කොරෝනා, එහෙමත් නැතිනම් කෝවිඩ් 19 වෙරසය මේ වන විට අපේ රටත් ඇතුළුව මුලු ලෝකයම සසල කරවලා අවසන්. මේ රුදුරු වෛරසයට රට ජාතීන්, සංස්කෘතීන්, දුප්පත් පොහොසත්, දුබල හෝ බලවත් කිසිම භේදයක් නැතිය කියලා මේ වෙද්දී ඔප්පු වෙලා ඉවරයි. එයට ලබාදිය හැකි දුක්බර උදාහරණ කීපයකිනුයි අපේ අද ලැයිස්තුව සමන්විත වෙන්නේ…
1. ඇන්ඩෘ ජැක් (Andrew Jack)
ඇන්ඩෘ ජැක් කියන්නේ “ස්ටාර් වෝර්ස්” චිත්‍රපට මාලාවේ චිත්‍රපට කීපයකටම රංගනයෙන් දායක වුණු නළුවෙක්. ඒ වගේම හොලිවුඩ් චිත්‍රපට සඳහා උපභාෂා පුහුණුකරුවෙක් හැටියටත් ඇන්ඩෘ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකළ අයෙක්. “ගාඩියන්ස් ඔෆ් ද ගැලක්සි”, “ලෝඩ් ඔෆ් ද රිංග්ස්”, “බැට්මෑන්” , “ඇවෙන්ජර්ස්” ඇතුළු චිත්‍රපට රැසකට ඇන්ඩෘ තමන්ගේ දායකත්වය සපයලා තියනවා. පසුගිය 31 වැනිදා තමයි කොරෝනා වෛරසයෙන් ඇතිවුණු සංකූලතා හේතුවෙන් ඇන්ඩෘ ජැක් මෙළොවින් සමුගන්නේ. ඒ වන විට ඔහු 76 වන වියේ පසුවුණා.
2. කෙන් ෂිමුරා (Ken Shimura)
ජපානයේ ජනප්‍රිය විකට නළුවෙක් වුණු කෙන් ෂිමුරා කොරෝනා වෛරසය නිසා ඇති වුණු නියුමෝනියා තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු 30 වැනිදා තෝකියෝහි රෝහලකදී මිය ගියා. ජපානයේ රොබින් විලියම්ස් යන අන්වර්ථ නාමයෙන් තමයි කෙන් ෂිමුරාව හැඳින්වුණේ. 1970 දශකයේ සිට දශක පහක් තිස්සේ ජපන් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ගේ හද බැඳ ගත් චරිතයක් වූ ෂිමුරාගේ අනපේක්ෂිත මරණය ජපන් ජනතාව අතිශයින් ශෝකයට පත් කරන්නට සමත්ව තිබෙනවා. මිය යන විට 70වන වියේ පසුවූ ශිමුරා මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙලේදී ගිනි සිළුව දැල්වීමටද නියමිතව සිටියා.
3. මාර්ක් බ්ලම් (Mark Blum)
සිනමාවේ මෙන්ම වේදිකාවේත් චරිතාංග රංගනයෙන් කැපී පෙනුණ අමරිකානු රංගන ශිල්පියෙක් වූ මාර්ක් බ්ලම් කොරෝනා වෛරසයේ තවත් ගොදුරක් බවට පත් වුණ කලාකරුවෙක්. පසුගිය 25 වැනිදා තමයි මාර්ක් බ්ලම් ජීවිතයෙන් සමු ගන්නේ. 1985 වර්ෂයේදී තිරගත වූ “Desperately seeking Susan” සහ 1986 තිරගත වූ “Crocodile Dundee” චිත්‍රපට හරහා අතිශය ජනප්‍රියත්වයක් ලබන මාර්ක් බ්ලම්, මෑතකදී විකාශය වුණු ජනප්‍රිය ටෙලි කතා මාලාවක් වූ “You” හි මිස්ටර් මූනි චරිතය හරහාත් ප්‍රේක්ෂකයන්ට සමීප වුණා. මිය යන විට ඔහු 69 වන වියේ පසුවුණා.
4. ජෝ ඩිෆී (Joe Diffie)
ග්‍රැමී සම්මානලාභී ඇමරිකානු ස්වදේශී ගායකයෙක් වූ ජෝ ඩිෆී කෝවිඩ් වෛරසය වැළඳීමෙන් ඇතිවූ සංකූලතා හේතුවෙන් පසුගිය 29 වැනිදා සමුගත්තා. ඊට දින දෙකකට පෙර තමන්ට කෝවිඩ් වෛරසය වැළඳී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඩිෆී තම රසිකයන් දැනුවත් කර තිබුණා. 90 දශකයේ අති සාර්ථකම ඇමෙරිකානු ස්වදේශී ගායකයෙක් වූ ඩිෆී ම්ය යන විට 61 වන වියේ පසුවුණා.
5. වොලස් රොනී (Wallace Roney)
වොලස් රොනී කියන්නේ ජනප්‍රිය ඇමරිකානු ජෑස් ට්‍රම්පට් වාදකයෙක්. ඇමරිකානු ජෑස් සංගීතයේ විශිෂ්ටයෙක් වන මයිල්ස් ඩේවිස්ගේ මග පෙන්වීම යටතේ තමන්ගේ සංගීත කුසලතා ඔප් නංවාගන්නා රොනී, 80,90 දශකවල ජනප්‍රියම ජෑස් සංගීතවේදියෙකු හැටියට වැජඹුණු තැනැත්තෙක්. 1994 වසරේදී ඔහු ග්‍රැමී සම්මානයක්ද දිනා ගන්නට සමත් වෙනවා. සතියක පමණ කාලයක් කොරෝනා රෝගී තත්ත්වයෙන් පීඩා විඳි වොලස් රොනී පසුගිය 31 වැනිදා නිව් ජර්සි හී රෝහලක දී අවසන් සුසුම් හෙලනු ලැබුවා.
6. ඇලන් මෙරිල් (Alan Merril)
ඇමරිකානු ගායකයෙක්, ගිටාර් වාදකයෙක් සහ ගී පද රචකයෙකු වූ ඇලන් මෙරිල් කොරෝනා වෛරසයේ තවත් ජනප්‍රිය ගොදුරක් බවට පත් වුණ කලාකරුවෙක්. මිය යන විට ඔහු 69 වන වියේ පසුවුණා. ඔහු විසින් 70 දශකයේදී නිර්මාණය කරනු ලැබූ “I love rock and roll” ගීතය 1980 දශකයේ අතිමහත් ජනප්‍රියත්වයකට ලක්වෙන්න සමත් වුණා. සති දෙකක පමණ කාලයක් තිස්සේ උණ ගතියකින් පෙළුණු මෙරිල් ප්‍රතිකාර ලබාගන්නට ප්‍රමාද වීම ඔහුගේ මරණයට බලපෑ ප්‍රධාන හේතුවක්. රෝගය උත්සන්න වූ අවස්ථාවක රෝහල් ගත වන මෙරිල්ට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුණ අතර කෙටි කලකින්ම ඔහු මරණයට පත්ව තිබෙනවා.
7. ටෙරන්ස් මැක්නැලී (Terrance McNally)
සම්මානලාභී ඇමෙරිකානු නාට්‍ය රචකයෙක් වූ ටෙරන්ස් මැක්නැලී පසුගිය 24 වැනිදා කොරෝනා ආසාදනයෙන් මිය යන විට 81 වැනි වියේ පසුවුණා. පෙනහළු පිළිකා රෝගයෙන්ද කලකට පෙර බැට කෑ පුද්ගලයෙකු වූ ටෙරන්ස්, පෙනහළු සම්බන්ධ රෝගී තත්ත්වයකින්ද පීඩා විඳි තැනැත්තෙක් වීම කොරෝනා මගින් ඔහුට මරණය අත්වන්න හේතුවක් වුණා. සුප්‍රකට ටෝනි සම්මානයෙන්ද පිදුම් ලබා ඇති ටෙරන්ස් මැක්නැලී, 1996 වසරේ ඇමරිකානු වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ ශ්‍රේෂ්ඨයන්ගේ ලැයිස්තුවටද සිය නාමය එක් කරගන්න සමත් වුණා. ෆ්ලොරිඩා හි රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදීයි මැක්නැලී අභාවප්‍රාප්ත වන්නේ.
Leave a Reply