රංගනයෙන් ලොක්කෝ වුණු ලංකාවේ ජනප්‍රිය පොඩ්ඩෝ – 2 කොටස

ඔන්න එහෙනම් අපි පොරොන්දුවක් ඉෂ්ට කරමින් සති කීපයකට කලින් ලියපු ආටිකල් එකක දෙවැනි කොටසක් ඔයාලා වෙතට ගේනවා. එහෙම නම් වැඩි කතා බතා නැතුව අපි කෙලින්ම ආටිකල් එක කියවමු. 

රංගනයෙන් ලොක්කෝ වුණු ලංකාවේ ජනප්‍රි​ය පොඩ්ඩෝ 1 කොටස මෙතනින් කියවන්න!

 

1. මීරියම් ජයමාන්න 

මීරියම් ජයමාන්න තමයි ලංකාවේ චිත්‍රපටියක රඟපාපු පළවෙනි ළමා නිළිය. ඒ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ. එහි රඟපාපු ඇයට එතරම් ලොකු කාර්යභාරයක් චිත්‍රපටය තුළ කරන්න තිබ්බේ නැහැ. කඩවුණු පොරොන්දුව වේදිකා නාට්‍යයේ එම චරිතය රඟපාපු ලැටීෂියා පීරිස් චිත්‍රපටය රූගත කරන අවදියේදී දැඩි ලෙස රෝගාතුර වීම නිසා තමයි මීරියම් ජයමාන්නට මේ අවස්ථාව ලැබුණේ. ඇය බී. ඒ. ඩබ්ලිව් ජයමාන්නගේ ළඟම ඥාතිවරියක්. නමුත් අවාසනාවකට වගේ ඊට වසර කීපයකට පස්සේ මීරියම් ජයමාන්න දියේ ගිලීමෙන් මිය යනවා. රුක්මණී දේවිය ඇයව සිහිපත් කීරීමට ගීතයකුත් ගායනා කළා කියලා කියවෙනවා.

 

2. සජිත අනුත්තර

සජිත අනුත්තර කියන්නේ කවුද කියලා ආපහු විශේෂ හැඳින්වීමක් අවශ්‍ය වෙයි කියලා අපි හිතන්නේ නැහැ. සජිත අනුත්තර තමන්ගේ සිනමා ගමන ආරම්භ කරන්නේ සූරිය අරණ චිත්‍රපටියේ වැදි දරුවෙකුගේ චරිතය රඟපාමින්. විශේෂත්වය වන්නේ ඒ චිත්‍රපටයෙහි සජිතගේ පියා විදිහට රඟපෑවේ ජැක්සන් ඇන්තනීමයි. ඊට පස්සේ සජිතට අබා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලැබෙනවා. එම චිත්‍රපටිය ලංකාවේ වාර්තාගත අයුරින් තිරගත වෙනවා. සාමාන්‍යයෙන් බොහෝ ළමා නළු නිළියන් වැඩිහිටියන් බවට පත්වෙද්දී රංගනයෙන් සමු ගත්තත් තවමත් සජිත විවිධ නිර්මාණ වලින් අපිට මුණ ගැහෙනවා.

 

3. දසුන් මධුසංක

සූරිය අරණ චිත්‍රපටයේ සජිත අනුත්තර සමග කරට කර රඟපාමින් සාමණේර ස්වාමීන් වහන්සේගේ චරිතය නිරූපණය කළේ දසුන් මදුසංක විසින්. දසුන් කියන විදිහට ඔහු රංගනයට සම්බන්ධ වෙන්නේ අහම්බයකින්. මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වුණු දසුන්, දවසක් පූස් පැටියෙක් වඩා ගෙන තිස්ස ගුණවර්ධන මහත්තයා ගාවට ගිහිල්ලා තමන්ගේ යාලුවන්ගෙන් මේ පූස් පැටියව බේරලා දෙන්න කියලා ඉල්ලනවා. පූස් පැටියව අතට ගන්න තිස්ස ගුණවර්ධන මහත්තයා දසුන්ගෙන් රඟපාන්න ආසයි ද කියලා අහනවා. ඒ විදිහට තමයි දසුන් රංගන කටයුතු ආරම්භ කරන්නේ. සූරිය අරණින් පස්සේ  සමනළ තටු චිත්‍රපටයේ ප්‍රධාන චරිතයත් දසුන් විසින් නිරූපණය කරනවා.

 

4. සුජානි මේනකා

සුජානි මේනකා රංගනයට අත්පොත් තියන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ප්‍රාර්ථනා ටෙලිනාට්‍යයෙන්. කුඩා කාලයේදීම ඇගේ රංගන දක්ෂතා හඳුනා ගන්න ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා සුජානි මේනකාගේ දෙමව්පියන්ට ඇයව සිල්ලර නිර්මාණ සඳහා දායක කරන්න එපා කියලා ඉල්ලීමක් කරනවා. සුජානි අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වෙන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙනුවෙන් පෙනී හිටපු “සතෙන් සතේ රුපියලෙන් රුපියල” වෙළඳ දැන්වීමට දායක වීම නිසා. ළමා නිළියක් විදිහට ක්ෂේත්‍රයට ඇවිල්ලා තරුණ නිළියක් හැටියටත් පසු කලෙක සාර්ථක වුණු කෙනෙක් විදිහට සුජානිව හඳුන්වන්න පුළුවන්. මෑතකදී ඇයව කලා නිර්මාණයකින් දැකගන්න නොහැකි වුණත් ඇය සාරා වැනි ජනප්‍රිය නිර්මාණ ගණනාවකට දායක වුණා.

 

4. දුලාංජලී ආරියතිලක

සමනළ තටු චිත්‍රපටයේ රඟපාපු විශේෂ අවශ්‍යතා සහිත දැරියව ඔබට මතකද? ඇය තමයි දුලාංජලී ආරියතිලක. මේ චිත්‍රපටය නිසා ඇගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වත අතකට හැරෙනවා. ඒ වෙනතෙක් ඇය පාසල් ගියේ නැහැ. නමුත් චිත්‍රපටය හරහා ඇයට ලැබුණු ආත්ම විශ්වාසය  සහ ඒ හරහා ගොඩනැගුණු ගොඩනැඟුණු සබඳතා නිසා නැවතත් පාසල් යෑමේ අවස්ථාව ඇයට උදා වුණා. මේ වෙනකොට ඇය තමා ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කර ගනිමින් සිටිනවා

 

6. කෝකිල ජයසූරිය

කෝකිල පවන් ජයසූරිය අපිට මුණ ගැහුණේ නම් එක නිර්මාණයකින් විතරයි. ඒ තමයි සිරි රජ සිරි චිත්‍රපටය. නමුත් මෙම චිත්‍රපටයේ රංගන දායකත්වය නිසා ඔහුට ජාත්‍යන්තර මට්ටමේ සම්මාන පවා ලැබුණා. ඉන් පසුව වෙනත් නිර්මාණයකින් දකින්නට නොලැබුණත් මෑතකදී ඔහු ගීතයක් ප්‍රේක්ෂකයන් වෙත මුදා හැර තිබුණා.

 

7. ඉෂාම් සම්සුදීන්

ඉෂාම් කියන්නේ ලංකාවේ අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වුණු ළමා නළුවෙක් වගේම ඉතාමත් ආන්දෝලනයට ලක්වුණු චරිතයක් රඟපෑ ළමා නළුවෙක්. රන් කෙවිට චිත්‍රපටිය ඔහු රඟපෑ ජනප්‍රියම චිත්‍රපටිය විදිහට සලකන්න පුළුවන්. ඒ වගේම සිරි සිරිමල් ටෙලිනාට්‍යයේ ඔහුගේ රඟපෑම දැඩි ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වුණා. නමුත් අක්ෂරය චිත්‍රපටයේ ඔහු සහ පියුමි සමරවීර රඟ පෑ ඇතැම් දර්ශන දැඩි ලෙස ආන්දෝලනයට තුඩු දුන්නා. ඇතැම් අය එම මෙම චිත්‍රපටය වාරණය කිරීමට එක හේතුවක් ලෙස පෙන්වා දෙනු ලැබුවේත්  එම දර්ශනයයි.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *