දේශපාලනයට පිවිසුණු ලංකාවේ ජනප්‍රිය කලාකරු​වෝ

 අපි හිතුවා ලංකාවේ කලාකරුවෝ සහ දේශපාලනය ගැන ලිපි කිහිපයක් ලියන්න.

 

1. ගාමිණී ෆොන්සේකා 

ලංකාවේ කලාකරුවන් අතරින් දේශපාලන ලෝකය තුළ ඉහළම තැනකට මෙතෙක් ගිය පුද්ගලයා විදියට සැලකෙන්නේ ගාමිණී ෆොන්සේකා. දිගු කාලයක් එක්සත් ජාතික පක්ෂයේ හිතවතෙක් වුණු ගාමිණී, සක්‍රීය දේශපාලනයට එළඹුණේ 1970 සමගි පෙරමුණ රජය තිබ්බ කාලේ. ඇතැම් අවස්ථාවල සත්‍යග්‍රහ වලට සහභාගී වුණු ගාමිණීට පොලිස් පහරකෑම්වලටත් ලක් වෙන්න සිද්ධ වුණා.

රණසිංහ ප්‍රේමදාසගේ හිතවතෙකු වුණු ගාමිණී ෆොන්සේකා ඔහු සමග එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී පුරවැසි පෙරමුණ නිර්මාණය කිරීමටත් දායක වුණා. කෙසේ වෙතත් ඩඩ්ලි සේනානායකගේ මරණයෙන් පසුව නැවතත් ප්‍රේමදාස සමග එක්සත් ජාතික පක්ෂයට ගිය ගාමිණී ෆොන්සේකා, 1989 වර්ෂයේදී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වැඩිම මනාප ලබා ගනිමින් පාර්ලිමේන්තුවට පිවිසුණා.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධූරයේ ද කටයුතු කළ  ගාමිණී ෆොන්සේකා පසු කලෙක දී චන්ද්‍රිකා බණ්ඩාරනායක යටතේ උතුරු නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ධූරයටද පත් වුණා. පසුව එම ධූරයෙන් ඉල්ලා අස්වී දේශපාලන ලෝකයට සමු දුන්නා.

 

2. රවීන්ද්‍ර රන්දෙණිය 

රවීන්ද්‍ර රන්දෙණිය දේශපාලනයට පිවිසෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු විදිහටයි. දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබාදීමේ හේතුව නිසාමද මන්දා රවීන්ද්‍රව 2000 වර්ෂයේදී පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පත් කරනු ලබනවා. නමුත් රවීන්ද්‍ර සිය පාර්ලිමේන්තු ජීවිතය වගකීමෙන් ගත කළ බව කිව යුතුවෙනවා. ඒ සඳහා එක සාක්කියක් වන්නේ ඔහු පාර්ලිමේන්තුව තුළ සිදුකරනු ලැබූ කතා.

නැවතත් එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවට පත්නොකිරීම නිසා මහින්ද රාජපක්ෂ රජයට සහාය පළ කරනු ලැබූ රවීන්ද්‍රව රන්මිණිතැන්න සිනමා ගම්මානයේ භාරකරු විදිහටත් පත් කරනු ලැබුවා. පසුගියදා ගෝඨාභය රාජපක්ෂ විසින් බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස රවීන්ද්‍රව පත් කිරීමට උත්සාහ කළත් ඔහු එම ඉල්ලීම පෞද්ගලික හේතු මත ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

 

3. මාලනී ෆොන්සේකා 

මාලනී ෆොන්සේකා සිය ජීවිතයේ විවිධ අවස්ථා තුළ එක්සත් ජාතික පක්ෂයට වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් සහයෝගය පළ කරලා තිබෙනවා. අවසානයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය මගින් ඇයව ජාතික ලයිස්තුව මගින් පාර්ලිමේන්තුවට පත් කරනු ලැබුවා. නමුත් ඇයගේ පාර්ලිමේන්තු ධුර කාලය තුළ කලාවට හෝ රටට වැදගත් යමක් කිරීමට ඇය උත්සාහ කළ බවක් පෙනුනේ නැහැ.

 

4. උපේක්ෂා ස්වර්ණමාලි 

උපේක්ෂා ස්වර්ණමාලි පාර්ලිමේන්තුවට තේරී පත්වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් .එහිදී ඇය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරියටත් වඩා මනාප ලබා ගැනීමට සමත් වුණා. කිසිදු දේශපාලන පසුබිමක් නොතිබුණ ඇය දේශපාලනයට පිවිසීමේ දී පැවසුවේ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබාදීම නිසා එතෙක් තමන් රඟපාමින් සිටි ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ පබා ටෙලි නාට්‍යයේ එම චරිතය තමන්ට අහිමි වූ බවයි.

නමුත් පසුව ඇය එක්සත් ජාතික පක්ෂය අතහැර එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වෙනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ කාන්තා මන්ත්‍රීවරියක් තම පක්ෂය වෙනස් කළ පළමු අවස්ථාව ලෙස එය සැලකෙනවා. ඒ සඳහා ඇයට ඇයගේ ස්වාමියා විසින් බලපෑම් කරනු ලැබූ බව කියවුනා. කෙසේ වෙතත් ඇය පසු කලෙක එම විවාහයට සමුදුන් අතර ඊළඟ මහ මැතිවරණයට ඉදිරිපත් වුණේ නැහැ.

 

5. ජීවන් කුමාරතුංග 

ජීවන් කුමාරතුංග දේශපාලනයට පිවිසුණේ ක්‍රමානුකූලවයි. මුලින් පළාත් සභා හරහා තම දේශපාලන ගමන ආරම්භ කළ ජීවන් කොළඹ දිස්ත්‍රික්කය හරහා පාර්ලිමේන්තුවට පිවිසුණා. කලාවට සම්බන්ධ නොවුණත් තැපැල් අමාත්‍ය ධූරය වැනි ලංකාවේ ප්‍රබල අමාත්‍යධූර කීපයක් ජීවන් විසින් දරනු ලැබුවා. ඊට එක හේතුවක් වන්නට ඇත්තේ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග ඔහුගේ තිබූ සමීප ඥාති සම්බන්ධය.

කෙසේ වෙතත් සෞඛ්‍ය හේතු මත පසුගිය මහ මැතිවරණයට තමන් ඉදිරිපත් නොවන බවත්, ඒ වෙනුවට තමන්ගේ දියණිය ඉදිරිපත් කරන බවත් ජීවන් පැවසුවා. නමුත් ඇයට එම කඩඉම ජය ගැනීමට නොහැකි වුණා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා නැවතත් තම දේශපාලන ගමන ආරම්භ කිරීමට ජීවන් කුමාරතුංග සිතා සිටියත් අවසානයේ දී පොදුජන පෙරමුණ හරහා නාම යෝජනා නොලැබී ගියා. මීට විකල්පයක් ලෙස අතුරලියේ රතන හිමියන් සමඟ කොඩිය ලකුණ යටතේ තරඟ වැදීමට ඔහු උත්සාහ කළත් තාක්ෂණික හේතූ මත එම නාමයෝජනා ප්‍රතික්ෂේප වුණා.

 

6. රන්ජන් රාමනායක 

පසුගිය පාර්ලිමේන්තුව තුළ වඩාත්ම ආන්දෝලනයට ලක් වුණු මන්ත්‍රීවරයා ලෙස සැලකෙන්නේ රන්ජන් රාමනායකයි. එක්සත් ජාතික පක්ෂය තුළින් පළමු වරට ඔහු තමන්ගේ දේශපාලන ගමන ආරම්භ කරන්නේ සබරගමුව පළාත් සභා මැතිවරණයට තරග කිරීමෙන්. ඒ වන විට සබරගමුව පළාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට සිටි උපුල් ශාන්ත සන්නස්ගල එම අවස්ථාව ප්‍රතික්ෂේප කොට තිබුණා. මෙම අර්බුදකාරී අවස්ථාවේදී අභියෝගය බාරගත් රන්ජන් අවසානයේදී සබරගමුව පළාතේ විපක්ෂ නායක ධුරයට පත් වුණා. පසුව ඔහු පාර්ලිමේන්තුව සඳහා තරග වැදුණේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින්.

 

7. විජය කුමාරතුංග 

දේශපාලනය නිසා ලංකාවට අහිමි වුණු විශිෂ්ටතම කලාකරුවා තමයි විජය කුමාරතුංග. ජීවිත කාලය පුරාවටම වාමාංශික අදහස් දැරූ විජයගේ දේශපාලන ගමන ඔහුගේ විවාහයත් සමග වේගවත් වුණා. සිරිමා මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි වීමත් සමඟ අකර්මණ්‍ය වෙමින් පැවතුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ජවයක් ගෙන ඒමට විජය සමත් වුණා. මහර අතුරු මැතිවරණයේදී විජය පරාජයට පත් වුණේ සුළු ඡන්ද ප්‍රමාණයකින්. ඒ රාජ්‍ය බලය උපරිමව ඔහුට එරෙහිව භාවිතා වුණු  පසුබිමකදී.

නමුත් ඇතිවුණු විවධ මතවාදී අරගල නිසා පසු කලෙක විජය සහ චන්ද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව වෙනම පක්ෂයක් නිර්මාණය කොට, නව දේශපාලන ගමනක් යෑමට උත්සාහ කළා. අවසානයේදී නන්නාදුනන වෙඩික්කරුවෙකුගේ උණ්ඩයකට ගොදුරු වීමට විජයට සිදු වුණා. එම උණ්ඩය එල්ල කිරීමේ මහා මොළකරු සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ද එසේත් නැති නම් ජනතා විමුක්ති පෙරමුණේ ද යන්න තවමත් නොවිසඳුණු අබිරහසක්.

 

එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *