කුස්සියේම වවාගන්න පුළුවන් ආහාර රසකාරක කොළ වර්ග 5ක්

සමහර සමහර කෑම ජාති හදන කොට ඔය කොත්තමල්ලි කොළ ටිකක්, ළූණු කොළ ටිකක් එහෙම තිබ්බ නම් හොඳයි කියල හිතෙනවනෙ. හැබැයි මේ සමහර කොළ වර්ග ගෙනල්ල ෆ්‍රිජ් එකේ උනත් වැඩි දවසක් තියාගන්න බැහැ. ඉක්මණින් නරක් වෙන්න බලනව. ලොකු ප්‍රමාණ ඕන නොවෙන මේ කොළ වර්ග අපිට ගෙදරම වවාගන්න පුළුවන් නම් හොඳයි නේද? අද ලයිෆි අපි කියල දෙන්න හදන්නෙ සරලව එහෙම ගෙදරම වවාගන්න පුළුවන් කොළ වර්ග 5ක්.

 

සැලකිලිමත් විය යුතු කරුණු

 

ආලෝකය

 

මේ පුංචි පුංචි පැල නම් කුස්සියේම අපිට වවාගන්න පුළුවන්. කුස්සියේ ආලෝකය ලැබෙන ජනේලයක් අසල තමා සුදුසුම. මහල් නිවසක නම් බැල්කනියක වගේ හදාගන්න පුළුවන්. ගොළුබෙල්ලන් වගේ සත්තුන්ගෙන් වෙන්න පුළුවන් හානිය නැතිකරගන්න මේ වගේ පැල එළිමහන් වගාබිමක නැතුව නිවස තුළම වවාගන්න එක තමා හොඳ.

 

පාවිච්චි කරන්න පුළුවන් බඳුන්

 

පොඩි පෝච්චි, අයිස්ක්‍රීම් පෙට්ටි, හරස් අතට කපාගත් ප්ලාස්ටික් බෝතල් වගේ ඉවතලන ප්ලාස්ටික් බඳුන් වල මේ පැල හදාගන්න පුළුවන්. අවශ්‍ය පරිදි සිදුරු කරගෙන අමතර ජලය බැස යන විදියට ට්‍රේ එකක් මත තබාගන්න.

 

පස සකසා ගැනීම

වැලි:පස්:කොම්පෝස්ට් 1:1:1 අනුපාතයට මිශ්‍ර කරගන්න. පස් අව්වේ වියලා පෙනේරයකින් හලාගෙන ගන්නව නම් හොඳයි. 

 

වතුර දැමීම

ස්ප්‍රේ බොට්ල් එකකින් වතුර දමන්න. අවශ්‍ය නම් විතරක් මේ වතුරටම දියර පොහොර එකතු කරගන්නත් පුළුවන්. ලොකු අස්වැන්නක් ගන්න වගාවක් නොවෙන නිසා පොහොර යෙදීම අත්‍යාවශ්‍ය කරුණක් නම් නෙවෙයි.

 

අස්වැන්න ලබාගැනීම

එදිනෙදා භාවිතයට ලබාගන්න කොළ වර්ග නිසා නිතර කඩාගැනීමෙන් නැවත දළුලන ඉඩ වැඩියි. මුලත් එක්කම මේ පැල ගලවා ගන්නවා නම් සතියකට වරක් බැගින් තවාන් සකසා ගන්න.

 

1. කොත්තමල්ලි කොළ (Cilantro)

කොත්තමල්ලි ඇට මිටක් සාමාන්‍ය ඇල් වතුරෙ රැයක් පෙඟෙන්න තියන්න. ඉහත උපදෙස් පරිදි සකසා ගත් බඳුනක ඇට විසුරුවලා උඩින් තුනී පස් තට්ටුවක් විසුරුවල වතුර ස්ප්‍රේ කරගන්න. සතියකින් විතර පැල එන්න පටන් ගන්නව. සම්පූර්ණයෙන් වැඩුණු ගසක් සති 7කින් විතර ලබාගන්න පුළුවන්. සාමාන්‍ය භාවිතයට කොළ සති 4න් විතර ගන්න පුළුවන්. ගෙදර තියෙන සාමාන්‍ය කොත්තමල්ලි සාර්ථක නෑ කියල හිතෙනව නම් පැල තවානකින් ඇට ලබාගන්න.

 

2. උළුහාල් පැල (Dill)

උළුහාල් ඇට රැයක් පෙඟෙන්න තියාගත් උළුහාල් ඇට තෙත ටිශූ එකක් දමා ගත් බඳුනක තුනී කර ඉර එළිය කෙලින්ම නොවැටෙන තැනක දින දෙක තුනක් තියන්න. ටිශූ එකේ තෙත වියලෙන්න නොදී නිතර වතුර ඉසගන්න. බීජ වලින් පැල එන කොට පෙර පරිදි සකසා ගත් පසේ පැල කරගන්න. සතියක් පමණ වැඩුණු උළුහාල් පැල සලාදයට, කරියට යොදාගන්න පුළුවන්.

 

3. ළූණු කොළ (Spring Onion)

ප්ලාස්ටික් බෝතලයක වටේම තැන තැන සිදුරු සාදාගන්න. එයට සකසාගත් පස් පුරවා ගන්න. සිදුරු වලට රතුළූණු ගෙඩි වල මුල් සහිත කොටස පසට සිටින සේ ඇතුල් කරගන්න (රූපයේ පරිදි). වතුර ස්ප්‍රේ කර ආලෝකය ලැබෙන ස්ථානයක තබන්න. සති 8කින් පමණ වැඩුණු ළූණු කොළ ලබාගන්න පුළුවන්. කොළ විතරක් කපා ඉවත් කරගත් විට නැවත එම ළූණු අලයම වැවෙන්න තියන්නත් පුළුවන්. මේ ආකාරයටම සුදුළූණුත් පැල කරගන්න පුළුවන්.

 

4. මුං පැල (Mung Bean Sprouts)

මුං ඇට රැයක් පෙඟෙන්න තියාගන්න. උළුහාල් වල පරිදිම ටිශූ එකක් දමාගත් බඳුනක දින තුන හතරක් පැල වෙන්න ඇර පසේ පැල කරගන්න. සතියකින් පමණ පියළි බෙදී දළු එන විට ආහාරයට එක් කරගන්න.  

 

5. මිංචි කොළ (Mint Laves)

අපි කඩෙන් ගේන මිංචි පැල වල මුල් කොටස සමඟ කඳෙන් අඟල් දෙකක විතර ප්‍රමාණයක් කොළ දෙක තුනක් එක්ක ඉහත සකස් කළ පසේ සිටවා මිංචි පැල පහසුවෙන්ම හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් පැල තවානකින් මිංචි ඇට ලබාගෙන පැල හදාගන්නත් පුළුවන්. හොඳින් හිරු එළිය ලැබිය යුතු පැලයක්. ඒ වගේම නිසි පරිදි වතුර යෙදීමත් කළ යුතුයි.