නව කොරෝනා වෛරසයත් එක්ක ඇතිවෙන කොවිඩ්-19 රෝගය වසංගතයක් විදියට පැතිර යෑම නිසා මේ වෙනකොට ලෝකයේ හැම රටක්ම පාහේ පුළුවන් තරම් ගෙවල් වල ඉඳලා රාජකාරි වැඩ කරන්න කියලා මිනිස්සුන්ට කියනවා. අපිට නිකමට හිතන්න පුළුවන්, කොවිඩ්-19 පරාද කළාට පස්සේ වුනත් ගොඩක් වෙලාවට වර්කින් ෆ්‍රොම් හෝම් නැතිනම් ගෙදර ඉඳන් සේවා කටයුතු කිරීමේ රැල්ලක් ඇතිවෙයිදෝ කියලත්. ඇත්ත, හැම රැකියාවකටම මේක අදාළ කරගන්න බැහැ. හැබැයි ගෙදර ඉඳන් වැඩ කරන එක ප්‍රායෝගිකව වඩාත් සාර්ථක රැකියාවන් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. හැබැයි එකක්. ගෙදර ඉඳලා වැඩ කරනවා නම් එකක් හොඳ වෘත්තීය හික්මීමක් සහ විනයක් තියෙන්න ඕන. දෙක, කාර්යක්ෂමතාවය උපරිම මට්ටමක පවත්වා ගන්න පුළුවන් විදියේ හොඳ කාර්යාලයක්, හෝම් ඔෆිස් එකක් තියෙන්න ඕන. අද අපි කියන්න යන්නේ එහෙම හෝම් ඔෆිස් එකකට වැදගත් සහ අවශ්‍යම වෙන දේවල් කිහිපයක් ගැන තමයි.
1. තමන්ට ගැලපෙන මේසයක් හෝ දෙකක්, පුටුවක්
මේසයක් සහ පුටුවක් කියන එක ඉතින් කොහොමත් දන්න දෙයක්නේ. හැබැයි එකක්. මේසයක් සහ පුටුවක් තෝරගන්න කොට හිතන්න ඕන තමන්ට වඩාත්ම පහසුවෙන් වැඩ කරන්න පුළුවන් වෙන විදියටද ඒවා හදල තියෙන්නෙ කියලා. උදාහරණයක් විදියට ගත්තොත්, තමන්ට වැඩ කරන්න පුළුවන් විදියට උස ඇජස් කරගත්තට පස්සේ සමහරුන්ට කකුල තියාගන්න තැනක් නෑ. ඒක ගොඩක් වෙලා වාඩි වෙලා වැඩ කරනකොට හිරිහැරයක්. අනික පුටුවක් වුනත් තෝරගන්නකොට අර උස එක්සෙකටිව් කැරකෙන පුටුවක් තෝරගන්න එක හොඳයි අපි හිතන්නේ.
දැන් මේස දෙකක් ඇයි? හේතුවක් තියෙනවා. සමහරුන්ගේ වෘත්තියේ හැටියට ඒ අයට පරිගණකයක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා වගේම ලියන කියන වැඩ කරන්නත් සිද්ධ වෙන්න පුළුවන්. අන්න එතකොට පරිගණක වැඩ වලට පරිගණක මේසයක් සහ, ලියන කියන වැඩ වලට ලියන මේසයක් තියෙන එක වඩාත් පහසුයි.
ඒ වගේම සලකලා බලන්න පුළුවන් විකල්පයක් තමයි ස්ටෑන්ඩින් ඩෙක්ස් හෙවත් හිටගෙන වැඩ කරන්න පුළුවන් මේසයක්. ඒක වඩාත් සෞඛ්‍ය සම්පන්නයි.
2. ආලෝක ප්‍රභවයන්
ඇත්තටම හොඳ ආලෝක තත්වයක් තිබීම හෝම් ඔෆිස් එකකට අත්‍යාවශ්‍යයි. මේකට නිකම්ම සීඑෆ්එල් හරි එල්ඊඩී හරි බල්බ් දානවට වඩා ඉතාම හොඳයි, ඔය ඔෆිස් වලටම ගැලපෙන විදියට මෘදු, හාත්පස පැතිර යන ආලෝකයක් ලබාදෙන විශේෂ වර්ගයේ බල්බ් දාන එක. දැන් තියෙන සමහර බල්බ් ඇත්තටම ස්මාට් බල්බ්. ඒවායේ ආලෝක උෂ්ණත්වය ස්මාට්ෆෝන් එකෙන් පාලනය කරන්න පුළුවන්. අන්න එතකොට දවසේ එක් එක් කාලයට ඇසට වඩාත් පහසු ආලෝකයක් ලබාගන්න පුළුවන්.
දෙවෙනි කාරණාව, සාමාන්‍ය කාමරේක වගේ ඔලුවට උඩින් සීලිමේ බල්බ් එකක් හයි කරනවා වෙනුවට, විශේෂඥ උපදෙස් ලබාගන්න පුළුවන් හරියටම කාර්යාල කාමරය මෘදු ආලෝකයකින් පිරෙන්න නම් කොයි කොයි තැන්වලටද බල්බ් අවශ්‍ය කියලා. ඒ වගේම ඩෙස්ක් ලෑම්ප් එකක් තියෙන එකත් ප්‍රයෝජනවත් වෙයි.
ඒ එක්කම හැකිතාක් දුරකට ස්වභාවික ආලෝකය, ඒ කියන්නේ ජනෙල් වලින් එන ආලෝකය ඇසට කරදරයක් නැති විදියට කළමනාකරණය කරගන්න පුළුවන් නම් තවත් හොඳයි.
3. අධිවේගී අන්තර්ජාල සබඳතාවක්
දැන් කාලේ ගෙදර ඉඳන් වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දේ තමයි ඉන්ටර්නෙට්. හැබැයි ඒකට ෆෝන් එකෙන් ටෙදර් කරලා ඉන්ටර්නෙට් යන්න, ප්‍රී පේඩ් පැකේජ් දාගෙන ඉන්ටර්නෙට් යන්න වගේ අයිලෙට තියෙන වැඩ හරියන්නෙ නෑ. අත්‍යාවශ්‍යම වෙලාවක ඩේටා ඉවර වුනොත් වැඩ කරන්නෙ නැතුව ඉන්න බැහැනේ. ආන්න ඒ නිසා හොඳම දේ තමයි හොඳ පෝස්ට් පේඩ් පැකේජ් එකක් එක්ක අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබාගන්න එක. ඔය SLT එකේ තියෙන ෆයිබර් ඔප්ටික් ලයින් එකක් වුනත් ඉතාම හොඳයි මේ වැඩේට.
4. වැඩිපුර තිරයක් ඕනෙද?
මේ කාරණාව ඇත්තටම රඳා පවතින්නේ තමන් කරන වැඩ කටයුතු අනුව. ඒ කියන්නේ ඩිසයිනින් කරන කෙනෙක්ට එහෙම වඩා විශාල අමතර පරිගණක තිරයක් එහෙම තියෙනවා නම් හොඳයි. එක්කෝ පරිගණක තිර කීපයක්. අමතර තිරයක් පාවිච්චි කරනවා නම් ඒක තමන්ගේ මේසෙට උඩින් බිත්තියේ සවි කරන්න පුළුවන්. අනෙක් අතට ඔය ලේඛන කටයුතු කරන කෙනෙක්ට වුනත් ඒ වගේ අමතර විශාල තිරයක් තියෙන එක වටිනවා.
5. යූපීඑස්/සර්ජ් ප්‍රොටෙක්ටර් එකක්?
මේකත් ගොඩක් දෙනෙක් නොහිතන, ඒත් ඇත්තටම වැදගත් දෙයක්. මේක වැදගත් වෙන්නේ දෙවිදියකට. එකක් තමයි, ඩෙක්ස්ටොප් පරිගණකයක් එහෙම පාවිච්චි කරනවා නම්, කරන්ට් ගියපු ගමන් මැසිමත් ඕෆ් වෙනවා. එතකොට ඔය ලැප්ටොප් වල වුනත් කාලයත් එක්ක බැටරියේ ආයු කාලය ඉවර වෙලා, බැටරිය වැඩ කරන්නෙ නැතුව යනවා. එතකොට දිගටම කරන්ට් එකට ගහලා තමයි වැඩ කරන්න වෙන්නේ. ඒකත් කරන්ට් ගියපු ගමන් ඕෆ්. එතකොට කර කර හිටපු වැඩ? සේව් නොකර හිටියොත් ඒවත් ඉවරයි තමයි පුතේ. ආන්න ඒ නිසා කෝකටත් හොඳයි UPS (uninterruptible power supply) එකක් ගන්න එක. අන්න එතකොට කරන්ට් ගියත් බය වෙන්න දෙයක් නෑ. අඩු ගාණේ කර කර හිටපු වැඩ ටික සේව් කරගන්නවත් වෙලාව තියෙනවා.
දෙවෙනියට, අපිට අවුරුද්දේ එක කාලෙකට විදුලි කෙටීම්, අකුණු එක්ක තදබල වර්ෂාපතනයක් ලැබෙනවනේ. විශේෂයෙන්ම අකුණු ගැසීම් නිසා ගොඩක් විද්‍යුත් උපකරණ පිච්චෙනවා. හැබැයි ඉතින් අකුණු ගහනවා කියලා වැඩ නවත්තන්නත් බැරි අවස්ථා එන්න පුලුවන්. අන්න ඒ නිසා කෝකටත් හොඳයි, Surge Protection තියෙන UPS එකක්ම ගන්න එක.
6. ෆයිල් කබඩ් එකක්
මෙන්න මේක අනිවාර්ය දෙයක්. ඇයි? ගෙදර ඔෆිස් එකක් හදනවා කියන්නේ අනිවාර්යයෙන්ම ලිපිලේඛන, විවිධ ගොනු අරවා මේවා ගොඩ ගැහෙනවා කියන එක. ගොඩක් දෙනෙක් කරන්නේ මෙව්වා මේසේ උඩ තියාගෙන ඉන්න එකනේ. හැබැයි ඒකෙන් වෙන්නේ වැඩ කරන්න පුළුවන් විදියට හදාගත්තු වටපිටාව නාස්ති වෙලා යන එක. ආන්න ඒ නිසා වෙනම ෆයිල් කබඩ් එකක් හරි, වෙනත් ලිපිගොනු හෝ ලිපිලේඛන හෝ තැන්පත් කරන්න පුළුවන් ඉඩ කඩ තියෙන ගෘහ භාණ්ඩයක් හරි ගන්න එක වැදගත්. හැබැයි අවුරුද්දකට සැරයක්වත් ඒකේ තියෙන දේවල් පරීක්ෂා කරලා, අනවශ්‍ය දේවල් අයින් කරන්න ඕන.
මේ මොහොතේ අත්‍යාවශ්‍ය වෙන ලිපිගොනු, ලිපිලේඛන වලට මේසේ උඩ අර ෆයිල් රැක් එකක් තිබ්බහම ඇති.
7. වෙනත් පොඩි පොඩි අවශ්‍ය කළමනා
ඇත්තටම මේ කියපු ලොකු ලොකු දේවලට අමතරව ගෙදර ඔෆිස් එකක් නිර්මාණය කරනවා නම් තව පොඩි පොඩි දේවලුත් සෑහෙන්න වුවමනා වෙනවා. උදාහරණයක් විදියට ලිපිද්‍රව්‍ය. සම්පූර්ණයෙන්ම පරිගණකයෙන් වැඩ කරන කෙනෙක්ට වුනත් අවශ්‍ය වෙන නිසා, පෑන්, පැන්සල්, ටිපෙක්ස්, හයිලයිටර්, නෝට් පෑඩ්, මෙමෝ පෑඩ් වගේ එව්වා මෙව්වා ටිකක් ගන්න එක හොඳයි. ඒ එක්කම නෝට්බුක් කීපයක් එහෙමත් තියාගන්න ඕන.
මේ දේවලට අමතරව තව හෝම් ඔෆිස් කාමරේ තියෙන්න ඕන අපේ අවශ්‍යතා වෙනුවෙන් දේවල්. ප්‍රධාන වශයෙන්ම වතුර. ඒකට ඕන නම් වතුර බෝතලයක් තියන්න තැනක් වෙනම සෙට් කරගන්න පුළුවන්. ඕන නම් මුල්ලක පොඩි ටීපෝ එකක් තියලා, අවශ්‍ය වෙලාවට තේ එකක්, කෝපි එකක් හදාගන්න බඩු භාණ්ඩ වුනත් තියාගත්තට කමක් නෑ!
8. අවශ්‍ය ටෙක් ගැජට්ස්
වර්කින්ග් ෆ්‍රොම් හෝම් කියන්නේ ගෙදර මුළුගැන්විලා වැඩ කර කර ඉන්න එක නෙවෙයි කියන එක අපි හැමෝටම තේරෙනවනේ. ගෙදර ඉඳලා වැඩ කළාට අපිට ලෝකයත් එක්ක සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදියට ඔන්ලයින් මීටින් එහෙම කරනකොට අවශ්‍ය වෙන දෙයක් තමයි හොඳ කොලිටි වෙබ් කැම් එකක්.
දැන් ඔය පරිගණකයෙන් ලියන කියන වැඩ කරන අය ලැප්ටොප් නම් පාවිච්චි කරන්නේ, අමතර, හොඳ කීබෝඩ් එකකට මුදලක් යට කරන එක පාඩු නෑ. ඒ වගේම පරිගණකයේ මවුස් එක තියන්න අවශ්‍ය මවුස් පෑඩ් එකක් පවා ගන්න කියලා තමයි අපි කියන්නේ. එතනින් ගියහම තමන් කරන වැඩ කටයුතු වලට අදාළ වෙනවා නම් ස්කෑනර් එකක්/පෝටබල් ස්කෑනර් එකක්, ප්‍රින්ටර් එකක් එහෙමත් ගත්තට කමක් නෑ.
9. එයාර් කූලර්/ඒසී
දැන් කාලේ ඉස්සර වගේ නෙවෙයි. අවුරුද්දේ බාගෙට බාගයක් කෙලින්ම කාන්තාරෙ ඉන්නවා වගේ උෂ්ණත්වේ. ආයෙ නෑ, ඉරට හැතැප්මයි. අන්න ඒ නිසා අපිට හෝම් ඔෆිස් එකේ වැඩ කරන එක දාඩිය ගලමින්, පවන් ගහමින් කරන්න වෙනවා කියන්නේ කාර්යක්ෂමතාවය බහිනවා කියන එක. ඇත්තටම ඔය රස්නෙට ෆෑන් දැම්මට ඇති වැඩකුත් නෑ. ආන්න ඒ නිසා එක්කෝ හෝම් ඔෆිස් එක ඒසී කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒසී එකකට යන වියදම දන්නවනේ. අන්න ඒ නිසා ඕන නම් වඩාත් වියදම් අඩු ක්‍රමයක් යොදාගන්නත් පුළුවන්. ඒ තමයි එයාර් කූලර්. රුපියල් විසිතිස්දාහක් ඇතුළත ගන්න පුළුවන් එයාර් කූලර් එකකට වතුර පුරවන්න ඕන. අන්න එතකොට අපිට ඒකෙන් බොහොම සිහිල්, නැවුම් සුළං රැල්ලක් ලබාදෙනවා.
10. ඇසට ප්‍රිය මනාප දේවල් සහ කොළ පාට
මේ කියන්නේ ඔෆිස් කාමරේ කොළ පාට ගාන්න කියලා නෙවෙයි. හැබැයි මුලින්ම ඔෆිස් කාමරේ බිත්ති වලට ගැලපෙන වර්ණයක් පවා හිතන එක හොඳයි. දැන් හෝම් ඔෆිස් එක කියන්නේ අපි කාර්යාල කටයුතු සඳහා වැඩි වශයෙන් ඉන්න තැනනේ. ආන්න ඒ නිසා මේක වඩාත් ඇසට ප්‍රිය මනාප වෙන තරමට, හිත නිවෙන තරමට හොඳයි. ඒක නිසා පළවෙනි කාරණාව තමයි, අනවශ්‍ය කිසිම දෙයක් මේ කාමරේ ඇතුළේ ගොඩ ගසා නොගැනීම. දෙවෙනියට, බිත්තියේ අපේ රුචිකත්වය අනුව ඇසට ප්‍රිය මනාප චිත්‍රයක්, ඡායාරූපයක්, පෝස්ටරයක් කාරිය රාමු කරලා එල්ලගන්න පුළුවන්.
ඊලඟට තමන්ගේ මේසේ උඩ පුංචි කාලේ හම්බුණු සෙල්ලම් බඩුයි, සිහිවටනයි, පදක්කමුයි අරවයි මේවයි ගොඩගහන්න එපා. සරල ප්‍රතිමාවක්, ෆොටෝ ස්ටෑන්ඩ් එකක් වගේ පුද්ගලික දේවල් එකක් හෝ දෙකක් තිබ්බහම හොඳටම ඇති.
තුන්වෙනියට කොළ පාට. ඒ කියන්නේ ඔෆිස් කාමරේ ඇතුළේ ගස් කොළං පොඩ්ඩක් තියෙන එකත් හිතට හොඳයි. හැබැයි මේකට තෝරගන්න ඕන ගෘහාශ්‍රිත ශාක කියලා කියන, ගෙයක් ඇතුළේ තිබ්බට අප්සට් එකක් නැති ඒවා. මේසේ උඩ ඒ විදියේ පොඩි පැළයක් දාපු පෝච්චියක් එහෙම තිබ්බත් කාරි නෑ!
දැන් මේ ප්‍රධාන දේවල් ටික එකතු කරගත්තට පස්සේ තියෙන්නේ, තමන්ගේ රුචිකත්වයට ගැලපෙන විදියට හෝම් ඔෆිස් එක එකලස් කරගන්න. ඉන් පස්සේ හෝම් ඔෆිස් එකේ ඉඳලා වැඩ කරන්න ඕන විදියත් වෙනම කථා කරන්න ඕන දෙයක්.
Leave a Reply