තමන් ආසම කරන ටැටූ එකක්, ජීවිත කාලෙම පවතින්න නම්, ටැටූ එක ගන්න කලින් මේ කරුණු ගැන හිතන්න

ටැටූ ගහනවා කියන එක ටිකක් බොන්න ඕන කතන්දරයක්. මොකද, සමහරු ටැටූ වලට එකහෙලාම විරුද්ධයි. තවත් සමහරු ආසයි බයයි. ඒ අතරේ ඉන්න නියම ටැටූ ලෝලියන්ගේ ආසාව තමයි කවදාහරි ටැටූ එකක් ගහන එක. හැබැයි ඉතින් ටැටූ ගහන්න කැමති අය වුනත් සමහර වෙලාවට ගොන් වැඩ කරනවා. උදාහරණයක් විදියට කෙල්ල බූට් එක තිබ්බා කියලා දෙකක් දාගෙන ගිහින් බිඳිච්ච හාට් එකක් ටැටූ කරගන්නවා. තවත් එකෙක් කෙල්ල සෙට් වුණු ප්‍රීතියට දුවලා ගිහින් අත වැහෙන්න කෙල්ලගේ නම ටැටූ කරගන්නවා. හැබැයි අපි කියන්නේ ජීවිත කාලයක් අපිට ආසාවෙන් තියාගන්න පුළුවන්, හොඳ ටැටූ එකක් ඔය වගේ කඩිකුලප්පුවට කරගන්න බැහැයි කියන එක තමයි. එහෙම ටැටූ එකක් කරන්න නම් හිතන්න ඕන, කරන්න ඕන යම් යම් දේවල් තියෙනවා. එහෙම ටැටූ එකක් ඩිසයින් කරන්නමත් යම් කාලයක් ගත වෙනවා. ආන්න ඒ ටැටූ එකක් ගන්න කලින් හිතන්න ඕන හැමදේම ගැන තමයි අපි මේ කියන්න යන්නේ.

 

1. ඇත්තටම ඇයි ටැටූ එකක් අපිට ඕන?

ටැටූ එකක් ගහන්න කලින් හිතන්නම ඕන කාරණාව තමයි මේක. මොකටද අපිට ටැටූ එකක් ඕන කරන්නේ? ෆැෂන් එකට? ස්මරණයක් විදියට? සංකේතාත්මක අදහසක් විදියට? මර්සි ලුක් එකක් ගන්න? හරි ඔය ඕන කාරණේකට වුනත් කමක් නෑ. හැබැයි ඒ කාරණාව පස්සෙ කාලෙක පසුතැවිලි නොවෙන කාරණාවක් වෙන්න ඕන. ඒ කියන්නේ උදාහරණෙකට ලව් එක නිසා කෙල්ලගේ නම ටැටූ කරන එක මාර රොමෑන්ටික් වගේ පේනවා. හැබැයි අවදානමක් තියෙනවා. වෙනවට නෙවෙයි. ඒත් බැරිවෙලාවත් ලව් එක කැඩිලා ගියොත්, ඉන් පස්සේ ඒ නම තියෙන කෙල්ලෙක්වම හොයාගන්නද? අනික් කාරණාව, ටැටූ ඩිසයින් එකක් හරියට කරගන්නත් මේ ටැටූ එකක් අපිට ඇත්තටම ඕන ඇයි කියන කාරණාව වැදගත්.

 

2. ඩිසයින්, ඩිසයින්, ඩිසයින්

මෙන්න අත්‍යාවශ්‍යම කාරණාව. ඩිසයින් එක. ඇත්තටම ගොඩක් දෙනෙක් ටැටූ එකක් අමුතුවෙන් ඩිසයින් කරන්නේ නෑ. හොඳ ටැටූ ගහන අයියා කෙනෙක් ගාව තියෙනවා දාහක් විතර ටැටූ මැගසින්, ටැටූ ඩිසයින් පොත් අනං මනං. මෙව්වායෙන් හොඳ එකක් තෝරගෙන ගහන එක තමයි ගොඩක් දෙනෙක් කරන්නේ. ඒකේ ප්‍රශ්නයක් නෑ. හැබැයි තමන්ටම අනන්‍ය වුණු, තමන්ටම සුවිශේෂී වුණු ටැටූ එකක් ගන්න යන කෙනෙක්ට ඔය ක්‍රමේ ගැලපෙන්නෙ නෑ. අන්න එහෙම කෙනෙක්ට එකේ ඉඳලා ටැටූ එක ඩිසයින් කරන්න වෙනවා.

මෙතනදී හිතන්න ඕන අපිට ටැටූ එකෙන් ඇත්තටම මොකද්ද කියන්න ඕන කියන එක. සමහරුන්ට ටැටූ එකෙන් සංකේතවත් කරන්නේ ස්මරණයක්. සමහරුන්ට මොකක් හරි විශේෂ දෙයක් -ඒ කියන්නේ මකරෙක්, මොනරෙක්, අලියෙක් වගේ දෙයක්- ටැටූ කරන්න ආසාවක් තියෙනවා. සමහරුන්ට ඕන සම්පූර්ණයෙන්ම සංකේත වලින් ටැටූ එකක් නිර්මාණය කරන්න. ඔන්න ඔය කෝක වුනත් අපිට ටැටූ එකෙන් කියන්න ඕන දේ තේරුම් ගත්තට පස්සේ පුළුවන් ඒකට අදාළ සංකේත ඩිසයින් එකට ගේන්න. ඊට පස්සේ තියෙන්නේ ඒවා ඩිසයින් එක ඇතුළේ ප්ලේස් කරන එක සහ ඒක හැඩ වැඩ කරන එක. මෙතනදී මතක තියාගන්න ඕන දෙයක් තමයි ටැටූ එකක් ඇතුළේ දේවල් පිරිලා තියෙන එකෙන් ලස්සන ටැටූ එකක් නිර්මාණය වෙන්නෙ නැති බව. ටැටූ එකක් අතිශයින්ම සංකීර්ණ වෙන්න පුළුවන්. හැබැයි කොච්චර සංකීර්ණ වුනත් ඒ ටැටූ එක දැක්ක ගමන් සංගත බවක්, ගැලපීමක් තියෙන්න ඕන.

ඒ වගේම තමයි, තමන්ටම සුවිශේෂී ටැටූ එකක් නිර්මාණය කරන්න එක රැයින් බෑ. ඒකට හොඳ රිසර්ච් එකක් කරන්න ඕන. විවිධ ටැටූ ශෛලීන් එක්ක එක්ස්පෙරිමන්ට් කරලා බලන්න ඕන. සමහර වෙලාවට මේකට ආට් පුළුවන් යාලුවෙක්ගේ හරි ප්‍රොෆෙෂනල් කෙනෙක්ගේ හරි උදවුව ගන්න සිද්ධ වෙන්නත් පුළුවන්.

 

3. කොහෙද ටැටූ එක ගහන්නේ?

ඇත්තටම උඩ කියපු ඩිසයින් කොටස එක්කම හිතන්න ඕන දෙයක් තමයි ටැටූ එක ගහන්නේ කොහෙද කියන එක. මොකද ටැටූ එක අපේ ඇඟේ ගහන තැන අනුව ඩිසයින් එක වෙනස් වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, තටු විහිදාගෙන ඉන්න කුරුල්ලෙක්ගේ ඩිසයින් එකක් උඩ බාහුවේ ගැහුවට වැඩක් නෑ. තටු දෙක තියෙයි කිහිල්ලේ. එහෙම ටැටූ එකක් හොඳයි පිටට වගේ තැනකට. ආන්න ඒ නිසා ඔය ටැටූ එක ගහන තැන මුලින් හිතලා, ඒ අනුව ඩිසයින් එක කරන එක තමයි වඩාත් හොඳ.

 

4. කවුද ටැටූ එක ගහන්නේ?

මේක ඉතාම වැදගත්. ඔය බොන්න සෙට් වුණු වෙලාවක ඉන්න ටැටූ සාස්තරේ ඉගෙන ගන්න මල්ලියෙක්ට කියලා හරි, ටැටූ මැසිමක් රට ඉඳන් ගෙනාපු ඉස්සරහ ගෙදර අයියට කියලා හරි ටැටූ ගහගන්න එක බොහොම භයානකයි. අන්න ඒ නිසා ටැටූ එකක් ගහන්න හැමවෙලේම හොඳ කීර්තියක් තියෙන, වෘත්තිමය ටැටූ ආටිස්ට් කෙනෙක් ගාවට යන්න ඕන. ඒ හේතු දෙකක් නිසා. එකක් තමයි සෞඛ්‍යාරක්ෂාව. නියම ටැටූ ආටිස්ට් කෙනෙක් වැඩේ කරන්නේ අතිශයින්ම සෞඛ්‍යාරක්ෂාව ගැන සැලකිලිමත් වෙලා. එකම කටුව දෙන්නෙක්ට පාවිච්චි කරන්නෙ නෑ. ග්ලවුස් දාලා, මුඛ ආවරණ දාලා, ටැටූ ගහන කෙනාට ආසාදන ඇති නොවෙන විදියේ වටපිටාවක් හදලා තමයි වැඩේ කරන්නේ.

දෙවෙනි කාරණාව ඩිසයින් එක. දැන් ඔය ටැටූ සාස්තරේ පළපුරුද්දක් නැති කෙනෙක්ට මකරෙක් ගහන්න කිවුවොත් ගහලා තියෙයි හූනෙක්ව. ආයෙ මකර ටැටූ ඩිසයින් එක ප්‍රින්ට් කරගෙන ගිහින් දීලා, ඒක අතට ට්‍රේස් කරලා ටැටූ එක ගහන්න ගත්තත්, පළපුරුද්ද සහ ආට් එක නැති ටැටූ ඩයල් එකක් වැඩේ ඉවර කරනකොට මකරා කකුල් තියෙන ගැරඬියෙක් වෙලා ඉඳී.  

 

5. ටැටූ අයියත් එක්ක කතාබහ කළාද?

දැන් ඔන්න අපිට හිතට හරියන ටැටූ ඩිසයින් එකත් තියෙනවා. ටැටූ එක හරියට ගහන්න ප්‍රොෆෙෂනල් ටැටූ අයියෙකුත් ඉන්නවා. දැන් තියෙන්නේ ටැටූ අයියා හම්බුවෙලා ටැටූ එක ගහගන්නද? නෑ, එහෙම බෑ පිංවතුනි. හරියට වැඩේ කෙරෙන්න නම් ටැටූ අයියව දෙපාරකටවත් මුණගැහෙන්න වෙනවා. මුලින් හම්බුවෙලා ටැටූ එකේ ඩිසයින් එක පෙන්නලා, එයාගේ අදහස් එහෙමත් අරගෙන, ඒක ගහන්න පුළුවන් කොහොමද කියලා කතා කරගන්න ඕන. ඒ ටැටූ එකට එන පාට ගැන පවා හොඳට කතාබහ කරලා, තේරුම් බේරුම් කරගන්න ඕන. ඉන් පස්සේ ඉතාම සරල පොඩි ටැටූ එකක් නම් ඒ වෙලාවෙම වුනත් ගහගන්න පුළුවන් වෙයි. හැබැයි වඩාත් සංකීර්ණ ටැටූ එකක් නම් එහෙම ඇදලා ගත්තා, ටැටූ කළා ලෙවල් එකට කරගන්න බැරි වෙයි.

 

6. මිස්ටේක් වෙන්න පුළුවන්ද?

ටැටූ ගැහිල්ලත් එක්ක මිස්ටේක් වෙන්න බෑ. මොකද ටැටූ එකක් කියන්නේ හෙයාර් ස්ටයිල් එකක් වගේ මාසෙන් වෙනස් කරන්න පුළුවන් එකක් නෙවෙයිනේ. ගැහුවොත් ගැහුවමයි. ගහපු ටැටූ මකන එක පට්ට අමාරු ප්‍රොසෙස් එකක්. ආන්න ඒ නිසා ටැටූ එක ගහන අවස්ථාවේදී පවා ටැටූ එක ගන්න කෙනා වගේම ටැටූ අයියත් බොහොම ඉවසිලිමත් වෙන්න ඕන. අන්න ඒ නිසාමයි ටැටූ එකක් ගහන්න හොඳ ප්‍රොෆෙෂනල් ඩයල් එකක් තෝරගන්න කියලා උඩ කියලා තියෙන්නේ. අනික ඔය අම්බානෙකට මත් වෙන ජාති එහෙම පාවිච්චි කරලා ටැටූ ගහන්න නොයන එක හොඳයි.

 

7. ගැහුවට පස්සේ?

ටැටූ එක ගැහුවට පස්සේ ඔක්කොම වැඩ ඉවර වෙන්නෙ නෑ. හරියට ටැටූ එක ගහපු තැන සම ආරක්ෂා කරන්න ඕන. ඒකට ටැටූ එක ගහපු ගමන් බැන්ඩේජ් කරලා තිබ්බට කමක් නෑ පැය විසිහතරක් වගේ. කොහොමත් ටැටූ ගැහිල්ල ටක්කෙටම දන්න ටැටූ අයියා කෙනෙක් නම් ටැටූ එක සහ සම ආරක්ෂා කරන විදිය ගැනත් කියනවා. ඔය පෙට්‍රෝලියම් ජෙල් එකක් හරි, ටැටූ වලටම තියෙන ජෙල් එකක් හරි ගාලා තමයි බැන්ඩේජ් කරන්නේ. ඊට පස්සෙත් දවසකට දෙවතාවක් බැක්ටීරියා ප්‍රතිරෝධී ක්‍රීම් එකක් ගාන්න ඕන ටැටූ එකේ. ඒවා ෆාමසියෙන් ගන්න පුළුවන්. නානකොටත් ටැටූ එක තියන තැන සුමුදු විදියට අතුල්ලලා හෝදගන්න ඕන. ගොඩක් සැර නැති සබන් එකක් ගෑවට කමක් නෑ. එතකොට නාලා හොඳට තෙත මාත්තු කරන්නත් ඕන.

ටැටූ එක තියෙන තැන කබොල ගැලවිලා ගිහිල්ලා, එතන සම සුව වෙලා ටැටූ එක හරියට මතුවෙනකල්ම ඔය කාරිය කරන්න ඕන.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *