රක්ෂණය එහෙම නැත්නම් හැමෝම දන්න විදිහට කිව්වොත් ඉන්ෂුවරන්ස් කියන්නේ අපිට ගොඩක්ම අත්‍යවශ්‍ය සේවාවක්. ඒකෙ ඉතාම සරල අවශ්‍යතාවය වෙන්නේ වාහනයකට තර්ඩ් පාර්ටි ඉන්ෂුවරන්ස් එකක් දාගන්නවා කියන එක. අන්න ඒ තර්ඩ් පාර්ටි ඉන්ෂුවරන්ස් එකේ ඉඳල ගොඩක්ම සංකීර්ණ දේවල් පවා ආවරණය වෙන ඉන්ෂුවරන්ස් වර්ග මේ වෙද්දී රක්ෂණ සමාගම් හඳුන්වල දීල තියෙනවා. අපි හැමෝගෙම ජීවිත වල එක එක අවස්ථා වලදී අපි හැමෝටම මේ වගේ රක්ෂණ ඔප්පුවල අවශ්‍යතාවය ඇති වෙනවා. ඒ වෙලාවට පුදුමත් හිතෙනවා මේ වගේ දේවල් ආවරණය කරන්නත් ඉන්ෂුවරන්ස් තියෙනවද කියල.
මූලිකවම රක්ෂණය කියන මහා ලොකු වෘක්ෂය ප්‍රධාන අතු දෙකකට බෙදෙනවා. ඒ ජීවිත රක්ෂණය සහ සාමාන්‍ය රක්ෂණය විදිහට. ජීවිත රක්ෂණය සහ ඒ යටතේ තියෙන ගොඩක් රක්ෂණ වර්ග අපි හොඳින් අඳුනනවා. ඊට පස්සේ සාමාන්‍ය රක්ෂණය කියන උප මාතෘකාව යටතේ තියෙනවා මෝටර් සහ මෝටර් නොවන රක්ෂණ කියල කෑලි දෙකක්. එයිනුත් මෝටර් රක්ෂණ ගැනත් අපි හොඳින් දන්නවා. හැබැයි මෝටර් නොවන (Non-Motor) කියන කෑල්ලට අයිති වෙන ඉන්ෂුවරන්ස් වර්ග ගැන අපි වැඩිය දන්නෙ නෑ. දැනන් හිටියත් එකක් දෙකක් වගේ තමයි. අන්න ඒ වගේ අපිට වැඩිය හුරු නැති ඉන්ෂුවරන්ස් වර්ග කිහිපයක් ගැන තමයි අද අපි කතා කතා කරන්න හදන්නේ.
1. Home Protection Insurance
මේක නම් සමහරු දන්නවත් ඇති. තමන් ජීවත් වෙන ගෙදර ඉන්ෂුවරන්ස් කරන්න පුළුවන් කියන එක ගොඩක් අය දන්නෙ නෑ. ඒක හොඳින්ම පේනවා රක්ෂණ ක්ෂේත්රයේ වාර්තා වල මේ වර්ගයේ ඔප්පු ගොඩක් අඩුවීම නිසා. කොහොම උනත් ගෙදරකට වෙන්න පුළුවන් අටෝරාසියක් අවදානම් මේ වර්ගයේ ඔප්පුවකින් ආවරණය කරගන්න පුළුවන්. තමන්ට ආවරණය වෙන්න ඕන අවදානම් හරියට කියල සාමාන්‍ය රක්ෂණයේ යෙදෙන රක්ෂණ ආයතනයකින් ඔප්පුවක් ලබාගන්න පුළුවන් ඕනෑම නිවෙස් හිමියෙක්ට. එහෙම ආවරණය කරගන්න පුළුවන් අවදානම් කිහිපයක් විදිහට ගිනි හානි, පිපිරීම්, ස්වභාවික විපත්, සොරසතුරු අවදානම් වගේ ඒවා සඳහන් කරන පුළුවන්.
2. Professional Indemnity Insurance
මේකෙන් කියන්නේ සේවා සපයන වෘත්තීයවේදීන්ට තමන්ගේ අතින් මොකක් හරි අත්වැරැද්දක් නිසා තමන්ගේ සේවාදායකයට හානියක් උනොත් ඒ හානිය පුර්ණය කරන්න ලබාගන්න පුළුවන් ඉන්ෂුවරන්ස් පොලිසි එකක්. ගොඩක් වෙලාවට මේ වර්ගයේ රක්ෂණ ඔප්පු ලබාගන්නවා නීතිඥ වෘත්තියේ යෙදෙන අය, වෛද්‍යවරු, ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරිවරුන් වගේ අය. නීතිඥවරුන්ට නම් නීතිඥ සංගමයේ බලපත්‍රය ලබාගන්නත් මේ වර්ගයේ ඉන්ෂුවරන්ස් එකක් අවශ්‍ය වෙනවා.
3. Fidelity Guarantee
මේක නම් ගොඩක් අය අහල නැතුව ඇති බොහෝවිට. මේ වර්ගයේ රක්ෂණ ඔප්පුවකින් ආවරණය වෙන්නේ යම් ආයතනයක සේවයේ යෙදෙන සේවකයින් විසින් සිදුකරන වංචාවක් හෝ අපක්ෂපාතී හැසිරීම්. උදාහරණයක් විදිහට කිව්වොත් මේ වර්ගයේ ඔප්පුවක් අරන් තියෙන ආයතනයක සේවකයෙක් යම් මුදල් වංචාවක් කළොත් ඒ ආයතනයට පුළුවන් ඒ අලාභය අදාළ රක්ෂණ සමාගම හරහා පියවගන්න. මේ වගේ ඔප්පු ඉතින් ආවට ගියාට දෙන්නේ නෑ. හොඳ නමක් තියෙන, අභ්‍යන්තර විගණන එහෙම කරන ආයතන වලට තමයි මේ වගේ ඉන්ෂුවරන්ස් එකක් ගන්න පුළුවන් වෙන්නේ.
4. Pet Insurance
නමින්ම තේරෙනවා ඇතිනේ මේ මොන ජාතියේ ඉන්ෂුවරන්ස් එකක්ද කියල. මේක නම් ලංකාවේ හැම ඉන්ෂුවරන්ස් සමාගමකම නැහැ. මේක සුරතල් සත්තුන්ට තියෙන ජීවිත රක්ෂණයක් කියල කිව්වොත් හරි. ඒ කියන්නේ ඔප්පුවේ සඳහන් කරලා තියෙන හේතුවක් නිසා තමන්ගේ සුරතල් සතාගේ ජීවිතය නැති උනොත් අදාළ ඔප්පුවේ විදිහට වන්දි ලබාගන්න පුළුවන්. ඒ වගේම සුරතල් සතුන්ගේ අසනීප වලට යන වියදම් උනත් ආවරණය කරගන්න පුළුවන් මේ වගේ ඔප්පුවකින්.
5. Electronic Equipment Insurance
මේකත් ඉතින් නමින්ම තේරෙන ඉන්ෂුවරන්ස් වර්ගයක්. සිංහලෙන් කිව්වොත් ඉලෙක්ට්‍රොනික උපාංග රක්ෂණය. මේ වගේ ඉන්ෂුවරන්ස් එකකින් ඉතින් ඔයා ගාව තියෙන නීත්‍යානුකූල ඉලෙක්ට්‍රොනික උපාංග වලට වෙන හානි ආවරණය කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් Drone, කැමරා උපාංග, සන්නිවේදන උපකරණ වගේ දේවල් තමයි මේ වර්ගයේ ඔප්පුවකින් ආවරණය වෙන්නේ. හැබැයි මේ උපකරණ කලින් කිව්වා වගේ නීත්‍යානුකූලව ලියාපදිංචි කරපු උපකරණ වෙන්න ඕනේ. ඒ වගේම Drone පාවිච්චිය සම්බන්ධව යම් යම් නීති එහෙමත් තියෙනවා. ඒවාට අනුකූලව පාවිච්චි කරනවානම් විතරයි වන්දි ලබාගැනීමක් කරන්න පුළුවන් වෙන්නේ.
6. Mobile Screen Insurance
මේක නම් ටිකක් අමුතු පහේ ඉන්ෂුවරන්ස් එකක් තමයි. මේ වර්ගයේ ඉන්ෂුවරන්ස් එකක් ගන්න පුළුවන් දැනට ලංකාවේ ෆෙයාෆාස්ට් ඉන්ෂුවරන්ස් එකෙන් විතරයි. මේකෙන් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ ස්ක්‍රීන් එකට ආවරණයක් සපයනවා. ආවරණයක් කියන්නේ නිකන් ටෙම්පර්ඩ් ග්ලාස් එකක් වගේ එකක් නෙමෙයි. මොකක්හරි හේතුවකින් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ ස්ක්‍රීන් එක හානි උනොත් ඒක නැවත අලුත්වැඩියා කරගන්න වැය වෙන මුදල් අදාළ ඔප්පු කොන්දේසි වලට අනුව ලබාගන්න පුළුවන් රක්ෂණ ඔප්පුවක්.
7. Title Insurance
ඉඩම් ඔප්පුවක් ඇපයට තියල කෙනෙක් නිවාස ණයක් යම් මූල්‍ය ආයතනයකින් ගන්න යනවා නම් ගොඩක් වෙලාවට අදාළ ආයතනයෙන් මේ වර්ගයේ ඉන්ෂුවරන්ස් එකක් දාගෙන එන්න කියල කියනවා. ඒකට හේතුව තමයි නිවාස ණයක් ගන්නේ ගොඩක් ලොකු කාලසීමාවකට. සමහර අවස්ථා වල සමහර අය විශ්‍රාම යනකන්ම නිවාස ණය ගෙවනවා අපි දැකල තියෙනවා. ඉතින් ඒ වගේ දිග කාලයකට කෙනෙක්ට ණයක් දෙනවා කියන්නේ ටිකක් අවදානම් වැඩක්. විශේෂයෙන් ණය ගත්තු කෙනා මැරුනොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා අදාළ මූල්‍ය ආයතනයට. අන්න ඒ නිසා ඒ වගේ අවදානම් ආවරණය කරන්න තමයි Title Insurance තියෙන්නේ. මේකෙදි රක්ෂණ ආයතනය වගකීම බාරගන්නවා ණය කාල සීමාව ඉවර වෙනකන්.
Leave a Reply