නැපෝලියන් අධිරාජයා ගැන අප්‍රකට කතා

 සියවස් ගණනාවක් ලෝකයේ අනිත් රටවල් වගේම යුරෝපයේත් රටක් පාලනය කරන්න ලැබුණේ පාරම්පරිකව ලැබුණු රාජ උරුමය නිසා. හැබැයි ප්‍රංශ විප්ලවය එක්ක මේ තත්ත්වය උඩු යටිකුරු වෙනවා. එම විප්ලවයෙන් පස්සේ ප්‍රංශයට රජ කෙනෙක් අවශ්‍ය වෙන්නේ නෑ. හිටපු රජ්ජුරුවන්වත් ගිලටීනයට යවන්න ප්‍රංශ වැසියෝ කටයුතු කරනවා. හැබැයි ප්‍රංශ විප්ලවයත් එක්ක එක්තරා පුද්ගලයෙක් තමන්ගෙම ගමනක් පටන් ගන්නවා. ඒ තමයි නැපෝලියන් බොනපාට්. ප්‍රංශ  විප්ලවය සමඟ කෙමෙන් කරළියට ආපු නැපෝලියන්, අවසානයේදී ප්‍රංශයේ අධිරාජ්‍යයා බවට පත්වෙනවා. ඒ වගේම යුරෝපය පුරාවටම ප්‍රංශයේ ආධිපත්‍ය පතුරුවන්න සමත් වෙනවා. නැපෝලියන් කියන්නේ විචිත්‍රවත් චරිතයක්. අපි අද ඒ චරිතය හා සම්බන්ධ අප්‍රකට කතා කීපයක් ගැන දැනගමු .

 

1. දූපතක ඉපදී දූපතක මිය ගිය මිනිසා

 කලින් අපි තියපු සටහනක නැපෝලියන් බොනපාට් ඉපදුනේ මොන දූපතේ ද කියලා සඳහන් කරලා තිබ්බා. ඒ වගේම ඔහු ප්‍රංශ ජාතිකයෙක් වුණු විදිහත් විස්තර කරලා තිබ්බා. ඒ නිසා අපි ඒ ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. 

වෙනත් රටක ප්‍රධානියා බවට පත් වුණු විදේශිකයෝ ගැන මෙතනින් කියවන්න!

දෛවයේ සරදමකට වගේ අවසානයේදී නැපෝලියන්ට පරාජයෙන් පස්සේ පිටුවහල්වෙලා යන්න සිද්ධ වෙන්නෙත් තවත් දූපතකට. ඒ ශාන්ත හෙලේනාවට. ශාන්ත හෙලේනාව අප්‍රිකා මහද්වීපයේ දූපතක් වුණාට එය තවමත් පාලනය කරන්නෙ එක්සත් රාජධානියෙන්.

 

2. නැපෝලියන්  බිහිවීමට සිටින විට මවට ඇතිවුණු දොළදුක

 ‍ප්‍රංශ ජාතිකයන් අතර සුප්‍රසිද්ධ කතාවක් තියෙනවා නැපෝලියන්ගේ මව වුණු ලැටීෂියා හට ඇතිවුණා කියලා කියන දොළදුකක් ගැන. ඒ තමයි ලෝකයේ පවතින සියලුම රටවල් ගෙත්තමකට නගන එක. නැපෝලියන් බිහිවෙන අවස්ථාවේදී මේ ගෙත්තම සම්පූර්ණ වෙලා තිබ්බේ නෑලු. එතකොට තිබ්බෙ නැපෝලියන් පස්සෙ කාලෙක යටත් කරන ලද යුරෝපා රටවල්ලු. නැපෝලියන් බිහිවුණේ මේ ගෙත්තම මත කියලත් කතාවක් තියෙනවා. නමුත් ජීවතුන් අතර ඉන්දැද්දිම ලැටීෂියා මේ කතාව ප්‍රතික්ෂේප කළා. නමුත් ඒ කතාවේ තියෙන විචිත්‍රවත් ගතිය හින්දද මන්දා තාමත් බොහෝ දෙනෙක් මේ කතාව විශ්වාස කරන්න කැමතියි.

 

3. නැපෝලියන්ගේ නිදන කාමරයට ආපු සුප්‍රකට කාන්තාව

 නැපෝලියන් කියන්නේ  දක්ෂ රණශූරයෙක් වගේම උසස් රසඥතාවයක් තිබ්බ කෙනෙක්. මේ නිසා මුළු ජීවිත කාලය පුරාම ඔහු කලා නිර්මාණ වලට දැඩි ආශාවක් දැක්වූවා. මේ නිසා බොහෝ රටවල් ආක්‍රමණය කරද්දී ඒ රටවල කලා නිර්මාණ  ප්‍රංශයට ගෙන එන්න කටයුතු කළා. (හරියටම කිව්වොත් ඉතින් කොල්ල කෑවා) හැබැයි මේ කියන්න යන්නේ කොල්ලකාපු කලා නිර්මාණයක් ගැන නම් නෙමේ. ඒ වෙනකොට ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ තිබ්බ සුප්‍රකට සිතුවමක් නැපෝලියන් තමන්ගේ නිදන කාමරය අලංකාර කරන්න යොදා ගත්තා. ඒ තමයි “මොනාලිසා”. නැපෝලියන්ගේ ඇදවැටීමෙන් පස්සේ තමයි නැවතත් මොනාලිසා තමන්ගේ පුරුදු නවාතැන වුණු ලූවර් කෞතුකාගාරය වෙත ආවේ.

 

4. අමුතු  විවාහ

 ලෝකයේ සුප්‍රකට ආදර අන්දර අතර නැපෝලියන් සහ ජොසපින් අතර තිබුණු ආදරයට ප්‍රධාන තැනක් ලැබෙනවා. නමුත් විශේෂත්වය තියෙන්නේ මේ සම්බන්ධතාවය සීයට සීයක් අවංකව වුණේ නැහැ. දෙදෙනාටම වෙනත්  සම්බන්ධතා තිබ්බා. නමුත් ඒ කොහොම වුණත් දෙදෙනාම දෙදෙනාට දැඩිව ආදරය කළා. දෙදෙනාම මිය යන අවස්ථාවේදී අනෙක් කෙනාගේ නම අවසාන වචනය වශයෙන් කිව්වා කියල විශ්වාස කෙරෙනවා. නැපෝලියන් බොනපාට් හා විවාහ වෙද්දී ජොසපින් දරුවන් දෙදෙනෙක් සිටි මවක්. ඒ දරුවන්  දෙදෙනාටත් නැපෝලියන් දැඩි ලෙස ආදරය කළා. මේ නිසාම ජෝසපින්ගේ දියණිය වුණු හර්ටෙන්ස්ව නැපෝලියන්ගේ තවත් සහෝදරයෙකු වුණු ලුයිස් බොනපාට්ට විවාහ කරලා දෙන්න නැපෝලියන් කටයුතු කළා.

 

5. තමන්ටම කිරුළු පැළඳ ගත්ත නැපෝලියන් 

ප්‍රංශයේ අධිරාජයා විදිහට නැපෝලියන්ව අභිෂේක ගන්වන උත්සවයට එවකට සිටි පාප්වහන්සේ වන හත්වැනි පියුස් පාප් වහන්සේ වැඩම කළා. බොහෝ දෙනෙක් හිතන්නේ එම අවස්ථාවේදී නැපෝලියන් පාප්වහන්සේගෙන් කිරුළ උදුරාගෙන තමන්ම තමන්ට කිරුළ  පළන්ද ගත්තා කියලා. එහෙම උදුරා ගැනීමක් නම් සිදු වුණේ නැහැ. කලින් ඇතිකරගත් එකඟතාවයක් මත නැපෝලියන්ගේ කිරුළ සහ වෙනත් රාජකීය ආභරණවලට පාප්වහන්සේ ආශීර්වාද ගන්වනු ලැබුවා. ඉන් අනතුරුව නැපෝලියන් පළමුව කිරුළ තමන්ටම පළඳවා ගෙන අනතුරුව ජොසපින් හට කිරුළ පළඳවනු ලැබුවා.

 

6. නැපෝලියන් කියන තරම් මිටියිද? 

බොහෝ දෙනෙක් හිතන දෙයක් තමයි, නැපෝලියන් බොනපාට් කියන්නේ ඉතාමත් මිටි පුද්ගලයෙක් කියලා. ඒ කතාව පදනමක් නැති කතාවක්. නැපෝලියන්ට තිබ්බ උස ඒ දවස්වල සාමාන්‍ය යුරෝපීයයෙකුගේ උසමයි. මේ කතාව ඇතිවෙන්න එක හේතුවක් තමයි නැපෝලියන් මිය ගියාට පස්සේ  ඔහුගේ මරණ පරීක්ෂණය සිදු කරපු වෛද්‍යවරයා තබපු සටහන. ඔහුගේ සටහනේ සඳහන් වෙලා තිබ්බේ ප්‍රංශයේ පැවති ක්‍රමය අනුව නැපෝලියන්ගේ උස අඩි පහයි අඟල් දෙකයි කියලා. නමුත් සාමාන්‍යයෙන් අපි භාවිතා කරන වර්තමාන මිනුම් ක්‍රමය අනුව නැපෝලියන්ගේ උස අඩි 5යි අඟල් හයාමාරයි.

 

7. නැපෝලියන් මියගියේ වස දීලාද?

සියවස් කීපයක් තිස්සේ බොහෝ දෙනෙක් විශ්වාස කළේ නැපෝලියන් බොනපාට් මියගියේ බ්‍රිතාන්‍ය කුමන්ත්‍රණයකින් කියලා. ඒ සඳහා ඒ අය එක සාක්කියක් දුන්නා, ඒ තමයි නැපෝලියන්ගේ හිසකෙස්වල අඩංගු වෙලා තිබ්බ ආසනික් ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගත්තා කියලා. නමුත් පස්සෙ කාලෙකදී පර්යේෂණ මගින් ඔප්පු වුණේ ආසනික් ප්‍රමාණය හිසකෙස් වල අඩංගු වුණේ නැපෝලියන් භාවිතා කරපු ඩයි වර්ග හේතුවෙන් කියලා. අද වෙනකොට නැපෝලියන් මියගියේ උදරයේ ඇතිවුණු පිළිකාවකින් කියලා තහවුරු වෙලා තියෙනවා.

 

 එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන එක නම් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. මේ ආටිකල් එකට ඔබෙන් ලැබෙන ප්‍රතිචාර මත නැපෝලියන් ගැන තවත් ආටිකල් ඔබට කියවන්න ලැබේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *