු “පුංචි වෙළෙන්ඳා” කැසට් පටය වාර්තා පිට වාර්තා තබමින් විකිණුනා. බොහෝ රසිකයන් මේ පුංචි ගායකයාව බලන්න සංගීත ප්‍රසංගවලද පොර කෑවා. මේ ජනප්‍රියත්වය නිසාම වතාවක් රුවන් ශ්‍රී දල්පදාදු නම් පුංචි ගායකයට බිහිසුණු අත්දැකීමටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ රත්නපුර ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර දී ඔහුව පැහැර ගැනීමට යම්කිසි අයෙක් උත්සාහ කිරීම නිසා. නමුත් වටේ පිටේ සිටි අය එම උත්සාහය ව්‍යර්ථ කරන්න කටයුතු කළා. මේ වෙනකොට මානසික වෛද්‍යවරයෙක් විදිහට කටයුතු කරන රුවන් දල්පදාදු ඉන්පසුවත් ගීත කිහිපයක් ගායනා කළා. ඒ ගීතවලටත් ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා.

 

2. ශිරෝමාලා ප්‍රනාන්දු 

බොහෝ දෙනෙක් නොදන්නවා උනාට අද පවා ජනප්‍රිය “හිංචි පිංචි හාවා”, “කොටු වැටිච්ච පුංචි සරම” ආදී ළමා ගීත රාශියක මුල් අයිතිය හිමි වෙන්නේ ශිරෝමාලා ප්‍රනාන්දුට. ශිරෝමාලා තම පියා වූ කැමිලස් ප්‍රනාන්දුගේ මග පෙන්වීම යටතේ ගුවන්විදුලියේ හඳ මාමා ළමා වැඩසටහනට ගීත ගායනා කරන්න පටන් ගන්නවා. මේ ගීත එක දවසින්ම ලංකාවේ ළමයින් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත් වෙනවා. සිය පියාගේ මරණයත්, විවාහ ජීවිතයට එළඹීමත් යන කරුණු දෙක නිසා ශිරෝමාලා ප්‍රනාන්දු කෙමෙන් කෙමෙන් ගීත ක්ෂේත්‍රයෙන් ඉවත් වෙනවා. නැවතත් අසූව දශකයේ ඇය නිකුත් කරපු මල් වසන්තයේ කැසට් පටයත් ජනප්‍රිය වෙනවා.

 

3. ශිරෝමි ප්‍රනාන්දු 

බේබි ශිරෝමි නමින් එවකට සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය වුණු මේ ළමා ගායිකාවව ක්ෂේත්‍රයට හඳුන්වා දෙනු ලැබූයේ ඇගේ ඥාතියෙකු වුණු මෙල්රෝයි ධර්මරත්න විසින්. මේ නිසාම ඇගේ බොහෝ ගීත නිර්මාණවල සංගීතය සැපයීම කරෙත් මෙල්රෝයි ධර්මරත්නමයි. “කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන”, “පොඩි කාලේ දඟ කෙරුවාම”, “සකල බුජන් කොට කලිසං” මේ ඒ ඇය විසින් ගායනා කරන ලද ජනප්‍රිය ළමා ගී අතරින් කීපයක්. මේ ගී අතරින් එක ගීතයක් නිසා ඇයට චිත්‍රපටයක රඟපාමින් එම ගීතය ගායනා කිරීමේ අවස්ථාවක් උදා වුණා. චිත්‍රපටය වුණේ “ආදරේ හිතෙනවා දැක්කම”. ඇය ඒ චිත්‍රපටයට ගායනා කළේ “ආකාසේ රැස් විහිදා” ගීතයයි. විවාහයෙන් පසුව කැනඩාවේ පදිංචියට ගිය ඇය ඉන්පසු නව නිර්මාණ කළ බවක් නම් අහන්න ලැබෙන්නේ නැහැ.

 

4. නිරාශා පෙරේරා 

නිරාශා පෙරේරාව අපිට මුණ ගැහෙන්නේ එකම එක ළමා ගීතයකින්. ඒ තමයි “ගඟ අද්දර” චිත්‍රපටයේ ඇය සහ ඇගේ ඥාතියෙකු වූ වික්ටර් සිල්වා ගැයූ රන් ටිකිරි සිනා ගීතය. එවකට බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ඉගෙනුම ලබමින් සිටි දැරියක් වූ නිරාශාගේ කටහඬ චිත්‍රපටයේ එම දර්ශනය සමඟ මනාව පෑහුණා. ඒ දර්ශනය තුළ වසන්ති චතුරාණීගේ කුඩා කාලය වෙනුවෙනුයි නිරාශා හඬ මුසු කළේ. මේ චිත්‍රපටයේ තවත් තැනක දී මේ ගීතයම වැඩිහිටි කටහඬවල් දෙකකින් ගැයෙනවා. ඒ ටී. එම් ජයරත්න සහ නීලා වික්‍රමසිංහ විසින්. ඇතැම් අය රන් ටිකිරි සිනා ගීතයෙහි මුල් අයිතිය ඇත්තේ  නිරාශා පෙරේරාට සහ වික්ටර් සිල්වාට බවත් ටී. එම් සහ නීලා එම ගීතය හොරකම් කළ බවත් කිව්වත් එම කතාවේ කිසිදු පදනමක් නැහැ. 

 

5. හර්ෂණ දිසානායක 

හර්ෂණ දිසානායක කියන්නෙ මෑත කාලයෙදි තමන්ගේම ස්වීය නිර්මාණවලින් ලංකාවේ ළමා ගීත සාහිත්‍යය පෝෂණය කරන්න දායක වුණු ළමා ගායකයෙක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ සඳහා ඔහුගේ ඥාතියෙක් වුණු සෝමරත්න දිසානායකගේ මැදිහත්වීමත් එක හේතුවක් වුණා කියලා සඳහන් කරන්න පුළුවන්. “ඉරෙන් හඳෙන්”, “මේක සොදුරු ලෝකයක්” ඔහු විසින් ගායනා කළ ජනප්‍රිය සිනමා ගීත. මේ ගීත නිසා සම්මාන රැසකින් පිදුම් ලැබීමට ඔහු වාසනාවන්ත වුණා. ඊට අමතරව ළමයින් වෙනුවෙන් “රත්නපුරෙන් එන”, “දිය බෙරලිය දළු”, “පාන්දරින් ඉස්කෝලෙට” වැනි ජනප්‍රිය ගීත රාශියක් ඔහු ගායනා කළා.

 

6. උරේෂා රවිහාරි 

ලංකාවේ ළමා  ගායිකාවන් අතරින් තමන්ගේ ආරම්භක අවධියේ ඉඳන් අද දක්වාම ජනප්‍රියත්වය එක හා සමාන මට්ටමකින් තබා ගන්න සමත් වෙච්ච දුර්ලභ ගණයේ ගායිකාවක් විදිහට උරේෂා රවිහාරිව හඳුන්වන්න පුළුවන්. ඇයව චිත්‍රපටි ගීත ගායනය සඳහා මුලින්ම යොමු කරන්නේ ඇගේ ගුරුවරිය වුණු සුජාතා අත්තනායක මහත්මිය විසින්. ඒ “ශක්තිය ඔබයි අම්මේ” චිත්‍රපටයේ සුළු කොටසක් ගායනා කිරීමට ඇයට ඉඩ ලබා දීමෙන්. ඉන් පසුව ඇයට චිත්‍රපට කීපයක ගීත ගායනා කිරීමට අවස්ථාව ලැබෙනවා. ඉන් පසුව ඇය “සුරතල් නංගියේ” නම් කැසට් පටයක් ද නිකුත් කරනවා. ඊට වසර කීපයකට පස්සේ ඇයව අපිට මුණ ගැසෙන්නේ තරුණ උරේෂා රවිහාරි ඒ විදිහට. මේ වෙනකොට ලංකාවේ සිනමාවට නැතුවම බැරි හඬක් බවට ඇය පත්වෙලා තියෙනවා.

 

7. නතාෂා පෙරේරා

නතාෂා කියන්නෙත් එක ගීතයකින් ලංකාවෙම ජනප්‍රියත්වයට පත් වෙන්න සමත් වෙච්ච ළමා ගායිකාවන් අතළොස්ස අතරින් කෙනෙක්. ඒ  එඩ්වඩ් ජයකොඩි සමග ඇය ගායනා කරපු “සුළඟක් වී මං යනවා දුර අහසේ ඇවිදින්නට” ගීතය නිසා. ඉන් පසුව ඇය විසින් ළමා ගීත කීපයක් ගායනා කළත් ඒවා නම් පළමු ගීතය තරම් ජනප්‍රිය වුණේ නැහැ. ඉන්පසුව ඇය ළමා නිළියක් විදිහටත් යම් ගමනක් ගියා. පසුකලෙකදී ඇයව අපිට මුණ ගැහුණේ නිවේදිකාවක් විදිහට සහ නිළියක් විදිහට. යොවුන් ගායක ප්‍රිහාන් ප්‍රනාන්දු සමඟ විවාහයෙන් පස්සේ විදේශ රටක පදිංචියට ගියාට පස්සේ ඇයව වෙනත් කලා නිර්මාණවලින් නම් දැක ගන්න ලැබුණේ නැහැ.

 

එහෙම නම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *