ලෙඩ අරගෙන තැන තැන යන අරුම පුදුම වෛරස

වෛරස නිසා ඇතිවෙන ප්‍රතිශ්‍යා තත්ත්වයන් නිසා විතරක් වසරකට ලක්ෂ ගාණක් මිනිස්සු මැරෙනවා. ප්‍රතිශ්‍යාව කියන්නේ බොහොම සුලභ තත්ත්වයක් වුනත් වෛරස වලට වෙනස් වෙන්න තියෙන අරුම පුදුම හැකියාව නිසා වෛරසමය ප්‍රතිශ්‍යා තත්ත්වයන්ට තවමත් ස්ථීරසාර බෙහෙතක් සොයාගන්නට අමාරු වෙලා. වෛරස මිනිස්සු කොපමණ බිය කරනවාද කියන එක මේ දිනවල අපි අත් විඳිනවා. ඉතින් වෛරස කියන්නේ මොන වගේ දෙයක්ද කියලා අපි ටිකක් විස්තර සොයා බලමු.

 

1. වෛරස් කියන්නේ සෛල ජාතියක්ද?

වෛරස් කියන්නේ තවත් එක සෛල ජාතියක් නෙමෙයි. වෛරස් කියන්නේ ජීවී දෙයක්ද, අජීවී දෙයක්ද කියන එක සම්බන්ධයෙනුත් යම් යම් ගැටළු තියෙනවා. වෛරස නිකං හරියට මැසේජ් වගේ. මැසේජ් කියන්නේ එච්චර බර දෙයක්, ජීවී දෙයක් නෙමෙයි නේ. අපට ෆෝන් එකෙන් මැසේජ් එනවා, ලියුම් වලින් එනවා, තව ඊමේල් ආදී වශයෙන් මැසේජ් එනවා. ඒත් ඒ මැසේජ් වල ස්වභාවය අනුව අපි එක්කෝ සතුටු වෙනවා නැතිනම් අප්සට් වෙනවා. ඒ වගේ අපේ ඇඟ තුළ තියෙන ඇතැම් සෛල වල තත්ත්වය වෙනස් කරන අවුල් අරගෙන මේ වෛරස් අපේ ඇඟට ඇතුල් වෙනවා… ජානමය වශයෙන් මිනිස්සු දියුණු තත්ත්වයකට එන්න වෛරස් වල හොඳ බලපෑමක් තියේලු. ඒත් අපි දන්නා විදිහට වෛරස් කියන්නේ ලෙඩ ගොඩක්. එදිනෙදා හැදෙන ඉන්ෆ්ලුවෙන්සාවේ ඉඳලා බේත් හොයාගන්න අමාරු HIV, ඒඩ්ස්, කොවිඩ්-19 ආදී ලෝක ලෙඩ ගොඩක් හැදෙන්නේ මේ වෛරස නිසා තමයි.

 

2. ඇයි ඒ වෛරස ලේසියෙන් නැතිකරන්න බැරි? 

අපි කලිනුත් කිව්වා වෛරස කියන්නේ මැසේජ් එකක්, ලියුමක් වගේ පැතිරෙන විදිහ හරිම වෙනස් විදිහ තියෙන දෙයක් බව. අපි දන්නවා කොරෝනා වෛරස් එක නිකං රඹුටන් ගෙඩියක හැඩේ තියෙන වෛරසයක්. ඒත් ඒ ආකාරෙන් වෛරස​ය දැකගන්නත් බොහෝ වෛරස වලදි අමාරුයි. පැතිරෙන වෛරස කොටසක් බලාගන්න අපිට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් උවමනා වෙනවා. ඒත් ඉතින් මේ තියෙන්නේ මේ අදාළ වෛරසය තමයි කියලා වෙන්කරගන්න එක නම් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය හරහාත් අපහසු දෙයක්. දිලීර මගින් ව්‍යාප්ත වෙන ලෙඩවල් වළක්වන්න දිලීර නාශක තියෙනවා. බැක්ටීරියා මගින් ව්‍යාප්ත වන ලෙඩවල් නැතිකරන්න බැක්ටීරියා නාශක තියෙනවා. ඒත් වෛරස නාශක නැහැ. හේතුව තමයි වෛරස කියන්නේ සම්පූර්ණ ජීවි සෛල නෙමෙයි. වෛරස මගින් කරන්නේ ගිහින් ඇඟ ඇතුළේ හොඳට වැඩ කරන සෛල වෙනස් කර දමලා නැවත නැවත පැතිරෙන එක. පැතිරෙන විදිහත්, ඇඟ ඇතුළතදී වැඩකරන විදිහත් වෙනස් නිසා සහ එක එක වෛරස එකිනෙකට බොහෝ වෙනස් කම තියෙන නිසාත් වෛරස වලට බෙහෙත් හේත් හොයාගන්න සෑහෙන අමාරුයි.

 

3. මොනවාද මේ වෛරස ඇතුළේ තියෙන්නේ? 

ලෝකේ තියෙන ජීව පද්ධති වල මූලිකම ඒකකය සෛලය වුනත් වෛරස වලදී හුවමාරු වෙන්නට සෛලයක් නැහැ. සෛලයකට වඩා බොහෝ කුඩාතර මේ වෛරස විවිධාකාරයේ හැඩයන්ගෙන් තියෙනවා. සෑම වෛරසයකටදිම ප්‍රෝටීන සමග එකතු වූ එයට අදාළ වූ ජානමය කොටසක් තියෙනවා. මෙම ජානමය කොටස ඩී එන් ඒ හෝ ආර් එන් ඒ වෙනවා. සාමාන්‍යයෙන් වෛරස වටේ ආවරණයක් තියෙනවා කැප්සිඩ් කියලා. ඒ ආවරණය හරහා වෛරස කොටස තුළ තියෙන ඩී එන් ඒ සහ ආර් එන් ඒ කොටස් ආරක්ෂා වෙනවා. සමහර වෛරස සමග විශේෂ එන්සයිම ආදිය ඇටෑච් වෙලා යනවා. තවත් ඒවායේ පිටත කවරයක් එනවා. ඒ ආකාරයෙන් විවිධ තත්ත්වයන්ගෙන් වෛරස තියෙනවා.

 

4. වෛරසය පැතිරීම

උදාහරණයකට සත්තු ගමු. සත්තු ගත්තාම සත්තු බෝවෙන්නෙ උන් ලිංගිකව එකතු වෙලා, උන්ගේ පැටවුනුත් ලිංගිකව එකතු වෙලා ආදී වශයෙන්. සෛල ගත්තාම සෛලත් විභේදනය වෙලා පටක සහ පද්ධති නිර්මාණය කරනවා. ඒත් කොහොමද මේ තැනකින් තැනකට පහසුවෙන් යන වෛරස නිර්මාණය වෙන්නේ? සෛලයකට වෛරසයක් ප්‍රහාර එල්ල කළාම ඒකේ ස්වභාවය වෙනස් වෙනවා වගේම ඒ සෛලය තුලින් මේ වෛරසය නැවත නැවත බිහිකිරීම සිද්ද වෙනවා. මේ වෛරස මිනිස්සු අතර පැතිරෙන්න  බැක්ටීරියාවන්, මැසි මදුරුවන් සහ වෙනත් සතුන්ද අතරමැදි කොටසක් ලෙස මැදිහත් වෙන අවස්ථාද තියෙනවා.

 

5. වෛරස නැවත බිහිවීම

වෛරස බිහිවීමේ ආකාර දෙකක් තියෙනවා. ලිටික් ක්‍රමයේදී සෛලයට කෙලින්ම වෛරසය ආසාදනය වෙනවා. ඉන් පස්සේ වෛරස කොටසේ තියෙන ඩී එන් ඒ, ආර් එන් ඒ මගින් සෛලයේ තත්ත්වය වෙනස් කරනවා. ඒ ජානමය කොටස් හරහා වෛරසය තවත් තවත් කොපි වෙන්න අවශ්‍ය වටපිටාව සෛලය මගින් ඇතිකරනවා. අවසානේ ඒ සෛලය තුළින් වෛරසය ගොඩක් කොපි හදාගෙන වෙනත් සෛල කරා යනවා. ඒ වෙනත් සෛල කරා යද්දි මුල් සෛලය, සෛල කොටස් විනාශ වෙලා අඩපණ වෙනවා. දෙවැනි ක්‍රමය ලයිසොජෙනික් ක්‍රමය. ඒකෙදිත් වෛරසය සෛලයට ඇතුළු වෙලා වෛරසය මගින් සෛලය වෙනස් කරනවා. එහිදී සෛලය මගින්ම වෛරස ගතිගුණ වැඩිපුර ඇති නව සෛල නිපදවනවා. ඒත් අවසානයේදී ලිටික් ක්‍රමයේදී වගේ සෛලය තුලින් වෛරස අනෙක් සෛල වලට පැතිරීම සිද්ද වෙනවා.

 

6. ස්වභාවය නිසා තියෙන ප්‍රශ්න

වෛරස වර්ග සහ වෛරස මගින් ඇටෑක් කරන සෛල වල වෙනස් කම් නිසාම සමහර වෛරස තියෙන්නේ එක් සත්ව කාණ්ඩයකට විතරයි. තවත් වෛරස ඒ ඒ සත්ව විශේෂයට  පමණක් පැතිරෙන ඒවා තියෙනවා. ඒ වගේම කොරෝනා වෛරස වගේ වවුලන්ගෙන් කබල්ලෑවන්ට, ඉන් පස්සේ කබල්ලෑවා තුළ දියුණු වුණු වෛරසය නැවත මිනිසාට ආදී වශයෙන් වෙනස් කම් වලට ලක් වෙලා වෛරසය පැතිරෙන අවස්ථාවනුත් තියෙනවා. මෙහිදී වෛරසය පැතිරෙද්දි එක් එක් සතාගේ සෛල තුළින් ඇතිවෙන නව වෛරස කලින් එකට වඩා වෙනස් වෙන්නත් පුළුවන් ඉඩකඩ තියෙනවා.

 

7. ඓතිහාසික වෛරස

1350 කාලේ යුරෝපේ මිනිස්සු තුනෙන් එකකට මැරෙන්න සිද්ද වුණු කළු වසංගත තත්ත්වය වෛරසයක් නෙමෙයි, ඒක ඇවිල්ලා බැක්ටීරියා ආසාදනයක්. බැක්ටීරියා සඳහා ඇන්ටිබයටික්ස් ආවේ කාර්මික විප්ලවයෙනුත් කලකට පස්සේ 1930 ගණන්වලදී. 1918-19 කාලේ ඇතිවුණු ස්පැනිශ් ෆ්ලූ එකෙනුත් ලෝකේ මිලියන 50කට වැඩි මිනිස්සු පිරිසක් බිලිගත්තා. ඒක වෛරසයක් නිසා ඇතිවුන තත්ත්වයක්. මිනිසාට වැළඳෙන මරණීය ලෙඩක් වෙන එච් අයි වී ඒඩ්ස් කියන්නෙත් වෛරස තත්ත්වයක්. නූතන ලෝකයම හෙල්ලුව කොරෝනා (කොවිඩ්-19) කියන්නෙත් වෛරස තත්ත්වයක්. වෛරස මිහිමත බොහෝ කාලයක් තිබී මිනිසා ඇතුළු සතුන්ගේ ජානමය සැකැස්ම වෙනුවෙන් සැලකිය යුතු කාර්යයක් කරලා තියෙනවා. ඒත් මේ වෛරස හරහා විවිධ රෝගාබාධ එහා මෙහා වෙන එකනම් මිනිස්සුන්ට තාමත් හරි හැටි උත්තරයක් නැති ප්‍රශ්නයක්.

 

8. වෛරස බැක්ටීරියා සහ ගෝලීයකරණය

මීට වසර දහස් ගාණකට පෙර සේද මාවත හරහා රටවල් එකිනෙකා සම්බන්ධ වෙද්දි ඇතැම් රටවල මිනිස්සුන් විවිධ රෝගාබාධ නිසා තොග පිටින් මිය පරලොව ගියා. ඒ කාලේ ඒ ඒ කලාපයට වෙලා හැංගිලා හිටපු වෛරස, බැක්ටීරියා ආදී රෝගාබාධ එක් එක් කලාපයට සංක්‍රමණය වෙන්න සේද මාවත ආදී ප්‍රවාහන ක්‍රම දියුණුවීම හේතු වුනා. අද වෙද්දි ඊටත් වඩා ලෝකේ එකිනෙකා සම්බන්ධ වෙලා තියෙනවා. ඒ හරහා එක් එක් කොටස් වල ඇතිවන අලුත් ලෙඩ රෝගත් කිසි අඩුපාඩුවක් නැතුව ලෝකය පුරා දින ගණනාවකදී හුවමාරු වෙනවා. කෝවීඩ් -19 දරුණුයි තමයි. ඒත් තව මාස ගණනාවක් ගියාම කෝවිඩ්- 19 කියන්නේ ඉතිහාසයට එකතු වුන තවත් එක වෛරසයක් වේවි. කොහොම වුනත් වෛරස නිසා ඇතිවෙන රෝගාබාධ සහ ඒවායේ පැතිරීම අවම කරගැනීම ගැනත් ඉදිරියේදී මිනිස්සු විදිහට අපිට අලුත් විදිහට විසඳුම් හිතන්නට ඕනි වේවි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *