සෝෂල් මීඩියා වල හොඳ නරක දෙකම තියෙනවනේ. හැබැයි මේ කාලේ ඔය සෝෂල් මීඩියා වල -විශේෂයෙන්ම ෆේස්බුක් එකේ- තියෙන ලොකුම නරක තමයි ඇත්තටත් වඩා සෑහෙන්න බොරු පැතිරෙන එක. ඒ වගේම නරකක් තමයි, ගොඩක් මිනිස්සු පැන්න ගමන් ඒ බොරු විශ්වාස කරන එක. කවුරුහරි මොනවා හරි කියලා පෝස්ට් එකක් හදලා දාපු ගමන්, මිනිස්සු ඒක විශ්වාස කරලා, ඒක ෂෙයාර් කරලා, බොරුවට පැතිරෙන්න සප් එකත් දෙනවා. හැබැයි ඔය අතරේ ඉන්නවා ඥාණවන්ත මිනිස්සු. ඒ අය නිකම්ම ෆේස්බුක් එකේ ෂෙයාර් වෙන පෝස්ට් වලින් නෙවෙයි තොරතුරු ලබාගන්නේ. ඒ අය තොරතුරු ලබාගන්නේ කෙලින්ම නිල වශයෙන් වැඩ කරන, විශ්වසනීයත්වයක් තියෙන නිව්ස් වෙබ් වලින්. ආන්න ඒ නිසා ඒ ඥාණවන්ත මිනිස්සු බොරු වලට, කටකතා වලට ඇන්දෙන්නෙත් නෑ, ඒවා පතුරුවන්න උදවු දෙන්නෙත් නෑ!
ඉතින් ඇත්තටම අපිටත් ඔය වගේ ඥාණවන්ත මනුස්සයෙක් වෙන්න බැයිද? අනිවා පුළුවන්. හැමදාම උදේ නැගිට්ට ගමන් කබ කඩ කඩ ෆේස්බුක් එකේ මොකද වෙන්නේ කියලා බලන්න යන්න කලින්, අපි මේ කියන නිව්ස් සයිට් වලට ගොඩවැදිලා, රටේ ලෝකේ මොනවද වෙන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න පුරුදු වෙමු. ආන්න එතකොට පුළුවන් රට තොට ගැන දැනුවත්, බොරු වලට අහු නොවෙන ඥාණවන්ත පුද්ගලයෙක් වෙන්න!
1. Fact Check
ෆැක්ට් චෙක් කියන්නේ නවතම පුවත් එසැණින් අරගෙන එන නිව්ස් වෙබ් එකක් නම් නෙවෙයි. හැබැයි ඇත්ත සහ බොරුව වෙන් කරලා අඳුනගන්න ෆැක්ට් චෙක් ඉතාම වැදගත්. මේ අය කරන්නේ ඔය ට්‍රෙන්ඩින් වෙලා තියෙන., හැමෝම කතාබහ කරන ප්‍රවෘත්ති ඇත්තද බොරුද කියලා කරුණු සාධක ඇතුව හොයලා බලන එක. අන්න එතකොට අපිටත් දැනගන්න පුළුවන් හැමෝම උඩදාගෙන ෂෙයාර් කරන පෝස්ට් වල තියෙන නිව්ස් එකක් ඇත්තටම ඇත්තද කියලා.
තව දෙයක්, ලංකාවෙත් මීට සමාන සේවාවක් මේ වෙනකොට ක්‍රියාත්මකයි. මේකේ නම Watchdog. මේ වොච්ඩෝග් ඇප් එකත් ෆෝන් එකේ තියෙන එක සෑහෙන්න වැඩදායකයි. ලංකාවේ බොරු නිව්ස් සහ ඇත්‍ත නිව්ස් වෙන් කරලා අඳුනගන්න පුළුවන්, මේක හරහා.
2. Reuters
ඔය කීමට කියන්නේ අල්ලපු ගෙදර නැන්දා හෙනම රොයිටරේ කියලා. ආන්න ඒ වචනේ අපේ කටවහරට ඇවිත් තියෙන්නේ මේ රොයිටර් පුවත් සේවය නිසා. මේක කොයි තරම් ලෝකේ මුල් බැහැගෙන තියනවද කියන එක ඒකෙන්ම තේරෙනවනේ. ඇත්තටම රොයිටර් පුවත් සේවයෙන් ලෝකේ ගැන විශ්ලේෂණාත්මක, පක්ෂග්‍රාහී නොවෙන පුවත් ලබාගන්න පුළුවන්. මේකේ ඔය විනෝද කතන්දර, දේශපාලනික ක්‍රියාකාරීත්ව අදහස් අඩුයි. ඊට වඩා නියම ජනමාධ්‍යකරණයක් තමයි දැකගන්න පුළුවන් වෙන්නේ.
3. BBC
බීබීසී එක ගැන හොඳ නරක දෙපැත්තෙම කතන්දර අපිට ලංකාවේ අහන්න ලැබෙනවනේ. හැබැයි ඒ මොනවා වුනත්, බීබීසී කියන්නේ ලෝකේ තියෙන විශිෂ්ටතම පුවත් සහ විශේෂාංග ලබාදෙන ජනමාධ්‍ය සේවාවක් කියන එක කියන්නම ඕන. විශේෂයෙන්ම ලෝකේ කතාබහට ලක් වෙන ගොඩක් දේවල් සම්බන්ධයෙන් විස්තරාත්මක ලිපි, විශ්ලේෂණ ලිපි එහෙම බීබීසී වෙබ් සයිට් එකේ දකින්න ලැබෙනවා. අවශ්‍ය නම් සිංහලෙන්, ශ්‍රී ලංකාව සහ ලෝකය පදනම් කරගනිමින් ලියවෙන සිංහල බීබීසී සේවයට ගිහින් ලිපි සහ විශේෂාංග කියවන්නත් පුළුවන්. බීබීසී එකේ තියෙන දේවල් ගැන සැකයක් තියෙනවා නම් කරන්න ඕන එකම දේ, විවෘත මනසකින් යුතුව ඒකේ තියෙන දේවල් කියවලා, විචාර බුද්ධියෙන් විමසුම් කිරීම විතරයි.
4. The Cipher Brief
ඔය එක එක රටවල කුමන්ත්‍රණ කතන්දර එහෙම අපිට කොතෙකුත් අහන්න ලැබෙනවනේ. හැබැයි ඉතින් ඔය එහෙන් මෙහෙන් ඇහෙන කුමන්ත්‍රණ කතා නම් ගොඩක් වෙලාවට කතන්දර විතරයි. හැබැයි මේ සයිෆර් බ්‍රීෆ් වෙබ් අඩවියට ගියොත්, සෑහෙන්න වැදගත් ලෝකේ ආරක්ෂාව සහ රාජ්‍ය තාන්ත්‍රික කතන්දර සම්බන්ධ විශ්වාසය තියන්න පුළුවන් පුවත් දැනගන්න පුළුවන්. මේක ඇත්තටම පටන් අරගෙන තියෙන්නෙත් බුද්ධි අංශ වාර්තාකරුවෝ, රටවල ආරක්ෂක අධිකාරීන් වල සේවය කරපු දැනුමැත්තෝ එහෙම එකතු වෙලා තමයි. ලෝකේ ආරක්ෂාව එක්ක යන විවිධාකාරයේ මාතෘකා එක්ක ලිපි ගණනාවක් එක දවසකට කියවන්න මේ සයිට් එකට ගිහින් පුළුවන්.
5. The Economist
ඉකොනොමිස්ට් කියලා කිව්වහම අපිට හිතෙන්නේ මේ සයිට් එකේ තියෙන්නේ ආර්ථිකය සම්බන්ධ කරුණු කාරණා කියලනේ. ඔව්. ලෝකයේ ආර්ථිකය සම්බන්ධ කරුණු කාරණා සෑහෙන්න ඉකොනොමිස්ට් එකේ ලිපි වල තියෙනවා. හැබැයි එතනින් එහාට ලෝක ප්‍රවෘත්ති, ජාත්‍යන්තර ව්‍යාපාරික තොරතුරු, දේශපාලනය වගේ තවත් සෑහෙන්න මාතෘකා ඔස්සේ ලියවුණු ලිපිත් ඉකොනොමිස්ට් එකේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, විවිධ රටවල්, ලෝකේ විවිධ කලාප ගැන ලියවුණු ලිපි, විද්‍යා ප්‍රවෘත්ති පදනම් කරගෙන ලියවුණු ලිපි වගේම සිනමාව, සාහිත්‍යය වගේ මාතෘකා ඔස්සේ ලියවුණු ලිපි එහෙමත් ඉකොනොමිස්ට් වෙබ් අඩවියේ දැකගන්න පුළුවන්.
6. TED Talks
උදේ වරුවේ වෙලාවත් තියෙනවා නම්, ටෙඩ් ටෝක් පැත්තේ රවුමක් ගහලා එන එක වටිනවා. ඇත්තටම TED කියන එකෙන් අදහස් වෙන්නේ ටෙක්නොලොජි, එන්ටර්ටේන්මන්ට්, ඩිසයින් කියන තුන. මේකෙන් කරන්නේ ලෝකේ ඉන්න විවිධ විශිෂ්ටයින්ගේ කෙටි, ඒත් ප්‍රබල කථා ඉදිරිපත් කරන එක. මේ කතා විවිධ මාතෘකා යටතේ වෙන්න පුළුවන්. හැබැයි මේ කථා බොහෝමයක් කෙනෙක්ගේ ජීවිතේ වෙනස් කරන තරම් ප්‍රබලයි. ඒ වගේම බොහොම තොරතුරු සහිතයි. ඉතින් දැනුවත් වෙන්න කැමති කෙනෙක්ට ඇත්තටම දවසකට විනාඩි 18 ක ටෙඩ් ටෝක් එකක් අහන එක වටිනවා.
7. WHO
WHO කියන්නේ මොකද්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය. ලෝකයේම සෞඛ්‍යය සම්බන්ධ කතන්දර හැම එකකම නිල මූලාශ්‍රය වෙන්නේ බොහෝ විට මේ අය තමයි. විශේෂයෙන්ම මේ කාලේ තත්ත්වයත් එක්ක WHO වෙබ් සයිට් එකට උදෙන්ම ගිහිල්ලා බලන එක පාඩු නැහැ. ඒ කියන්නේ ඔය සෝෂල් මීඩියා ඔස්සේ එහෙම විවිධ වසංගත රෝග, ලෙඩ රෝග ගැන එහෙම පැතිරෙන මිත්‍යා මත මේ අයගේ වෙබ් සයිට් එකේ තොරතුරු සහිතව බිඳ හෙලලා තියෙනවා. ඒ වගේම ලෝකේ සෞඛ්‍යය සම්බන්ධ අලුත්ම තොරතුරුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් සයිට් එකට ගිහින් බලන්න පුළුවන්.
ඉන් පස්සේ අනිවාර්යයෙන්ම යන්න ඕන සයිට් එක තමයි Lifie.lk. ඒකටත් ගොඩවැදිලා විවිධාකාර තේමා යටතේ තියෙන දැනුම සහ විනෝදය ලබාගන්න පුළුවන් තොරතුරු කියවන්න පුලුවන්. හැබැයි ඉතින් මේ ඔක්කොම සයිට් වල කරක් ගහලා ආවට පස්සේ ෆේස්බුක් එක පැත්තටත් ගොඩවැදිලා ආවට කමක් නෑ!
Leave a Reply