80 දශකයේ ඉපදුන අය තමයි ලංකාවට කොම්පියුටර් ආපු මුල්ම කාලේ ඒ සුන්දර අත්දැකීම ලබපු අය. 2000 අවුරුද්ද වගේ වෙද්දී ලංකාවේ ගෙවල් වලට කොම්පියුටර් එක කියන ගැජමැටික් එක හෙමින් හෙමින් සේන්දු වෙන්න ගන්නවා. එහෙම කිව්වට එක පාර ගමේම මිනිස්සු ඔය ගැජමැටිස් එක ගත්තේ නෑ. ඇත්තටම ගන්න පුළුවන් තත්ත්වයක් තිබුනෙත් නෑ කිව්වොත් හරි. ඒ වෙද්දීත් ලංකාවේ ගොඩක් අයට විදුලිය තිබුනෙත් නෑ. ඒ කාලේ ඉතින් කොම්පියුටර් එකක් ගත්තේ සල්ලි යහමින් තිබුන අය තමයි. එක්කෝ රට ඉන්න හෝ ඉඳල ආපු අය. මොකද ඉතින් ඔය කොම්පියුටරේ කියල ලේසියට කිව්වට ඒවායේ ගණන් මිනුම් නම් එච්චර ලේසි නෑ ඒ කාලේ. අනික ඉතින් අද වගේ ඕව අත්‍යවශ්‍ය දේවල් වෙලා තිබුනෙත් නැහැ නොවැ ඒ කාලේ.
කොයි හැටියකින් හරි ගමකට එකක් දෙකක් වගේ කොම්පියුටර් තිබ්බ ඒ කාලේ. ඉතින් ඒ අවට ඉන්න කොල්ලෝ ඔක්කොම ඉතින් ඒ ගෙදරට සෙට් වෙනවා මේකේ වැඩකෑලි ටික බලන්න. කරන්න මහලොකු දේවල් නොදන්නවා උනාට දන්න වැඩ කෑලි දෙක තුන බලාගන්න තමයි හැමෝටම ඕනේ. ඔන්න ඔය කියපු කාලේ ඒ අත්දැකීම ලබපු අයගේ සුන්දර මතකයන් නම් ඉතින් ආයේ මතක් කරන්න කරන්න සුන්දරයි.
1. තට්ටු හයේ ජෙට් ඕඩියෝ එක
ඉස්සර කොම්පියුටර් වලට හිතෙන හිතෙන සොෆ්ට්වෙයාර්ස් දාන්න බෑ. සහ සොෆ්ට්වෙයාර්ස් එහෙම හොයාගන්නත් නෑ. ඉතින් ඒ කාලේ නැගලම ගිය සොෆ්ට්වෙයාර්ස් කිහිපයක් තිබ්බා. ඒවායිනුත් සින්දු අහන්න ගොඩක් අය මුල්ම කාලේ ජෙට් ඕඩියෝ කියන සොෆ්ට්වෙයාර් එක දාගත්ත. ඒ ජෙට් ඕඩියෝ එක සෙල්ලම් නෑ. කෑලි හයකට තිබ්බේ. අම්මෝ එ්කෙ තිබ්බ වැඩ කන්දරාව. එක ඕපන් කරාම ස්ක්‍රීන් එකම ඉවරයි ඒකට. ජෙට් ඕඩියෝ එක තාම තිබුණට ඒ ඉස්සර තිබුන ගැම්ම ගන්න බෑ අදටත්.
2. MS Office Assistant
ඒ කාලේ කොම්පියුටර් එකක් එක්ක පොඩි හරි ගනුදෙනුවක් තිබුන අයට නම් මේ සුන්දර මතකය අමතක වෙන්න විදිහක් නෑ. මතකද ඒ කාලේ MS Office 97, 98 වල හිටපු ෆයිල් කටුව. Word, excel වල මෙලෝ දෙයක් දන්නෙ නැති උනාට මේ ෆයිල් කටුව බලන්නම ඔය ඇප්ලිකේෂන් එක රන් කරපු අය කොච්චර ඇද්ද. ඔෆිස් ඕපන් කරද්දීම කොළයක් උඩින් ලිස්සල ඇවිත් ස්ක්‍රීන් එකේ පැත්තකින් ඉඳන් බලන් ඉන්න හැටි. ඒ වගේම මොනාහරි අවුලක් උනොත් අපිට උදව් කරන්න ආපු හැටි. අනේ ඉතින් ඒවා නම් අද කොම්පියුටර් පාවිච්චි කරන අයට මිස් වෙච්ච සුන්දරම මතක තමයි. ආහ්, සමහරු මෙයාව අයින් කරලා එකේ හිටපු වෙන වෙන අයවත් දාගෙන හිටියා. Merlin කියල සීය කෙනෙක්, The Genius කියල කොණ්ඩේ අවුල් වෙච්ච අන්කල් කෙනෙක් එහෙම හිටිය මතක ඇති නේහ්.
3. පෙන්ටියම් i, ii, iii උපරිම iv
අපි මේ කතා කරන කාලේ තිබුන කොම්පියුටර් අද වගේ හුරුබුහුටි නම් නෑ. අඩුම ගාණේ ලොකු මේසයක් වත් ඕනේ ඒක අම්බාන් කරලා තියන්න. ඒ කියන්නේ ඒ කාලේ CPU එකක් පත සයිස්. ඒ වගේම තමයි බර. ඒ උනාට යාළුවනේ ඒ බරට හරියන දේවල් නම් ඇතුළේ තිබුනේ නෑ. 32mb හරි 64mb හරි රැම් එකක් තිබ්බ. ස්පීඩ් එක කිව්වොත් 450Mhz වගේ ස්පීඩ් එකක්. හාර්ඩ් එක 8gb වගේ ප්‍රමාණයක්. 32mb වගේ VGA එකකුත් තිබුනා. ඒ CPU එකටම ගැලපෙන්න හදාපු තඩි සයිස් මොනිටර් එකකුත් එක්ක තමයි කොම්පියුටරේ සම්පූර්ණ වෙන්නේ.
4. මෙගා බයිට් 1.44 ෆ්ලොපි ඩිස්කට් එක.ග
දැන් කාලේ CD, External Hard disk, Pen Drives අරව මේවා තිබ්බට ඒ කාලේ ඉතින් මොනාහරි ගේමක්, ෆයිල් එකක් වගේ දෙයක් දාගෙන යන්න තිබ්බේ ඉතින් ෆ්ලොපිය තමයි. නොදන්න අයට කියන්නේ, මේක හතරැස් තුනී ගැජට් එකක්. ඒ හතරැස් කොනකින් පොඩ්ඩක් හැඩේට කට්ටයක් කපල තියෙන්නේ. ඒත් හිතාගන්න අමාරුයි නේද. එහෙනම් සරලවම ඔයා දැන් පාවිච්චි කරන ඔෆිස් ඩොකියුමන්ට් එකක් සේව් කරන්න තියෙන බටන් එක දිහා බලන්න. ආහ්. ඒක තමයි ෆ්ලොපිය කියන්නේ. මේකේ ජාති දෙකක් අපිට මතකයි. එකක් මෙගා බයිට් 1.44 එක. අනික මෙගා බයිට් 2.88. ඉතින් ඒ කාලේ අයියල නංගිලව දැලේ දාගන්නත් ෆ්ලොපියක් අරන් එහේ මෙහෙ ඇවිදිනවා. එතකොට කෙල්ල හිතන්නෙ මූ හෙන කොම්පියුටර්කාරයා කියලනේ.
5. DOS ගේම්ස්
ඒ කාලේ කොල්ලෝ ඉතින් කොම්පියුටරේකින් බලාපොරොත්තු වෙච්ච මූලික කාරණා දෙකක් තියෙනවනේ. ඒකෙන් එකක් තමයි ගේම් ගහන එක. ගේම් කිව්වට ඉතින් මහා ලොකු ගේම් නෙමෙයි. මෙගා බයිට් දහයේ පහළොවේ ගේම්. අනික ඉස්සර තිබ්බ NEED for SPEED II කියල ගේම් එකක්. ඒක නම් ටිකක් ලොකුයි. ඒ කියන්නේ මෙගාබයිට් 112ක් වගේ උනා ඒ දවස් වල. 😀 ඕක තමයි ගොඩක්ම නැගල ගිය ගේම් එක. ඊට අමතරව ඔය පොඩි පොඩි DOS ගේම්ස් එහෙමත් සෙල්ලම් කළා කට්ටිය.
6. වින්ඩෝස් 98
ඒ දවස් වල ඉතින් ඔක්කොම කොම්පියුටර් වල රන් උනේ 98 තමයි. මේක රන් වෙන්න අවශ්‍ය System Requirements ගූගල් කරලා බැලුවොත් දැන් කාලේ අයට නම් හිනා යයි. ඒ උනාට කොම්පියුටර් එකක වින්ඩෝස් 98 බූට් වෙන විදිහ දැක්කම මාර සතුටක් හිතට එනවා. ඔය ඔක්කොම වෙලා ඩෙස්ක්ටොප් එකට ආවම කොම්පියුටරේ අයිති එකාගේ වැඩේ අනිත් එවුන්ට පේන්න රී ෆ්‍රෙෂ් කරන එක. එක මාර වැඩක් ඒ දවස් වල. ඊට පස්සේ ඕකේ වෝල් පේපර් මාරු කරන ඒවා, ස්ක්‍රීන් සේවර් මාරු කරන ඒවා එහෙම මාර මැජික් ඒ කාලේ.
7. XP Product Key එක
මේක නම් මුල්ම කාලේ මතකයක් නෙමෙයි. ටිකක් පහු කාලෙක Windows xp කියල ඔපරේටින්ග් සිස්ටම් එකක් ආවා. ඉතින් ගොඩක් අය එකට මාරු උනා. ඉතින් එකත් එක්ක කොම්පියුටර් එකක් ෆෝර්මැට් කරලා ආයේ වින්ඩෝස් දානවා කියන එක පොඩි ආතල් වැඩක් වගේ උනා. ඉතින් කොල්ලන්ට QW4HD කිව්වම දැනටත් මාර ආතල් එකක් එනවලු.
Leave a Reply