කාන්තාවන්ට හැදෙන Fibroids රෝගය ගැන දැනගනිමු

අපි මීට කලින් දවසක කතා කළානෙ කාන්තාවන්ට වැලඳෙන PCOS කියන රෝගය ගැන. 

වැඩි දෙනෙක් නොදන්නා PCOS කියන කාන්තා රෝගය ගැන දැනගනිමු

මේ කියන්න යන්නෙත් ඒ වගේම කාන්තාවන්ගේ ගර්භාෂය ආශ්‍රිතව ඇතිවෙන රෝගමය තත්ත්වයක් ගැනයි. නමින් කිව්වොත් Fibroids. සිංහලෙන් එහෙමත් නැත්තම් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මේ රෝගය හඳුන්වන්නේ ගර්භාෂගත අර්බුද කියලයි. කොයි විදිහට කිව්වත් මේකත් දැනගෙන ඉන්න වටිනා ලෙඩක්. කියවල බලමු අපි මේ ගැන දන්නා නොදන්නා, වැරදියට දන්නා දේවල් මොනවද කියල. 

 

 

1. Fibroids

කලින් කිව්ව වගේම fibroids කියන්නේ කාන්තාවන්ගේ ගර්භාෂය ආශ්‍රිතව ඇතිවෙන රෝගමය තත්ත්වයක්. Fibroid කියන එකේ තේරුම වෙන්නෙ තන්තුමය කියන එකයි. මේ රෝගය, ඒ කිව්වෙ fibroids කියන්නෙ ගර්භාෂය ආශ්‍රිතව, ඒ කිව්වෙ ඇතුළතින් හෝ පිටතින් මාංශපේෂි හා තන්තු එකතුවෙලා හැදෙන රබර් වගේ, මෘදු ගෙඩි ඇතිවීමක්. මේ සමහර ගෙඩි සෙ.මී. 1ක් වගේ පුංචි ගෙඩි විදිහට හැදෙන අතරේ සෙ.මී. 15ක් 20ක් විතර ලොකු විශාල ගෙඩිත් ඇතිවෙන්න පුළුවන්. PCOS තත්ත්වය වගේම මේ fibroids කියන තත්ත්වයත් ඇතිවෙන්නෙ ප්‍රජනක වයසේ, ඒ කියන්නෙ අවුරුදු 12 ත් අවුරුදු 51 ත් වගේ අතරමැද කාල සීමාවේ. හුඟක්ම මේ රෝගය හැදෙන්නෙ වයස අවුරුදු 30, 40 ඉක්මවූ අයටයි. හැබැයි අවුරුදු 20 ගණන්වල ඉන්න විවාහවෙලා, දරුවෝ ලබන්න හිතලවත් නැති තරුණ ගැහැණු ළමයින්ටත් මේ fibroids තත්ත්වය ඇතිවෙලා තියෙන අවස්ථාවන් තියෙනවා. කොහොම උනත් වයස අවුරුදු 50 වෙනකොට කාන්තාවන්ගෙන් 70% ත් 80%ත් අතර ප්‍රමාණයකට මේ fibroids කියන තත්ත්වය ඇතිවෙනවා කියල තමයි කියන්නෙ.

 

 

2. විවිධ Fibroids වර්ග

කාන්තා ගර්භා​ෂයේ ඇතුළතින් හෝ පිටතින් මේ fibroids පිහිටන ස්ථානය අනුව මේවා වර්ග 4කට වෙන් කරනවා හඳුනා ගැනීමේ සහ ප්‍රතිකාර කිරීමේ පහසුව සඳහා.

  • Intramural Fibroids

වඩාත්ම දකින්න තියෙන fibroids වර්ගය තමයි මේ කියන වර්ගය. ගර්භා​ෂයේ ඇතුළත මාංශමය බිත්තියේ ඇතිවෙන්න පුළුවන් ගෙඩි තමයි මේ නමින් හැඳින්වෙන්නෙ. මේ වර්ගයේ fibroids විශාල ලෙස වර්ධනය වෙන්න පුළුවන් වගේම ගර්භණී තත්ත්වයකදී වගේ ගර්භාෂය ඇදීමකට ලක්කරන්නත් මේ වර්ගයේ fibroids වලට පුළුවන්. 

  • Subserosal Fibroids

මේ වර්ගයේ ගෙඩි ඇතිවෙන්නෙ ගර්භාෂයේ පිටතින්. මේ ගෙඩි විශාල වීමත් එක්ක ගර්භා​ෂයේ එක පැත්තක් විශාල වෙලා පේන්න පුළුවන්. 

  • Submucosal Fibroids

ගර්භාෂ බිත්තියේ යටින් ඇතිවෙලා ගර්භාෂය තුළට වර්ධනය වෙන ගෙඩි මේ නමින් හැඳින්වෙනවා. 

  • Pedunculated Fibroids

ගර්භාෂයට ඇතුළතින් හෝ පිටතින් කුඩා නටුවක මාර්ගයෙන් පිටතට එල්ලෙන ගෙඩි මේ නමින් හැඳින්වෙනවා. 

 

 

3. රෝග ලක්ෂණ

මේ තත්ත්වයේ රෝග ලක්ෂණ තියෙන ගෙඩි ප්‍රමාණය, ඒ තියෙන ස්ථාන සහ ඒවගේ විශාලත්වයන් මත වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට submucosal කියන වර්ගයේ fibroids ඇති අවස්ථාවක ඒවා ගර්භාෂය තුළට වර්ධනය වෙන නිසා මාසික ඔසප් රුධිර වහනය අධිකව සිදු වෙන්න පුළුවන්. කොහොම උනත් පොදුවේ ගත්තම මේ වගේ ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්.

  • මාසික ඔසප් වීමේදී අධික රුධිර වහනය, කැටි වශයෙන් රුධිරය පිටවීම සහ අධික උදර වේදනාව
  • සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි දින ගණනක් පවතින ඔසප් රුධිර වහනය
  • උකුල සහ කොන්දේ යට ප්‍රදේශයේ වේදනාව
  • ගෙඩි වර්ධනය වීමේදී මුත්‍රාශය තෙරපීම නිසා නිතර මුත්‍රා පහ කිරීමට අවශ්‍ය වීම
  • ලිංගික එක්විමකදී ඇතිවෙන අධික වේදනාව
  • යටි බඩේ තෙරපීමක් හෝ අපහසුතාවයක් දැනීම
  • උදරය විශාල වීම

කොහොම උනත් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා මේ තත්ත්වය පවතින අවස්ථාත් කලාතුරකින් දකින්න පුළුවන්. 

 

 

4. හැදෙන්න හේතුව

කලින් කතා කළ PCOS වගේම මේ fibroids හැදෙන්නත් හරිම හේතුව මෙන්න මේකයි කියන එක තවමත් හොයාගෙන නැහැ. හෝර්මෝන බලපෑම් නිසාත්, පවුලේ වෙන අයෙකුට මේ තත්ත්වය තිබීම නිසා ඒ ඇතිවෙන ජානමය බලපෑම නිසාත් මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන් කියල කියනවා. අයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව මත පළකෙරෙනවා වර්තමානයේ අපේ ආහාර රටාවේ ගැටළු, ඒ කියන්නේ ක්ෂණික ආහාර වගේ දේවල් නිසාත් මේක ඇතිවෙන්න පුළුවන් කියලා. 

 

 

5. අතුරු විපාක

මේ ගර්භාෂයේ ඇතිවෙන ගෙඩි ගර්භනීභාවයට සෘජුවම බලපෑම් ඇතිකරන්න පුළුවන්. හැබැයි PCOS රෝගයේදී වගේ මේ fibroids තත්ත්වයේදී සරු භාවය පිලිබඳ ගැටළු, ඒ කියන්නේ දරු පිළිසිඳ ගැනීමක් සිදුවෙන්න බාධාවක් සාමාන්‍යයෙන් ඇතිවෙන්නෙ නැහැ. නමුත් පැලෝපීය නාලයේ ගෙඩි හැදිලා නාල අවහිර වීම මගින් ඩිම්බ සංසේචනය වීම අවහිර වෙන්නත්, ගර්භාෂ බිත්තියේ තියෙන ගෙඩි මඟින් සාර්ථකව සංසේචනය උණ ඩිම්බයක් උනත් බිත්තියට සම්බන්ධ වීමට බාධා වෙන්නත් පුළුවන්. 

ඒ වගේම දරු පිළිසිඳ ගැනීමක් සිදු උනාට පස්සේ විවිධ සංකුලතා මේ නිසා ඇතිවෙන්න පුළුවන්. ගර්භණී කාලයේ හෝමෝන නිකුත් වීම වැඩි නිසා මේ ගෙඩි ඉක්මනින් වර්ධනය වෙනවා. ඒ නිසා ගර්භාෂය ඇතුළේ බබාට ඉඩ මදිවෙලා බබා සාමාන්‍ය ක්‍රමයට වෙනස් ඉරියව් වලින් ඉන්න පුළුවන්. ඒ වගේම දරු ප්‍රසූතියෙන් පස්සේ අධික රුධිර වහනයක් ඇති වෙන්නත් පුළුවන්. හොඳම දේ තමයි මුල ඉඳලම ඔබේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයා සමඟ මේ ගැන කතා බහ කරන එක. 

 

 

6. රෝග නිශ්චය

කලින් කියපු රෝග ලක්ෂණ තියෙනවනම් කරන්න ඕන සුදුසුකම් ලත් නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙලා මේ ගැන කියන එකයි. එතකොට වෛද්‍යවරයා මූලික පරීක්ෂණයකින් පස්සේ Ultra Sound Scan පරීක්ෂණයක් මඟින් හෝ MRI පරීක්ෂණයක් මඟින් මේ fibroids වල ප්‍රමාණය, පිහිටීම සහ හැඩය ගැන හරිම විනිශ්චයක් කරනවා. 

 

 

7. ප්‍රතිකාර

පරීක්ෂණ මඟින් තත්ත්වය තහවුරු කරගත්තට පස්සෙ ප්‍රතිකාර සඳහා යොමු වෙන්නයි ඉතින් තියෙන්නේ. ප්‍රමාණයෙන් ඉතා කුඩා සමහර fibroids වලටනම් ප්‍රතිකාර කිරීමක් අවශ්‍ය නොවෙන අවස්ථාත් තියෙනවා. සමහර කුඩා ගෙඩි හෝර්මෝන ප්‍රතිකාර මඟින් දිය කරන්න උත්සහ කරනවා. විශාල ගෙඩිනම් සැත්කමක් මඟින් ඉවත් කිරීම තමයි විසඳුම. ඒ විදිහට ඉවත් කළාට පස්සෙත් නැවත නැවත මේ ගෙඩි ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම ඉතා විශාල සුව කළ නොහැකි තත්ත්වයේ fibroids නම් ගර්භාෂය ඉවත් කිරීම වගේ පියවරකට යන්න වෙනවා. හැබැයි ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරුන් නම් කියනවා විශාල ගෙඩි උනත් ආයුර්වේද ප්‍රතිකාර මඟින් සාර්ථකව දියකරලා හරින්න පුළුවන් කියලා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *