ගෙබිම ලස්සන කර​ගන්න හොඳටම ගැලපෙන්නේ මොනවාද? හොඳම ෆ්ලෝ සොලියුෂන් එක තෝරාගමු

ගෙදරක බිම කියන්නෙ ලේසි පාසු දෙයක් නෙමෙයි. බිත්ති ජනේල ලස්සන කරගන්නවාටත් වඩා වැඩි මුදලක් මේ පොළව ලස්සන කරන්න අපිට වියදම් වෙනවා. බිම සැලසුම් කිරීමේදී සමහර නිවාස සැලසුම් වලට බිම අතුරන්න ඕනි මොනවද? අතුරන්න වඩාත් සුදුසු මොනවද කියලත් එනවා. ඔබට ගෙබිම සකසා ගනිද්දි බිත්ති වල පාට, නිවසට ආලෝකය ලැබෙන ආකාරය සලකා බැලුවොත් ලස්සන ගෙබිමක් හදාගන්නට පුළුවන්. ඊට අමතරව පොඩි ළමයි ඉන්නවද යන්න සහ ගෙබිම තියෙන පරිසරයේ තත්ත්ව ආදියත් ගෙබිම නිම කිරීමේදී සලකා බලන්නට වටිනවා. 

 

1. ලී පොළව

ලී කිව්වාම ලංකාවේ ලී වර්ග ගණනාවකින් ලී ෆ්ලෝ හදනවා. ලී ටිකක් මිල අධික ක්‍රමයක්. ලී ෆ්ලෝ එකකදි ෆිනිෂ් එකේ තියෙන ස්වාභාවික වයිරම් ගතිය ෆ්ලෝ එකට ලස්සනක් එකතු කරනවා. ඒ වගේම ලී ෆ්ලෝ එකක් අපේ නිරුවත් පයට සනීපයි. ඒත් මේ ලී ෆ්ලෝ වැඩිපුර වතුර ගැවසෙන කුස්සිය, නාන කාමරය, රෙදි සෝදන කාමරය වගේ තැන්වලට සුදුසු නැහැ. ඒවගේම වැඩිපුර අපි ගැවසෙන සීරෙන තැන්වලටත් ලී එච්චරම ගැලපෙන්නේ නැහැ. දැවයෙන් හැදෙන මේ ලී ෆ්ලෝ එකේ ඝනකමත් අනෙක් ක්‍රමවලට වැඩිය ටිකක් වැඩියි. නඩත්තු කටයුතු වලදී තරමක් විතර අපහසු වුනත් දැන් තිබෙන සීල් ක්‍රම හරහා ෆ්ලෝ එක සීල් කරගත්තොත් පිරිසිදු කරන එකේ ලොකු අවුලක් නැහැ. 

 

2. සෙරමික් ටයිල් 

සෙරමික් ටයිල් කියන්නේ ලංකාවේ තියෙන ජනප්‍රියම ෆ්ලෝ සොලියුෂන් එක. ටයිල් ගත්තාම විවිධ ආකාරයෙන්, විවිධ ඩිසයින් වල ටයිල් තියෙනවා. ටයිල් අල්ලද්දි ටයිල් අල්ලන්න විශේෂයෙන් තියෙන සිමෙන්ති වර්ග පාවිච්චි කරන්නට ඕනා. ඒ වගේම ටයිල් අල්ලන බාස් කෙනෙක් ආවට ගියාට තෝරගත්තොත් පසුතැවෙන්න වෙනවා. සමහර ලාබ ටයිල් වර්ග කාලයත් එක්ක ඉක්මනින්ම පාට වෙනස් වෙනවා. ටයිල් අල්ලද්දි  නිවසේ පිටත ප්‍රදේශ, බාත්රූම්, කුස්සි, ටෙරස්, ලිවින් රූම් ආදී වශයෙන් විවිධ තැන් වලට විවිධ ටයිල් වර්ග අල්ලනවා. එළියේ තෙමෙන, අව්වට පිච්චෙන තැනක ටයිල් අල්ලනවා නම් ඒ බව වෙළඳ මහතාට කියලා ඒ තත්ත්වයන්ට ගැලපෙන ටයිල් තෝරාගන්නට ඕනි. ලංකාවේ ටයිල් ඇල්ලීම සුලභ කාරණාවක් නිසා ටයිල් තෝරාගැනීම වගේම බාස්ලා හොයා ගැනීමත් ලොකු අමාරුවක් නැහැ. 

 

3. වයිනිල් 

වයිනිල් ගෙවල්වලට වඩා ෆැක්ටරි ඔෆිස් ෆ්ලෝ ආදියට ලංකාවෙදි වැඩිපුර පාවිච්චි වෙනවා. මෙහි මූලික මැටීරියල් එක පීවීසී. ලංකාවෙදි එතරම්ම ගෙවල්වලට වයිනිල් ෆ්ලෝ සුලභ නැතිවුනත් එහි වාසි ගොඩක් තියෙනවා. සාපේක්ෂව වයිනිල් ෆ්ලෝ එකක් ලාබයි. ලංකාවේ මෙය අල්ලන්න මැටීරියල් සමගම සම්පූර්ණ යන වියදම වර්ග අඩියට රු 250/= සීමාවේ ඉඳන් ලබාගන්නට පුළුවන්. මෙහිදී ශීට්, ප්ලෑන්ක් ආදී වයිනිල් වර්ග කීපයක් තියෙනවා. එයින් ප්ලෑන්ක් හෙවත් ලී අතුරන විදිහට ඇතිරීම වඩාත් ජනප්‍රිය වෙලා තියෙනවා. මේ වයිනිල් ලේයර් එක මිලිමීටර කිහිපයකින් ගොඩනගාගන්න පුළුවන්. ඒවගේම පොළව හරිහැටි බැලන්ස් නම් මෙටල්, ලී, ටයිල්, සිමෙන්ති තියෙන ඕනි පොළවක් වයිනිල් කරන්න හරිම ලේසියි. 

 

4. කාපට් 

විවිධ ආකාරයේ කාපට් යෙදීමත් ගෙබිම සඳහා තියෙන අලංකාර විසඳුමක්. වූල්, නයිලෝන්, ඇක්‍රිලික්, පොලියෙස්ටර්, පොලිප්‍රොප්ලින්, ආදී වර්ග රැසක කාපට් වර්ග තියෙනවා. පයට තියෙන සුමුදු බව නිසා බොහෝ අය කාපට් දානවා. ඒ වගේම ඇතැම් රටවල කාපට් දැමීම සුලභ ලෙස සිදුකරනවා. කාපට් දැම්ම වගේ නෙමෙයි පිරිසිදු කරන්න අමාරුයි. ඒ වගේම ලංකාවේ දූවිලි වැඩි පරිසරයකදි කාපට් ඉක්මනටම අපිරිසිදු වෙන්නත් ඉඩකඩ තියෙනවා. හොඳ වර්ගයේ සුන්දර අකර්ෂණීය කාපට් අතුරනවා නම් ඒ සඳහා වැයවෙන මුදලත් ටිකක් විතර වැඩියි. 

 

5. ලැමිනේට් 

එම් ඩී එෆ් නැතිනම් හොඳින් පදම් කර නැවත සකසන ලද ලී වලින් සැකසෙන ලැමිනේට් පොළව දැන් නම් ලංකාවේ දකින්නට අඩුයි. එහිදී එම් ඩී එෆ් වලින් සකසා ගන්නා ලද පොළව මත තුනී දිලිසෙන විශේෂ ලැමිනේට් ස්ථරයක් අතුරනු ලබනවා. මේ ස්ථරය වතුරට හොඳට ඔරොත්තු දෙනවා. ඒත් ඒ ස්ථර අතර තීරුව ගැන හොඳ අවධානයෙන් යුතුව පිරිසිදු කරන්නට ඕනි. මෙය ලී තරම් මිල අධික නැති, ඒත් ඒ පෙනුම ලාවට ලබාදෙන විසඳුමක්. වැඩිපුර වතුර ගැවසෙන තැන්වලට සුදුසු නැති ලැමිනේට් ගෙදර නිදන කාමර වගේ වැඩිපුරම පොළවට වදයක් නැති අවකාශ සඳහා වඩාත් යෝග්‍ය වෙනවා. 

 

6. සිමෙන්ති පොළව 

සිමෙන්ති පොළව කියන්නේ අපිට පුරුදු ආදිකාලීන විදිහ. එහිදී රතුපාට සිමෙන්ති දාලා තියෙන පොළවක් ටයිල් වලට වඩා සීතලක් අපේ දෙපා වලට ගේනවා. දැන් සිමෙන්ති පොළව කට් කරලා ටිකක් මොඩර්න් විදිහට හදාගන්න අවස්ථාත් තියෙනවා. සිමෙන්ති පොළවක් පොලිෂ් කරලා, තීන්ත ගාලා විවිධ වර්ණයෙන් නිම කරගන්නට පුළුවන්. ඒ වගේම නඩත්තුවත් ලේසියි. ඒත් පෙනුම ගත්තාම ටයිල් හෝ වෙනත් ක්‍රම තරම් ආකර්ෂණීය බවක් නම් සිමෙන්ති පොළවක නැහැ. ඒත් සෙරමික් ටයිල් සහ වෙනත් ක්‍රම වල යම් යම් සෞඛ්‍යමය අවුල් තියෙනවා කියල විශ්වාස කරන අය නැවතත් පැරණි පුරුදු සිමෙන්ති පොළවම තෝරාගන්න ප්‍රවණතාවයකුත් දැන් දැන් තියෙනව. සිමෙන්ති දැමීම ඉතාම ලාභදායීම ක්‍රමයක්. මේ සිමෙන්ති පොළව ටයිල් ජනප්‍රිය වෙන්න කලියෙන් අපේ ගම් වල ගෙවල් වල බොහෝ තැන්වල අපේ කකුලට පෑගුනා. 

 

7. ටයිටේනියම් කට් ෆ්ලෝර් 

එක සමාන අඛණ්ඩ දිලිසීමක් ෆ්ලෝ එකේ සෑම තැනකටම ටයිටේනියම් කට් ෆ්ලෝ එකකදි ලැබෙනවා. ලංකාවෙදි නම් ටයිටේනියම් වල තියෙන අවුල තමයි සමහර තැන්වලදී ටයිටේනියම් කට් ෆ්ලෝ කාලයක් ගියාම ඉරි තලනවා. මේ ඉරිතලන්න බොහෝවිට ටයිටේනියම් කට් එක දමන විදිහ හේතු වෙනවා. මේ ක්‍රමයේ වියදම එතරම්ම සැර නැහැ. විවිධ වර්ණවලින් මේ ටයිටේනියම් ෆ්ලෝ හදාගන්නත් පහසුකම තියෙනවා. මෙහිදී ඕනිම ක්‍රමයකට මේ ටයිටේනියම් කට් පොළව පිරිසිදු කරගන්නත් අපිට පුළුවන්. 

 

මීට අමතරව ග්‍රැනයිට්, බිම් ගඩොල් ආදී විවිධාකාර ක්‍රම වල ෆ්ලෝ අපිට දකින්නට තියෙනවා. මේ ෆ්ලෝ තෝරාගැනීමේදී ඔබ තෝරාගන්නා කාර්මික ශිල්පීන් විසින් නිමකළ තැනක් දෙකක් ඇත්තටම බලාකියාගන්න පුළුවන් නම් ඒ ශිල්පීන් ඔබට පවසන තරම්ම දක්ෂයින්ද කියලා ඔබට ඇස් දෙකින්ම බලාගන්නත් පුළුවන්. ඉතින් අලුතින් ෆ්ලෝ එකක් දාගන්න අදහසක් තියෙනවා නම් ඒ ගැන යම් අදහසක් ඔයාලට මේ හරහා එන්න ඇති. තවත් යාළුවන් ඇති ඔයාලගේ ෆ්ලෝ ගැන අයිඩියා එකක් නැති. එයාලටත් පේන්න මේක ෂෙයාර් කරගෙන යමු. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *