වෙනස් හැඩයෙන් වෙනස් රසයෙන් කුකීස් වර්ග 7ක් හදාගමු

නිවාඩු කාලේ ගෙදරට වෙලා ඉන්න පොඩ්ඩොන්ට කන්න රසම රස වෙනස්ම විදිහෙ කුකීස් ටිකක් ගෙනාවා. දරුවන්ට නම් පුළුවන් තරම් ගෙදරම කෑම හදලා දෙන එකයි හොඳ. අද කාලේ රසකාරක වලින් තොර දේවල් නැති නිසා ඔයාගෙ අතින්ම හදලා සෞඛ්‍යයාරක්ෂිතව කන්න දෙන දෙයක් බය නැතුව දරුවන්ට දෙන්න පුළුවන් නේ. ඒ නිසාම අම්මලා මේ වගකීම අරගෙන දරුවන් ගැන හිතලා කෑම හදන්න කියන පණිවිඩෙත් එක්ක මෙන්න මේ කුකීස්  ටික රස බලමුද…

 

1. චොක්ලට් චිප් කුකීස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සුදු සීනි කෝප්ප 1/2
  2. දුඹුරු සීනි කෝප්ප 3/4
  3. ලුණු පින්ච් එකක්
  4. බටර් කෝප්ප 1/2
  5. බිත්තර 1
  6. වැනිලා තේ හැඳි 1
  7. පාන්පිටි කෝප්ප 1 1/4
  8. බේකින් සෝඩා තේ හැඳි 1/2
  9. චොක්ලට් චිප්ස් හෝ කෑලි කරගත් ඩාක් චොක්ලට් කෝප්ප 1/2

 

  • සුදු සීනි, දුඹුරු සීනි, ලුණු සහ බටර් කලවම් කරගන්න. මේකට බිත්තරය දාලා ක්‍රීම් වෙනකල් බීට් හෝ විස්ක් කරගන්න. බීට් කරගත් ක්‍රීම් එකට වැනිලා එකතු කරගන්න.
  • පාන්පිටි වලට බේකින් සෝඩා කලවම් කරලා ක්‍රීම් කරගත් මිශ්‍රණයට එක් කරගෙන ඩෝ එකක් හදාගන්න.
  • ඩෝ එක හදලා අන්තිමට චොක්ලට් චිප්ස් එකතු කරගෙන නැවත අනාගන්න. 
  • ට්‍රේ එකකට බේකින් පේපර් එකක් දාලා පොඩි බෝල තැන් තැන් වලින් තියලා අතින් තද කරල කුකී හැඩේ හදාගන්න. නැත්නම් ඩෝ එක තුනී කරන් කටර් එකකින් කපල බේකින් ට්‍රේ එකෙන් තියාගන්න.
  • 180°C ට විනාඩි 12-15ක් බේක් කරගන්න.

 

2. Snickerdoodle Cookies

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බටර් කෝප්ප 1
  2. වැනිලා තේ හැඳි 2
  3. සීනි කෝප්ප 1
  4. දුඹුරු සීනි කෝප්ප 1/3
  5. බිත්තර 2
  6. පාන්පිටි කෝප්ප 3
  7. කුරුඳු කුඩු තේ හැඳි 1
  8. ක්‍රීම් ඔෆ් ටාටාර් තේ හැඳි 2
  9. බේකින් සෝඩා තේ හැඳි 2
  10. සීනි මේස හැඳි 2ක​ට කුරුඳු කුඩු ස්වල්පයක් කලවම් කොට වෙනම තබාගන්​න

 

  • බටර් හා වැනිලා හොඳට විස්ක් කරගන්න. මේකට සුදු සීනි කප් 1 සහ දුඹුරු සීනි කප් 1 එකතු කරගන්න. දැන් බිත්තර දාලා හොඳට කලවම් කරගන්න. 
  • පාන්පිටි වලට ක්‍රීම් ඔෆ් ටාටාර්, කුරුඳු කුඩු, ලුණු හා බේකින් සෝඩා එකතු කර හලාගෙන කුකී මික්ස් එකට එකතු කරගන්න.
  • ඩෝ එක හොඳටට අනලා ෆ්‍රිජ් එකේ පැය බාගයක් විතර තියන්න.
  • දැන් කුකී ඩෝ එකෙන් බෝල හදලා වෙනම කලවම් කරගත්ත සීනි හා කුරුඳු කුඩු වල තවරගෙන, කුකී හැඩේට තලාගෙන 190°Cට විනාඩි 10ක් බේක් කරගන්න.

 

3. සමපෝෂ කුකීස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සමපෝෂ ග්‍රෑම් 200 පැකට් 1
  2. සීනි ග්‍රෑම් 100
  3. බිත්තර 1
  4. බටර් ග්‍රෑම් 100
  5. ලුණු පින්ච් එකක්
  6. වැනිලා තේ හැඳි 1

 

  • බටර් හා සීනි බීට් කරගන්න. බිත්තරය, වැනිලා හා ලුණු එකතු කරගන්න.
  • දැන් ටික ටික සමපෝෂ ටික එකතු කරලා ඩෝ එක හදාගන්න. 
  • එයින් පොඩි බෝල හදලා ටිකක් තුනී කරලා බේකින් ට්‍රේ එකකට බටර් ගාලා මේ ටික ඈතින් ඈත තියන්න.
  • 180°C උෂ්ණත්ව​යට විනාඩි 12ක් බේක් කරගන්න.

 

4. ඕට්ස් කුකීස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කෑලි හිටින සේ බ්ලෙන්ඩ් කරගත් ඕට්ස් ග්‍රෑම් 100
  2. සීනි ග්‍රෑම් 100
  3. මෙල්ටඩ් බටර් ග්‍රෑම් 100
  4. කිරිපිටි මේස හැඳි 2
  5. දුඹුරු සීනි ග්‍රෑම් 30
  6. ලුණු
  7. බේකින් සෝඩා තේ හැඳි 1

 

  • මේ සියල්ලම එකතු කරලා අතේ නොඇලෙන ඩෝ එකක් අනාගන්න.
  • විනාඩි 10ක් වගේ ෆ්‍රිජ් එකේ තියන්න. දැන් පොඩි බෝල හදලා තුනී කරලා බටර් ගාගත් ට්‍රේ එකක දාලා 180°C ට විනාඩි 10ක් බේක් කරගන්න.

 

 

5. බ්‍රවුනී ෆජ් කුකීස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. දුඹුරු සීනී කෝප්ප 1 1/2
  2. බිත්තර 2
  3. මෙල්ටඩ් බටර් කෝප්ප 1/2
  4. මෙල්ටඩ් කුකින් චොක්ලට් කෝප්ප 1/2
  5. වැනිලා තේ හැඳි 1
  6. පාන්පිටි කෝප්ප 1
  7. බේකින් සෝඩා තේ හැඳි 1
  8. ලුණු පින්ච් එකක්
  9. චොක්ලට් චිප්ස් (ඩාර්ක් / වයිට්)

 

  • දුඹුරු සීනි වලට බටර් දමා සීනි දියවෙනකම් බීට් කරගන්න. මේකට බිත්තර එකතු කරගෙන බීට් කරන්න.
  • බිත්තර මික්ස් උනාම මෙල්ට් කරගත් චොක්ලට් සහ වැනිලා දාගන්න.
  • පාන්පිටි වලට ලුණු, බේකින් සෝඩා මිශ්‍ර කරගන්න. ඒක බිත්තර මික්ස් එකට එකතු කරල හොඳින් කලවම් කරගෙන අන්තිමට චොක්ලට් චිප්ස් එකතු කරගන්න.
  • දැන් මේක විනාඩි 15ක් වගේ ෆ්‍රිජ් එකේ තියාගන්න. 
  • බේකින් ට්‍රේ එකකට බටර් ටිකක් ගාලා තැන් තැන් වලින් මිශ්‍රණය තියාගෙන විනාඩි 15ක් 180°Cට බේක් කරගන්න.

 

6. ඔරියෝ ඇන්ඩ් ක්‍රීම් චීස් කුකීස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ක්‍රීම් චීස් කෝප්ප 1
  2. බටර් කෝප්ප 1/2
  3. සීනි කෝප්ප 3/4
  4. පාන්පිටි කෝප්ප 1
  5. කෑලි කරගත් ඔරියෝ කෝප්ප 1

 

  • ක්‍රීම් චීස්, බටර් හා සීනි බීට් කරගන්න. මේකට පාන්පිටි සහ ඔරියෝ ටික දාගෙන හොඳට කලවම් කරගන්න.
  • විනාඩි 15ක් ෆ්‍රිජ් එකේ දාල අරගෙන, බටර් ගාගත් තැටියක කුකී හැඩේට දාගෙන 180°C ට විනාඩි 15ක් බේක් කරගන්න.

 

7. ගී කුකීස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි ග්‍රෑම් 200
  2. ගී මේස හැඳි 4
  3. අයිසින් ෂුගර් ග්‍රෑම් 80
  4. කිරි මේස හැඳි 2
  5. මුද්දරස්පලම් ටිකක්

 

  • අයිසින් ෂුගර් හා පාන්පිටි එක්කර ගී ඔයිල් වලින් අනාගන්න. කිරි ටික ටික එකතු කරගෙන අතේ නොඅලෙන පදමට ඩෝ එක හදාගන්න.
  • දැන් පොඩි බෝල හදලා තුනී කරලා මැදට මුද්දරස්පලම් එක ගානෙ තියලා බටර් ගාගත් ට්‍රේ එකක තියලා 180°C ට විනාඩි 12ක් බේක් කරගන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *