කොයි තරම් ලව් එකේ පවුල් කෑවත්, වයිෆ්ට නොකියා සිටිය යුතු දේවල් මෙන්න මේවා තමයි!

දැන් අපි කියමුකෝ දෙන්නෙක් ඉන්නවා. කීමට කියන්නේ රන් රස සේ එක් වෙනවා කියලා. ආන්න එහෙම ඉන්න කපල් එකක්. දෙන්නා පණට පණ ආදරෙයි. දැන් ඔහොම ඉන්න ආදර්ශමත් අඹු සැමි යුවළක් කියන්නේ, හැමදේම දෙන්නට දෙන්නා කියාගෙන ඉන්න ඕන කියලද හිතන්නේ? ආන්න පවුල් ජීවිතේ අවුල් වෙන්න පුළුවන් තැනක්. ඇත්තටම අඹු සැමියෝ අතර සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේ සම්බන්ධයෙන් හරි, තමන්ගේ ජීවිතේ තියෙන අනික් මානව සම්බන්ධතා පිළිබඳව හරි රහස් තියෙන්න විදියක් නෑ. එහෙම රහස් තියෙනවා කියන්නේම පවුල් ජීවිතේ අවුල් වෙන්න පුළුවන් කියන එක. 

හැබැයි ඒ වගේම සමහර රහස් තියෙනවා වයිෆ්ට කියන්න හොඳ නැති. මේක අනෙක් පැත්තට, හස්බන්ඩ්ට කියන්න හොඳ නැති රහස් කියලත් ගන්න පුළුවන්. මේ සමහර එව්වා ඇත්තටම රහස් නෙවෙයි. කියන කාරණාවක නොකිය යුතු කොටසක්. ආන්න ඒ දේවල් මොනවද කියලා වඩාත් පැහැදිලි වෙයි තව දිගට කියවගෙන යනකොට!

 

1. පරණ කෑල්ලගෙ වරුණාව

ඔන්න දවසක් අහම්බෙන් පරණ ගෑණු ළමයාව මුණගැහෙනවා. ලව් එක නතර වුනාට ආයෙ ගෑණු ළමයගේ පර්ල් වරායට අපි බෝම්බ දැම්මෙ නෑනේ. ඒ නිසා දෙන්නා බොහොම සුහදව කතාබස් කරනවා. එයාටත් සතුටුයි, ඔයාටත් සතුටුයි. මොනවා වුනත් දෙන්නගේ ඉතිහාසයක් තියෙනවනේ. ඉතින් කතා බහ කරලා, විස්තර හුවමාරු කරගෙන දෙන්නා වෙන් වෙලා යනවා. ඔයා ඉතින් ඔය සතුටු මූඩ් එකේම ගෙදර ඇවිල්ලා, වයිෆ්ට ඕක කියන්න ඕනද නැද්ද? අනිවාර්යයෙන්ම කියන්න ඕන. එතකොට කියන්න ඕන නැත්තේ මොකද්ද? “අර සුරංගි හම්බුණානේ අද. ෂා, තවත් ලස්සන වෙලා. දැන් එයා අහවල් කොම්පැණියේ ඩිරෙක්ටර් කෙනෙක්ලු. කොහොමත් ඉස්සර ඉඳලම සුරංගි වැඩකට අත ගැහුවොත් ආයෙ අහන්න බලන්න දෙයක් නෑ” ඔන්න ඔය වගේ සුරංගිගේ පම්පෝරිය වයිෆ් ඉස්සරහ දිග අරිනවා නම්, පවුල් ජීවිතේ සෞඛ්‍ය තත්වය ගැන අපිට වග කියන්න බෑ!

කියන්න ඕන මෙච්චරයි. “අද සුරංගි මුණගැසුනේය. සුහදව කථා බස් කොට, අපි වෙන් වුණෙමු. මගේ ලස්සන වයිෆ් ගැනද අපි එයාට කීවෙමු.” ඔච්චරයි! අනික් ටික රහස්!

 

2. යාලුවාගේ අති පුද්ගලික ප්‍රශ්න

අපි ඕනම කෙනෙක්ට අපේ යාලුවෝ ඉන්නවා. කසාද බැන්ද උදවියටත් තමන්ගේ යාලුවෝ, වයිෆ්ගේ හරි හස්බන්ඩ්ගේ යාලුවෝ සහ අපේ යාලුවෝ ඉන්නවා. දැන් ඔතනින් වයිෆ්ගේ හරි හස්බන්ඩ්ගේ යාලුවෝ හරි අපේ යාලුවෝ -ඒ කිව්වේ දෙන්නගෙන යාලුවෝ- හරි මොකක් හරි පුද්ගලික ප්‍රශ්නයක් අරගෙන ඇවිත් අපිත් එක්ක කිවුවොත්, ඒක වයිෆ් එක්ක හරි හස්බන්ඩ් එක්ක හරි කියන එකේ ප්‍රශ්නයක් නෑ. විශේෂයෙන්ම අනික් කෙනාගේ යාලුවෙක් අපිත් එක්ක එහෙම ප්‍රශ්නයක් කියනවා නම්, අපිට ඒ කෙනාට කාරුණිකව පැහැදිලි කරලා දෙන්න වෙනවා, වයිෆ්ට ඕක කියන්න වෙනවාය කියන එක. හැබැයි අපේ යාලුවෙක් අති පුද්ගලික ප්‍රශ්නයක් කියනවා නම්, ඒක වයිෆ් එක්ක ෂෙයාර් කරන්න යන්න ඕන නෑ. මොකද ඒක තවත් කෙනෙක්ගේ පුද්ගලිකත්වය සම්බන්ධ දෙයක් නිසා.

 

3. ඉස්සර සෙක්ස් ලයිෆ් එක

බඳින්න කලින් කෙල්ලෙක්ගේ අතකින්වත් අල්ලලා නැති හාදයෙක්ට නම් මේක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි බඳින්න කලින් සෙක්ස් ලයිෆ් එකක් තිබ්බ හාදයෙක් නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන තමන් කියන්නේ නොකියන්නේ මොනවා ගැනද කියන එක ගැන. සාමාන්‍යයෙන් ගෑණු ළමයෙක් කැමති වෙන්නෙ නෑ තමන්ගේ හස්බන්ඩ්ගේ පරණ පෙම්වතියෝ ගැන දැනගත්තත්, හස්බන්ඩ් පරණ පෙම්වතියෝ එක්ක සෙක්ස් කළේ කොහොමද කියලා දැනගන්න. අනිත් කාරණාව, තමන් කලින් ගෑණු ළමයි එක්ක සෙක්ස් කරපු හැටි, ඒ අය ඇඳේදී කොයි තරම් හොඳයිද නරකයිද වගේ කරුණු කාරණා වයිෆ් එක්ක සාකච්ඡා කරන එකෙන්, වයිෆ්ට තමන් ගැන අනාරක්ෂිත හැඟීම් දැනෙන්න පුලුවන්. “එයාට මාව හොඳයිද, එයාට මාව ඇතිද” වගේ ප්‍රශ්න ඔලුවට එන්න පුළුවන්. අන්න ඒ නිසා තමන්ගේ පරණ සෙක්ස් ලයිෆ් එක ගැන වයිෆ් එක්ක කතා කරන එකෙන් වළකින එක හොඳයි. ඒක අනික් පැත්තටත් එහෙමයි. වයිෆ් කෙනෙක් වුනත් තමන්ගේ පරණ සෙක්ස් ලයිෆ් එක ගැන හස්බන්ඩ්ට විස්තර විචාර නොදී ඉන්න එක වඩා හොඳයි.

 

4. තමන්ගේ පවුලේ අය හෝ හිතමිතුරෝ වයිෆ්ගේ දකින වැරදි

සමහර වෙලාවට අපි ෆුල් ලව් එකේ ඉන්නවා වුනත්, අපේ පවුලේ සාමාජිකයෙක් හරි යාලුවෙක් හරි අපේ වයිෆ්ට කැමති නැති වෙන්න පුළුවන්. වයිෆ්ගේ මොකක් හරි දෙයක් අඩුපාඩුවක් විදියට දකිනවා හරි, වැරැද්දක් විදියට දකිනවා හරි වෙන්න පුළුවන්. ආන්න එහෙම අවස්ථාවක කරන්න ඕන දේ දුවලා ගිහින් ඒක වයිෆ්ට කියන එක නෙවෙයි. ඒකෙන් සම්බන්ධතා බිඳ වැටීම වගේම වයිෆ්ගේ හිත කැඩෙන එකත් වෙන්න පුලුවන්. අන්න ඒ නිසා කරන්න තියෙන්නේ මෙච්චරයි. මුලින් හිතලා බලන්න වයිෆ්ගේ වැරැද්දක් හෝ අඩුපාඩුවක් විදියට අපිට සමීප වෙනත් කෙනෙක් දකින දේ ඇත්තටම වැරැද්දක් හෝ අඩුපාඩුවක්ද කියලා. එහෙමනම් ඒක ඔයා දකින දෙයක් විදියට හෙමිහිට වයිෆ්ට කියලා හදාගන්න පුළුවන්. දැන් ඒ වැරැද්ද හෝ අඩුපාඩුව දකින කෙනාට පැහැදිලි කරලා දෙන්න, “මෙයා මගේ වයිෆ්‍ ය, ඔයා එයාට අකමැති එකට මට කරන්න දෙයක් නැහැය” කියන එක. 

 

5. වයිෆ්ගේ පවුලේ අයගේ තමන් දකින වැරදි

මේක නම් බොහොම සුලභව වෙන්න පුළුවන් දෙයක්. අපිට හැමෝම හිතට අල්ලන්නෙ නැහැනේ. ඔන්න වයිෆ්ගේ පවුලේ අය අතරේ හරි යාලුවෝ අතරේ හරි ඉන්න පුළුවන් අපිට අල්ලන්නෙ නැති ඩයල් එකක්. අපිට ඒ කෙනාගේ වැරදි අඩුපාඩු පේන්න පුළුවන්. හැබැයි දෙයියන්ගෙ නාමෙට ඕක ගිහින් වයිෆ්ට කියන්නවත්, ඒ ගැන කියලා වයිෆ් ඉන්න තැන විහිළු කරන්න යන්නවත් එපා. මුලින්ම අපිට පුළුවන් වෙන්න ඕන අපිට අල්ලන්නෙ නැති කෙනා එක්ක වුනත් සිවිල් සම්බන්ධතාවයක් තියාගන්න. එතනින් එහාට එහෙම අවුලක් තියෙනවා කියන එක අමතක කරලා දාන්න. එච්චරයි.

 

6. තමන්ට ක්‍රෂ් වෙන කට්ටිය

මෙන්න මේක ගොඩක් දෙනෙක් ප්‍රශ්නයක් විදියට නොදකින, හැබැයි ප්‍රශ්න ඇති කරන්න පුළුවන් කාරණාවක්. දැන් හිතන්න, අපිට කවුරුහරි කෙනෙක් ක්‍රෂ් වෙනවා. බැඳලා හිටියත් ඔව්වා තියෙනවනේ. අන්න එතකොට අපි යහපත් ස්වාමිපුරුෂයෙක් විදියට වයිෆ්ට කියනවා “අල්ලපු ගෙදර නංගි මට ක්‍රෂ් වගේ” කියලා. එතකොට වයිෆ් කූල් චරිතයක් නම් ඕක හිනාවෙලා අමතක කරලා දායි. දැඩි බීසනෙන් ඉන්න වයිෆ් චරිතයක් නම් අල්ලපු ගෙදර නංගි දකින දකින වෙලාවට රවන්න පටන් ගනී. ආන්න ඒ නිසා ඔය වගේ දෙයක් වයිෆ්ගේ චරිතය අනුව රහසක් විදියට තියාගෙන ඉන්නවද නැද්ද කියලා හිතන්න වෙනවා. අනික් අතට, අපි කියමු ඔෆිස් එකේ සෙක්‍රටරි නංගි අපිට ක්‍රෂ් කියලා කෙලින්ම කියනවා කියලා. ඒ වගේ එකක් වයිෆ්ට කියන එක ඒ තරම් ඇඟට ගුණ නෑ. මොකද අපි ඒක ෂේප් එකේ ප්‍රතික්ෂේප කරලා බැලන්ස් කළත්, අපිට සෙක්‍රටරි එක්ක දිගටම කාර්යාලීය සම්බන්ධතාවය තියාගන්න වෙනවා. හැබැයි කූල් මූඩ් එකක් නැති වයිෆ් කෙනෙක් එක්ක ඕක කියන එකෙන් වෙන්නේ අනවශ්‍ය සැක සංකා ඔලුවට එන එක විතරයි.

 

7. ඔෆිස් එකේ සංවේදී කරුණු

මෙන්න මේක බොහොම වැදගත් කරුණක්. සාමාන්‍යයෙන් අපි රස්සාවකට යනකොට අත්සන් කරන ගිවිසුමේ සඳහන් වෙනවා, ආයතන රහස් පිටට දෙන්නෙ නැහැයි කියලා. මෙතනදී ආයතන රහස් කියන දේවල් බොහොම සාමාන්‍ය කාරණා කියලා බැලූ බැල්මට පේන ඒවා වෙන්නත් පුලුවන්. තවත් සමහර දේවල් අපි ටක්කෙටම දන්නවා ආයතන රහස් කියලා. මේ කෝක වුනත් ගෙදර වයිෆ්ගෙන් හංගන්න ඕනැද? ඇත්තටම තමන්ගේ රාජකාරි කටයුතු වයිෆ්ගෙන් හංගන්න ඕන නෑ. විශේෂයෙන්ම ඔය ගෙදර ඉඳන් වැඩ කරන කෙනෙක්ට එහෙම නම් එහෙම රාජකාරී කරුණු හංගන්නත් අමාරුයි. හැබැයි ඉතින් ඕකේ සීමාව දැනගන්න ඕන. සමහර කරුණු තියෙනවා තමන් සහ අදාළ ආයතන බලධාරීන් අතර ඇරෙන්න තුන්වැනියෙක් එක්ක කිසිසේත්ම සාකච්ඡා නොවිය යුතු. අන්න ඒවා තමයි නියම ආයතන රහස්. ඒවා වයිෆ්ට වත් නොකියා ඉන්න එකයි හොඳ. රස්සාව ගෙදර කතාබහෙන් බැහැර කරලා තිබ්බහම වැඩේ ලේසියි.

 

ඇත්තටම මෙතනදී වටහා ගන්න ඕන වැදගත්ම කාරණාවක් තියෙනවා. විවාහ ජීවිතේ ඇතුළේ තමන්ගේ වයිෆ්ගෙන් හෝ හස්බන්ඩ්ගෙන් යම් යම් කාරණාවන් වසං කරලා තියාගන්නවා කියන්නේ, ඒ අයට හොර කරනවා කියන එක, චීට් කරනවා කියන එක නෙවෙයි. සරල කාරණාව මේකයි. විවාහ වෙලා කුරුළු ජෝඩුව වගේ ජීවත් වෙන්න වුනත් එකිනෙකාට තමන්ගේ පුද්ගලික අවකාශයකුත් තියෙන්න ඕන. එච්චරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *