මතු බුදුවන නා උයනේ අරියධම්ම හිමි

පහුගිය කාලයේදී අපි මෑත කාලයේ අපේ රටේ වැඩ හිටපු ආධ්‍යාත්මික වශයෙන් උසස් තත්ත්වයකට පත් වූ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ගැන කතා කළා. අද මේ සටහන මීට වසර කීපයකට පෙර අපවත් වී වදාළ තවත් ධර්මධර, විනයධර යතිවරයාණන් වහන්සේ නමක් පිළිබඳවයි. උන්වහන්සේ ජීවමාන කාලයේදීම තමන් වහන්සේගේ පෙර භව ගැන වගේම මතු භව ගැනත් අදහස් දක්වලා තිබ්බා. උන්වහන්සේව අපි දන්නේ නා උයනේ අරියධම්ම  ස්වාමීන් වහන්සේ විදිහට.

 

1. උන්වහන්සේගේ අසිරිමත් උපත 

නා උයනේ අරියධම්ම හිමියන් දිසානායක මුදියන්සේලාගේ හීන්බණ්ඩා නමින් මෙලොව උපත ලබන්නේ 1939 අප්‍රේල් 24 වෙනිදායි. උන්වහන්සේගේ පියාණන් වූ දිසානායක මුදියන්සේලාගේ කළු බණ්ඩා මහතා ආයුර්වේද වෛද්‍ය වරයෙක් විය. එතුමා 1938 වසරේ දී රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වලට සහභාගී විය. සත් දිනක් පුරා දහවල් කාලයේ දී රුවන්වැලි සෑය පැරණි ශ්‍රී විභූතියට යළි නැංවීමට වෙහෙස මහන්සි වූ එතුමා රාත්‍රී කාලයේ දී පහන් දල්වා බුදු ගුණ කියමින් රුවන්වැලිසෑය වටා ප්‍රදක්ෂිණා කළේය. සත් වෙනි දිනයේදී එතුමාට සිහිනයකින් පණිවිඩයක් ලබා දෙන ලදී. එනම් පින්වත් කුමරෙකු පුත්‍රයෙකු ලෙස ලැබෙන, බවත් දැන් ගෙදර යා යුතු බවත්. එසේම නාඋයනේ හිමියන් පවසා ඇති පරිදි උන්වහන්සේ තුළ කුඩා කාලයේ දීම මීට වඩා උසස් තැනකින් තමන් වහන්සේ පැමිණි බවත් යළිත් ඒ තැනට යෑමට නම් මහණ විය යුතු බවටත් අධිෂ්ඨානයක් ඇති වී තිබෙනවා.

 

2. අසිරිමත්ම මව

නා උයනේ අරියධම්ම හිමිපාණන් සිය මව වූ මානිංගමුවේ ගෙදර පුංචි මැණිකා උපාසිකාවගේ ධර්මධරබව ගැන සහ සිල්වත්බව ගැන විශේෂයෙන් සඳහන් කර තිබෙනවා. වරක් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් නිවසේ දනට වැඩම කර තම පන්සලේ ඉඩම් කඩම් බලාගැනීමට පුතාව මහණ කරන්නට දෙන ලෙස ඉල්ලූ බවත් ඊට පිළිතුරු ලෙස උන්වහන්සේගේ  මෑණියන් “මගේ පුතාව අපායේ යන්න දෙන්න බෑ” යැයි පැවසූ බවත් කියවෙනවා. එතුමිය වයස අවුරුදු හතළිහේ දී පමණ මෙලොව හැර ගිය අතර ඒ මොහොත පිළිබඳව නා උයනේ අරියධම්ම හිමියන් මෙසේ සඳහන් කරනවා. “සමීපාත්මයක දී මග ඵලයට පත් වූ ආර්ය ශ්‍රාවිකාවක් වැනි වූ ශීලයෙන් ගුණයෙන් පිරිපුන් අපගේ මෑණියන්වහන්සේ ගමේ අසල්වාසී ගම්වාසීන්ගෙත් ගෞරවයට පත්වූ පුණ්‍යාත්මී ජීවිත පැවැත්මෙන් කල්‍යාණ මිත්‍ර ආදර්ශවත් උත්තමාවකි. පින්වත් දරුවන් අට දෙනෙකුගේ මවක් වූ අතර නිරෝගී සුවයෙන්ම අවුරුදු හතළිහක් පමණ ආයු වළඳා සිය මෑණියන්ගේ පතුල් වැඳ සමු ගෙන අප පියාණන්ගේ ද පතුල් වැඳ සමු ගෙන හදිසි අසනීපයෙන් ඉතා කෙටි වෙලාවකදීම අනිච්චේ දුක්ඛේ සංසාරේ යන විදර්ශනා වැකිය තෙවරක් කියා සිහිනුවණින් අවසන් නෙත් පියවුණේ ඇත්තෙන් ම සෝවාන් වූ ආර්ය ශ්‍රාවිකාවක් මෙනි”

 

3. ගිහි ගෙයි දී ලැබූ ආධ්‍යාත්මික දියුණුව 

මේ හීන්බන්ඩා කුල කුමරුවා පෙහෙවස් සමාදන් වූ පළමු දිනයේදීම බණ අසා සිත සමාධියට පත් වී තමන් මතු බුදු වන බව දුටුවේය. වයස අවුරුදු දහතුනේ දී පමණ කුඩා දහම් පොතක සඳහන් වූ මෛත්‍රී භාවනාව පිළිබඳ සටහනක් කියවා ඒ අනුව දස දිසාවටම මෛත්‍රී භාවනාව වැඩීමට හීන්බන්ඩා ආරම්භ කළේය. මේ මගින් තමන් වහන්සේගේ සිත සමාධියට පත් වූ බවත් මෙම සමාධිය හේතු කොටගෙනම පැවිදි වීමෙ අභිලාෂය තව තවත් දැඩි වූ බවත් උන් වහන්සේ පසු කලෙක පැවසූ සේක.

 

4. පැවිදි වීම සහ උපසම්පදාව 

පෙර සසරේ පුරුද්දෙන් ම පැවිදි වීම සිය ජීවිතයේ එකම අරමුණ කර ගත් හීන්බණ්ඩා කුල කුමරුවා විගොඩ බෝධිරක්ඛිත ස්වාමීන්වහන්සේගෙන් ධර්මය පුරුදු පුහුණු කළේය. 1957 මාර්තු විසිහත් වැනිදා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව පිහිටුවා වදාළ බෝධිසත්වගුණොපේත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් සහ එම යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන ආචාර්ය මාතර ශ්‍රී ඤාණාරාම මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යාත්වයෙන් ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රම පරිශ්‍රයේදී නා උයනේ අරිය ධම්ම යන ශාසනික නාමයෙන් පැවිදි වූ සේක. උන්වහන්සේගේ අධ්‍යාපන කටයුතු සඳහා ගැටමාන්නේ ශ්‍රී විමලවංශ හිමිපාණන් වහන්සේ බෙහෙවින් උපකාරී වූ සේක. 1959ක් වූ ජූලි මස 15 වන දින අලව්ව, රංවල, කුඩාඔය උදකුක්ඛේප සීමා මාලකයේ දී උතුම් උපසම්පදාවට පැමිණියේ  මඩවල ධම්මතිලක හිමිපාණන්ගේ සහ පැවිදි වීමේ දී ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා වූ  හිමිවරුන්ගේ සහභාගීත්වයෙනි.

 

5. ගුරුවරුන්ගෙන් පවා ගෞරවය දිනාගත් නා උයනේ හාමුදුරුවෝ 

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව පිහිටුවා වදාළ පරම පූජනීය කඩවැද්දුවේ ජිනවංශ හිමිපාණෝ නා උයනේ හාමුදුරුවන්ගේ ගුරුවරයා වූ සේක. එහෙත් උන් වහන්සේ නිතර නිතර ප්‍රකාශ කළ දෙයක් විය. “මේ අරියධම්ම නමට මමත් වඳිනවා, අරියධම්ම කියන්නේ මේ යෝගාශ්‍රමයේ මිණි පහන. අපි බ්‍රහ්ම ලෝකයෙන් අරියධම්මව ගෙන්න ගත්තේ පණිවුඩ යවලා”. එපමණක් නොව තමන් වහන්සේගේ ශිෂ්‍යයා පිළිබඳව මෙසේද පැවසූ සේක. “ඔය අරියධම්ම නම වඳින්න එනකොට අපේත් හිස් පහත් වෙනවා”. අරියධම්ම හිමියන් මෙසේ තම ගුරු හිමියන්ගෙන් ගරු සැලකුම් ලැබුවේ උන්වහන්සේ සතු ධර්මධර, විනයධර බව නිසා පමණක් නොව සිල්වත් බව නිසාය. ආධ්‍යාත්මික බලය නිසාය.

 

6. සිංහ නාදය 

නා උයනේ අරියධම්ම හාමුදුරුවෝ වරක් මෙසේ පැවසූ සේක.” මම මේ සමාදන් වෙලා පවාරණය කළේ මගේ 55 වෙනි වස් කාලය.මේ කාලය තුලදී එකම වස් කාලයක් වත් කැඩුනේ නෑ.දෙපාරක් පසු වස් සමාදන් වෙන්න වුනා නොවැළැක්විය හැකි හේතු නිසා” එසේම වරක් උන්වහන්සේ  වහන්සේ වදාරා සිටියේ දැන දැන තමන් වහන්සේ අතින් කුඩා හෝ ඇවැතක් සිදු නොවී ඇති බවය. බුද්ධකාලීන මහතෙරුන් වහන්සේලා ගෙන් පසු මෙවැනි සිංහ නාදයක් භික්ෂුන් වහන්සේ නමක් අතින් ඇසෙන්නේ ඉතා කලාතුරකින්ය.

 

7. අපවත්වීම 

නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ 2016 සැප්තැම්බර් මස හත් වන දින මේ මෙලොව හැරදා තුසිත දෙව් ලොව තුළ යළි උපත ලැබූ සේක. උන් වහන්සේගේ දෛනික ප්‍රාර්ථනාව මෙසේ ඔබ සමඟ බෙදා ගමු.

“දිනපතා රැස්කර ගන්නා වූ සකල කුසල සම්භාර ධර්මය මා හට සර්වඥතා ඥාන ප්‍රතිලාභය පිණිස ම හේතු වේවා! ඒ සඳහා ම පාරමී ගුණ බෝධි සම්භාර ධර්ම පූරණය පිණිස මේ ජීවිතයේ දී ත්‍රිපිටකධාරී වීමටත්, පංච අභිඥා, අෂ්ට සමාපත්ති ලාභී වීමටත්, සංඛාරුපෙක්ඛා ඤාණ තෙක් විදර්ශනා ඥනයෙන් දියුණු වීමටත්, ඒ ධර්මයන්ගෙන් නොපිරිහී බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සැලසීමටත් ශක්තිය ලැබේවා”

 

නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේගේ භාවනා අත්දැකීම් පිළිබදව ඉදිරියේදී තවත් සටහනක් තැබීමට බලාපොරොත්තු වෙමු. මෙම සටහන ඔබේ මිතුරන් සමග බෙදාගෙන ඔවුන්ට ද මෑත කාලීන ශ්‍රී ලංකාවේ වැඩහුන් මේ බෝධිසත්වයාණන්වහන්සේ පිළිබඳව දැන ගැනීමට සලස්වන්න.මේ ලිපිය පිළිබඳව ඔබේ අදහස්ද එකතු කිරීමට අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *