අවුරුදු කෑම මේසෙට සුපිරිම කෑම වේලක් හදමුද?

මේ අවුරුද්දේ ඉතින් ගෙදරට නෑයෝ එන එකක් නැහැනේ. එනිසා අපිට වෙනස්ම විදිහට තමයි අවුරුදු ගත කරන්න වෙන්නේ. ඒ වුණත් ගෙදර උදවිය එක්ක හරි අවුරුදු මිහිර විඳගන්න කැමති අයට පහුවදා දවල් කෑම මේසය රසවත් කරන්න මෙනුවක් සහ ඒවාට රෙසිපි තමයි මේ ගෙන එන්නේ…

 

1. අවුරුදු විශේෂ රයිස් එක – සී ෆුඩ් ෆ්‍රයිඩ්‍ රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බාස්මතී හාල් කිලෝ 1
  2. ‍රවුමට කපාගත් දැල්ලො ග්‍රෑම් 250
  3. පිරිසිදු කරගත් ඉස්සො ග්‍රෑම් 250
  4. පොඩියට කපාගත් තලපත් මාළු ග්‍රෑම් 200
  5. ග්‍රේට් කරගත් කැරට් කප් 1/2
  6. තම්බගත්ත ග්‍රීන් පීස් කප් 1/2
  7. ළූණු කොළ කෝප්ප 1/2
  8. සෝයා සෝස්
  9. ඔයිස්ටර් සෝස්
  10. බටර් ටිකක්
  11. ගම්මිරිස්කුඩු
  12. ලුණු
  13. කෑලි මිරිස් මේස හැඳි 1(කැමති නම්)
  14. චොප්කරගත් ඉඟුරු සුදුළූණු පේස්ට් එක
  15. දෙහි යුෂ
  16. බීට් කරගත් බිත්තර 4
  17. තලතෙල්
  18. සීනි තේ හැන්දක්

 

  • මුලින්ම බාස්මතී හාල් ටික හෝදලා වතුර බේරල පැය බාගයක් පෙඟෙන්න තියන්න.
  • ලුණු, බටර් එක්ක පොඩි සේර කෑල්ලක් දාල බත බෙරි නොවෙන්න උයාගන්න. දවල් බතට මේ මෙනූ එක හදනව නම් බත් එක උදෙන්ම උයල නිවල ෆ්‍රිජ් එකට දාල තියල ගන්නව නම් වඩා හොඳයි. 
  • ඉස්සො, මාළු හා දැල්ලො දෙහි යුෂ ටිකක් අතගාලා තියාගන්න.
  • භාජනයකට තෙල් ටිකක් දාලා ඒකටම තල තෙල් තේ හැන්දක් විතර දාල ඒකට මුලින්ම මාළුත්, මාළු ටික යන්තම් බැදෙන කොට ඉස්සො සහ දැල්ලොත් එකතු කරන් හොඳින් බැදගන්න.
  • ඒකට ඉඟුරු, සුදුළූණු පේස්ට් එක දාගන්න. ඉස්සොන්ගෙන් උනපු වතුර ගතිය අඩු උනාම බීට් කරපු බිත්තර දාල ස්ක්‍රැම්බල් කරගන්න. 
  • මේකට ඔයිස්ටර් සෝස් සහ සෝයා සෝස් එක්ක කැරට් සහ ග්‍රීන්පීස් ටික දාගන්න. සීනි ටිකත් දාල හොඳට මික්ස් කරන්න. කැමති නම් කෑලි මිරිස් එකතු කරන්න. 
  • තව තල තෙල් තේ හැන්දක් මේකට එකතු කරගෙන, උයාගත්ත බත් එකතු කරන් වැඩි ගින්දරේ හොඳට මික්ස් කරන්න. රස අනුව ලුණු ගම්මිරිස් එකතු කරන්න.
  • අන්තිමට ළූණු කොළ ටික දාල කලවම් කර ගන්න. 

 

2. කජු කංකුන් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. වියලි කජු ග්‍රෑම් 250
  2. කංකුන් මිටියක්
  3. කපාගත් ළූණු ටිකක්
  4. වියලි මිරිස් කරල් 2
  5. ඔයිස්ටර් සෝස් මේස හැඳි තුනක්
  6. සෝයා සෝස් මේස හැඳි දෙකක්
  7. තක්කලි සෝස් මේස හැඳි දෙකක්
  8. ලුණු
  9. කෑලි මිරිස්
  10. තලාගත් ඉඟුරු
  11. චොප් කරගත් සුදුළූණු මේස හැඳි 4

 

  • කංකුන් ටික කපන්නෙ නැතුව අතින් කඩලා, හොඳට සෝදල වතුර බේරෙන්න තියන්න. 
  • දැන් කංකුන් ටික ක්‍රිස්පි ගතියට එනකම් ගැඹුරු තෙලේ බැදගන්න. කජු සහ ළූණු ටිකත් වෙනම බැදගන්න.
  • වෙන භාජනයක් ලිපේ තියල ඒකට තෙල් මේස හැන්දක් දාල ඉඟුරු, සුදුළූණු සහ කපාගත්ත වියලි මිරිස් කරල් එකතු කරලා, සුදුළූණු රන්වන් පාට ​වෙනකම් බැදගෙන ඒකට සෝස් වර්ග තුන ස​හ කෑලිමිරිස් එකතු කරන් හොඳට මිශ්‍ර කරගන්න. 
  • පිළිගන්වන්න ටිකකට කලින් මේ මිශ්‍රණයට කජු සහ බැදගත් කංකුන් එක් කර කලවම් කරගන්න. 

 

3. බැටර්ඩ් මශෲම් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මශෲම් පැකට් 1
  2. කඩල පිටි ග්‍රෑම් 100
  3. පාන්පිටි ග්‍රෑම් 50
  4. මිරිස්කුඩු මේස හැඳි 1/2
  5. ලුණු
  6. බටර්
  7. බැදගැනීමට තෙල්
  8. ගම්මිරිස් කුඩු
  9. කෑලිමිරිස් තේ හැඳි 2
  10. කහකුඩු තේ හැඳි 1/2
  11. ඉඟුරු සුදුළූණු පේස්ට් එක
  12. කපාගත් මාළු මිරිස් කරල් 2
  13. කපාගත් තක්කාලි ගෙඩි 3
  14. සෝයාසෝස්
  15. තක්කාලි සෝස්

 

  • මුලින්ම හතු ටික පොඩියට ඉරලා ලුණු වතුරෙ විනාඩි 10ක් පොඟවලා තියන්න. ​ඉන් පස්​සේ හතු ටික වතුරෙන් මිරිකලා ගන්න.
  • පාන්පිටි, කඩල පිටි, ලුණු, ගම්මිරිස් කුඩු, මිරිස්කුඩු එකතු කරලා වතුර දාලා උකු බැටර් එකක් හදාගන්න.
  • දැන් හතු ටික හදාගත්ත  බැටර් එකේ දාලා ගැඹුරු තෙලේ බැදගන්න.
  • වෙනම භාජනයකට බටර් ටිකක් දාලා රත් වෙනකොට ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාගන්න. මේකටම අමුමිරිස් හා ළූණු දාලා තෙම්පරාදු කරන්න.
  • තක්කාලි සෝස්, සෝයා සෝස් ටිකත් දාගන්න. කපාගත් මාළු මිරිස් හා තක්කාලි එකතු කරගන්න.
  • වතුර ටිකක් දාලා මේ ඔක්කොම පිසගෙන අන්තිමට ඩීප් ෆ්‍රයි කරගත් මශෲම් ටික දාගෙන රස අනුව ලුණු දාගන්න.

 

4. ෆ්‍රෙශ් සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කොටුවට කපාගත් පිපිඤ්ඤා ගෙඩි 1
  2. සලාද කොළ
  3. කොටුවට කපාගත් තක්කාලි
  4. කොටුවට කපාගත් කොළ ඇපල් ටිකක්
  5. කොටුවට කපාගත් අන්නාසි ගෙඩි 1
  6. ලුණු
  7. ගම්මිරිස්කුඩු
  8. දෙහි යුෂ මේස හැඳි 3
  9. සීනි තේ හැන්දක්
  10. වර්ජින් ඔලිව් තෙල් තේ හැන්දක්
  11. සලාද කොළ

 

  • දෙහි, ඔලිව් තෙල්, රස අනුව ලුණු, සීනි සහ ගම්මිරිස්කුඩු එකට එකතු කරන් ගෑරප්පුවකින් හොඳින් ගසාගන්න. 
  • කොළ ඇපල් කපා අයිස් වතුරේ දමා වතුර බේරාගන්න.
  • එළවළු පළතුරු සියල්ල එකට මිශ්‍ර කරලා, හදාගත් සැලඩ් ඩ්‍රසින් එක උඩින් දමා මිශ්‍ර කර සලාද කොළ අතුරපු ප්ලේට් එකක පිළිගන්වන්න. 

 

5. ඩිසර්ට් එකට – මාරි බිස්කට් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මාරි බිස්කට් 200g පැක් එකක්
  2. කිරි ටිකක්
  3. බටර් 50g
  4. අයිසින් ෂුගර් 200g
  5. චොක්ලට් පව්ඩර් මේස හැඳි 2 ක් පමණ
  6. මයි​ලෝ මේස හැඳි 2ක්
  7. චොප් කරපු කජු ටිකක් අවශ්‍ය නම්

 

  • බටර්, අයිසින් ෂුගර්, චොක්ලට් පවුඩර්, මයිලෝ බීට් කරලා චොක්ලට් බටර් අයිසින් එක හදාගන්න
  • හතරැස් ට්‍රේ එකක් අරගෙන බිස්කට් එකින් එක අරන් කිරි වල පොඟවලා ට්‍රේ එකේ ඇතුළතින් එක ලේයර් එකක් අතුරගන්න.
  • ඉන්පසු අර බිස්කට් ලේයර් එකට උඩින් අයිසින් ලේයර් එකක් අතුරගන්න. ඒකට උඩින් කජු ටිකක් ඉහගන්න.
  • ඊට පස්සෙ ආයෙ කිරි වල පොඟවපු බිස්කට් ලේයර් එකක් දාගන්න. ආයෙත් අයිසින් ලේයර් එකක් දාගන්න. ඒ වගේ ට්‍රේ එක පිරෙන්නම ලේයර්ස් දාගන්න.
  • අන්තිමට චොකල්ට් අයිසින් ගාගෙන කජු ඉහලා, ලන්ච් ශීට් එකකින් වහලා ෆ්‍රිජ් එකට දාගන්න. සෙට් උනාම එළියට අරන් කොටු කපාගන්න පුළුවන්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *