ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සිද්ධ වුණු විවාහ

කලා ලෝකයේ ගායක ගායිකාවන්, නළු නිළියන් අතර සිද්ධ වෙන ආදර සම්බන්ධතා සහ විවාහ ගැන නම් අපි ඕන තරම් අහලා තියනවනෙ. ඒ ගැන අපි මීට කලින් ලිපි අරගෙන ඇවිල්ලත් තියනවා.  අන්න ඒ නිසා අපි අද හිතුවා කලා ලෝකයෙන් ටිකක් ඈතට ගිහින් ක්‍රීඩා ලෝකයේ ජනප්‍රිය යුවළ අතර ඇතිවුණු විවාහ ගැන ලිපියක් ගෙන එන්න.

 

1. මිචෙල් ස්ටාක් සහ ඇලිසා හීලි 

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් පහුගිය දවසක කරපු හරි අපූරු වැඩක් නිසා කා අතරත් කතාබහට ලක්වෙන්න සමත් වුණා. දකුණු අප්‍රිකාවට එරෙහි​ව පැවැත්වෙමින් තිබුණු ක්‍රිකට් තරඟාවලියක් අතරතුර ඔහු විශේෂ අවසරයක් ඇතිව නැවත ඕස්ට්‍රේලියාවට පැමිණියා තමන්ගේ බිරිඳ ක්‍රීඩා කරන කාන්තා ලෝක කුසලාන අවසන් තරඟය නරඹන්න. ස්ටාක්ගේ බිරි​ඳ වන ඇලිසා හීලි ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට ක්‍රීඩා කරන ප්‍රබල ක්‍රීඩිකාවක්. ඉන්දියාවට එරෙහිව පැවැත්වුණු ඒ අවසන් තරඟයේදී ඇය පන්දු 39කින් අනර්ඝ ලකුණු 75ක් ලබාගන්නට සමත් වුණා. මේ යුවළ කුඩා අවධියේ පටන් එකිනෙකාව හඳුනන දෙන්නෙක්. ක්‍රිකට් පුහුණුව අතරතු​ර වයස අවුරුදු 9 දී තමයි මේ දෙන්නාගේ දැන හැඳුනුම්කම ඇති වෙන්නේ. මේ දැන හැඳුනුම්කම ආදරයකට පෙරළුනාට පස්සෙයි මේ දෙදෙනා 2016 අවුරුද්දේදී විවාහ පත් වී තිබෙන්​නේ.

 

2. ෂොයිබ් මලික් සහ සානියා මිර්සා

පාකිස්ථානයේ ක්‍රිකට් තරුවක් වන ෂොයිබ් මලික් සහ ඉන්දියාවෙන් බිහිවුණු ටෙනිස් ශූරියක් වන සානියා මිර්සාගේ ආදර කතාව සිනමා පටයක වැනි සිදුවීම් මාලාවකින් සමන්විත ආදර කතාවක්. එකිනෙකා කෙරෙහි නයි වෛරෙන් ඉන්නා රටවල් දෙකක ජීවත් වෙලා, තම තමන්ගේ රටවල් ජාත්‍යන්තර තලයේදී නියෝජනය කරන මේ යුවළගේ ආදර කතාවට එල්ල වුණු අභියෝග නිමක් නැහැ. මාධ්‍යවලින් සහ ඔවුන්ගේ රසික රසිකාවියන්ගෙන් පවා මේ දෙදෙනාගේ ආදරයට ගල් මුල් එල්ල වුණා. නමුත් අවසානයේදී සියලු බාධක පරදා මේ දෙදෙනා 2010 වසරේදී විවාපත් වෙනවා. මේ වනවිට ඔවුන්ගේ කැදැල්ලට පුතෙකුත් එකතු වී සිටිනවා.

 

3. ස්ටෙෆී ග්‍රාෆ් සහ අන්ද්‍රේ ඇගසී

90 දශකයේ ලෝක ටෙනිස් පිටියේ කැපී පෙනුණු චරිත දෙකක් තමයි ස්ටෙෆී ග්‍රාෆ් සහ අන්ද්‍රේ ඇගසි කියන්නේ. ස්ටෙෆී ග්‍රාෆ් විශ්‍රාම යන තෙක් දිගු කලක් ​ලෝක ටෙනිස් පිටියේ අංක 1 ක්‍රීඩිකාව හැටියට වැජඹුනා. ඇය ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 22ක හිමිකාරිනියක්. අන්ද්‍රේ ඇගසි ග්‍රෑන්ඩ් ස්ලෑම් 8ක ජයග්‍රාහකයෙක් වුණා. අන්ද්‍රේගේ මුල් විවාහය සිද්ධ වෙන්නේ ජනප්‍රිය නිළියක් වන බෘක් ෂීල්ඩ්ස් සමගයි. 90 දශකයේ අග භාගයේදී ඒ විවාහය බිඳ වැටීමත් එක්ක අන්ද්‍රේ ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ සමකාලීන ටෙනිස් ක්‍රීඩිකාවක් වන ස්ටෙෆී ග්‍රාෆ් එකක් සමීප වෙනවා. දෙදෙනා එක්ව ටෙනිස් පුහුණුවේත් යෙදෙනවා. 2001 වසරේදී මේ යුවළ විවාපත් වෙනවා. වර්තමානය දක්වාත් ඉතාම සමීපව පවුල් ජීවිතය ගෙවන අන්ද්‍රේ- ග්‍රාෆ් යුවළට දරුවන් දෙදෙනෙක්ද සිටිනවා. සමාජ සේවා කටයුතුවලට දැඩිව මැදිහත් වන යුවළක් හැටියටත් ඔවුන් ප්‍රසිද්ධයි.

 

4. ලයිලා අලි සහ කර්ටිස් කොන්වේ

ශ්‍රේෂ්ඨ බොක්සිං ක්‍රීඩ​ක මොහමඩ් අලීගේ දියණිය වන ලයිලා අලී බොක්සිං ක්‍රීඩාවට එක්වන බව පැවසූ විට මොහමඩ් අලී ඒ ගැන තම අසතුට පළකළ බවයි පැවසෙන්නේ. ​එයට හේතුව වන්නේ බොක්සිං ක්‍රීඩාවේ ඇති භයානක ස්වභාව​ය නිසා ඇයට අනතුරක් වේවි යැයි ඇති වන බියයි. (ජීවිතයේ අවසාන කාලයේදී මොහමඩ් අලී පාකින්සන් රෝගයට ගොදුරු වීමටත් බොක්සිං ක්‍රීඩාවේදී සිදු වුණු හානිය බල පෑවා යැයි පැවසෙනවා). කෙසේ නමුත් දශකයකට ආසන්න බොක්සිං ක්‍රීඩා ජීවිතය තුළදී අපරාජිතව, බොක්සිං ශූරියක් හැටියට සමුගන්න ලයිලා අලී සමත් වෙනවා. 

2007 වසරේදී ලයිලා අලී කර්ටිස් කොන්වේ නම් පුද්ගලයෙක් සමග විවාපත් වෙනවා. කර්ටිස් කොන්වේ කියන්නේ ඇමරිකානු NFL ක්‍රීඩකයෙක්. මේ විවාහයෙන් ඔවුන්ට දරුවන් දෙදෙනෙක් සිටිනවා.

 

5. ලෙයා ටහූහු සහ ඒමි ස්ටැටර්ත්වේට්

ලෙයා ටහූහු සහ ඒමි ස්ටැටර්ත්වේට් කියන්නේ නවසීලන්තය වෙනුවෙන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන් දෙන්නෙක්. ඒමි ස්ට්‍රැටර්ත්වේට් 2017 දී වසරේ හොඳම කාන්තා එක්දින ක්‍රීඩිකාව හැටියට සම්මාන ලබන්නටද සමත් වෙනවා. ලෙයා ටහූහු වේග පන්දුවෙන් කැපී පෙනෙන ක්‍රීඩිකාවක්. අන්තර් සමාජ ක්‍රිකට් ක්‍රීඩා කරන අතරතුර 2010 වසරේදී විතර තමයි මේ දෙදෙනා අතර ප්‍රේම සබඳතාවයක් ගොඩ නැගෙන්නේ. වසර කීපයක් රහසිගතව තමයි ඔවුන් තමන්ගේ ආදර කතාව පවත්වාගෙන යන්නේ. ඉන් පස්සේ 2014 වසරේදී ලෙයා සහ ඒමි විවාහ ගිවිසගන්නවා. 2017 වසරේදී ඔවුන් විවාහ මංගල්‍යය පවත්වා, විවා​හ ජීවිතයට ඇතුළත් වෙනවා.

 

6. බැස්ටියන් ෂ්වයින්ස්ටයිගර් සහ ඇනා ඉවානොවික්

පාපන්දු ලෝලීන්ට නම් බැස්ටියන් ෂ්වයින්ස්ටයිගර් නම ආගන්තුක එකක් නොවන බව අපිට විශ්වාසයි. මිඩ්ෆීල්ඩ් ක්‍රීඩකයෙක් හැටියට ජර්මානු කණ්ඩායමට ක්‍රීඩා කළ ෂ්වයින්ස්ටයිගර්, දීර්ඝ කාලයක් බයර්න් මියුනික් කණ්ඩායමටත් තමන්ගේ සේවය සැපයුවා. ෂ්වයින්ස්ටයිගර් තමන්ගේ ජීවන සහකාරිය බවට පත් කරගන්නේ සර්බියානු ජාතික ජනප්‍රිය ටෙනිස් ක්‍රීඩිකාවක් වන ඇනා ඉවානොවික්ව. ඇය 2008 වසරේ ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලිය ජයග්‍රහණය කරන්නට සමත් වුණු ක්‍රීඩිකාවක්. ඒ වසරේදී ඇය ලෝකයේ අංක 1 ටෙනිස් ක්‍රීඩිකාව හැටියටත් වැජඹුනා. ඇනා ක්‍රීඩා කරන ටෙනිස් තරඟ නරඹන්නට ෂ්වයින්ස්ටයිගර් පැමිණෙන්න පටන් ගැනීමත් එක්ක ටෙනිස් සහ පාපන්දු ක්‍රීඩා ලෝලීන්ගේ විමසුම් ඇස මේ යුවළ වෙත යොමුවුණා. 2016 වසරේදී මේ දෙදෙනා එකිනෙකාගේ අතිනත ගත්තා. මේ දෙදෙනා දැන් දරුවන් දෙදෙනෙකුගේ මවුපියන් බවටත් පත් වී අවසන්.

 

7. ගයී ද අල්විස් සහ රසාංජලී ද අල්විස්

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ යුවළක් සැමියා සහ බිරිඳ බවට පත්වුණු දෙවැනි අවස්ථාව හැටියටයි ගයි සහ රසාංජලී ද අල්විස් ඉතිහාසගත වෙන්නේ. 1980 ගණන්වලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු රකින්නා හැටියටයි ගයි ද අල්විස් ක්‍රීඩා කරන්නේ. පස්සේ කාලෙක ඔහු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවා බවටත් පත් වෙනවා. රසංජලී ද අල්විස් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟයක් සහ එක්දින තරඟ 22කට ක්‍රීඩා කර තිබෙනවා. විවාහයෙන් පසු දරුවන් දෙදෙනෙකුගේ මවුපියන් බවට ගයි – රසංජලී යුවළ පත්වෙනවා. 2013 වසරේදී ගයි ද අල්විස් අපි අතරින් සදහටම සමු ගන්​නේ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන්.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *